කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා සීයයට 15ක බද්දක් පනවා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් තමන්ද කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා සඳහා දැරිය හැකි ප්‍රවේශයක් තිබිය යුතු බව සදහන් කොට ඇත.
“කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා සඳහා දැරිය හැකි ප්‍රවේශයක් තිබිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. එබැවින් අප දේශීය නිෂ්පාදනය වැඩි කරන තෙක් මෙම අත්‍යවශ්‍ය භාණ්ඩය සඳහා වන සියලුම බදු නිදහස් කළ යුතුය. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සනාථ කරන පරිදි සනීපාරක්ෂක තුවාවල මිලෙහි වෙනසක් සිදුවී නොමැත.”
මේ අතර සනීපාරක්ෂක තුවාවලට බදු පනවා ඇති කතාවෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහද සදහන් කර ඇත.
” සනිපාරක්ෂක තුවාවල අදාළ බදු වැඩි ඇති බව වැරදි තොරතුරකි. අයවැය ඉදිරිපත් කිරීමට පෙර මේ සම්බන්ධව පැවති “රේගු ආනයන බද්ද” 30% කි. ඒ අනුව අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව එම බදු ප්‍රමාණය 15% ක් දක්වා අඩු කර 15% ක ” සෙස් බද්දක්” එකතු කර ඇත. ඒ අනුව කිසිදු බදු වැඩි කිරීමක් සිදුව නැත. ආනයන බදු ප්‍රමාණය රඳවා ගැනීමේ අවශ්‍යතාවය වන්නේ දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම සඳහායි. ඒ අනුව රජය විසින් මිල වැඩිවන වෙනසක් සිදුකර නැත” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කර ඇත.








