කොවිඞ් 19 වසංගතය මෙරට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමේ බුද්ධි මෙහෙයුමේ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි දැවැන්ත කාර්ය භාරයක නිරතව සිටින සැගවුණු චරිතයකි. කොව්ඩි 19 ආසාදිත රෝගියෙක් මෙරටින් හමුවූ සැණින් එම රෝගියා ඇසුරු කළ පුද්ගලයින් හඹායන රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේ නියමුවා වන්නේ ඔහුය. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ ලොක්කා ඔහු වන බැවිනි.
රාජ්‍ය බුද්ධි සේවයේ ඉතිහාසය ගැන විමසීමේදී ඉතිහාසය පුරාම එහි ලොකු පුටුව දරා ඇත්තේ පොලිස් නිලධාරීන්ය. සුරේෂ් සලෙයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පත්කිරීම ඉතිහාසය වෙනස් කළ සිදුවීමක් බවට මේ වන විට පත්ව හමාරය. ඒ හමුදාවේ නිලධාරීයෙක් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා බවට පත්වන්නේ පළමු වරට වන බැවිනි.
ඒ වන විට රාජ්‍ය බුද්ධි සේවයේ ලොකු පුටුවේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සාමාන්‍ය පොලිස් රාජකාරි සදහා යොමු කරමින් සුරේෂ් සලෙයි එම පුටුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරනුයේ 2019 වසරේ දෙසැම්බරයේදීය. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් අතර යම් කැළඹිමක් ඇති කරමිනි. එහෙත් ඉතා කෙටි කලක් තුළ රාජ්‍ය බුද්ධි සේවයේ සමස්ත නිලධාරීන්ගේම විශ්වාසය දිනාගන්නට සුරේෂ් සලෙයි සමත්වන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ එතෙක් මෙතෙක් සේවයේ නිරතව සිටි මුල් පුටුවල සිටි නිලධාරීන්ගෙන් හොඳම නිලධාරියා බවට ඉතා කෙටි කලක් තුළ පත්වෙමිනි.
රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ පුටු සදහා ඉතිහාසය පුරාම පත් කෙරුණු බොහෝ නිලධාරීන් දේශපාලන පත්වීම්ය. ඒ අය අතර වැඩියෙන්ම සිට ඇත්තේ නිලන්ත ජයවර්ධන වැනි රාජ්‍ය බුද්ධි සේවයේම කාලයක් සේවයේ නිරතව සිටි නිලධාරීන් කිහිප දෙනෙක් හැරුණු කොට රාජ්‍ය බුද්ධි සේවය ගැන මෙලෝ දැනුමක් නැති නිලධාරීන්ය. සුරේෂ් සලෙයිද රාජ්‍ය බුද්ධි සේවයෙන් පිටත සිදු කෙරුණු දේශපාලන පත්කිරීමක් වූවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඔහුව රටේ ජාතික බුද්ධි සේවයේ ලොකු පුටුවට පත්කරන්නේ ආවට ගියාට නොව. සුරේෂ් සලෙයි යනු දක්ෂ බුද්ධි නිලධාරියෙක් බවට මනා අවබෝධයක් ඇතිව ඔහුගෙන් වැඩි වැඩියෙන් වැඩ ගන්නටය.
සලෙයිගේ ඉතිහාසය විමසීමේදී ඔහු මුස්ලිම් ජාතිකයෙකි. ඒ යැයි කියා ඔහු සාම්ප්‍රදායික මුස්ලිම්වරයෙක් යැයි කියන්නට බැරිය. ඔහු මැලේ ජාතිකයෙකි. දැනගන්නට ඇති ආකාරයට අනුව ඔහුගේ මව්පියන්ද මිශ්‍රය.
සුරේෂ් සලෙයි බුද්ධි නිලධාරියෙක් වන බැවින් ඔහුගේ පුද්ගලික තොරතුරු මෙහි සටහන් කිරීම එතරම් උචිත නැත. එසේ නොවන්නට ඔහුගේ පුද්ගලික තොරතුරු පොතක් පිරෙන්නට ලියන්නට ඇත. ඔහුගේ ළමා කාලය සහ පාසල් කාලය ගැන සුන්දර කථා බොහෝය. සලෙයිගේ ජීවිතයේ වීර කථා ඇත්තේ ඔහු කැඩෙට් නිලධාරියෙක් ලෙස 1987 වසරේදී යුද හමුදාවට එක්වීමෙන් අනතුරුවය.ඒ 1987 වසරේ මාර්තු 16 වෙනිදා පාඨමාලා අංක 27 යටතේ පුහුණුව ලබාය. ඒ දෙවැනි අධිකාරියේ සංඥා නිලධාරියෙක් ලෙසිනි. යුද්ධයේ දරුණුතම අත්දැකීම් ලබා ඇති සුරේෂ් සලෙයි බුද්ධි නිලධාරියෙකුගේ චරිතයට පණ පොවන්නට ගන්නේ 1992 වසරේ යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්ත වීමත් සමගිනි.
ඒ හමුදාවේ මුස්ලිම් රෙජිමේන්තුවක් ඇති කිරීමක් සම්බන්ධයෙන්ද දේශපාලන ලෝකයේ කථාබහක් ගොඩ නැගී තිබුණු වකවානුවකි. සුරේෂ් සලෙයිව බුද්ධි අංශයට බඳවා ගන්නේ ඔහුට දෙමළ භාෂාව ඇතුළු භාෂා ගණනාවක්ම හැසිරවීමට තිබුණු මනා හැකියාව නිසාය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව පැවැති සටනේදී දෙමළ ජනතාවගෙන් තොරතුරු දැන ගැනීමට සිංහල සොල්දාදුවන්ට වඩා පහසුවක් වූයේ මුස්ලිම් සොල්දාදුවන්ටය. එකල බුද්ධි අංශයේ වැඩි වැඩ කොටසක් ඉටු කරනු ලැබුවේද මුස්ලිම් නිලධාරීන්ය. ඒ අය අතර මුතාලිෆ්, මීඩින් වැනි නිලධාරීන් ගොන්නකි. සුරේෂ් සලෙයි වැටෙන්නේද එම ගොන්නටය.
ත්‍රස්තවාදීන්ව හඹා ගොස් එල්.ටී.ටී.ඊ. නායකයින්ට ප්‍රහාර එල්ල කිරීමට සකස් කෙරුණු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මුල් සාමාජික කණ්ඩායම අතර සුරේෂ් සලෙයිද සිටියේය. ඒ සන්නද්ධ බුද්ධි අංශයේ සිටි ළාබාලතම හමුදා සාමාජිකයා ලෙසිනි. 1997 වසරේ සිට ඔහු 2006 වසර දක්වාම සන්නද්ධ බුද්ධි බළකායේ සේවයේ නිරතව සිටියේ එල්.ටී.ටී.ඊ. නායකයින්ට සිතා ගැනීමට නොහැකි වන ලෙස ප්‍රහාර එල්ලකරමිනි. එකල ත්‍රස්තවාදී නායකයින් බංකර්වලින් පිටතට එන්නට පවා බියක් දැක්වූයේ සන්නද්ධ බුද්ධි අංශ නිලධාරීන් ත්‍රස්තවාදීන්ගේ බළකොටුවලටම රිංගා නායකයින්ට ප්‍රහාර එල්ලකරන්නට වූ බැවිනි. ඒ කණ්ඩායම අතර සැඟවුණු චරිතයක් වූයේ සුරේෂ් සලෙයිය.
සුරේෂ් සලෙයි සන්නද්ධ බුද්ධි අංශයෙන් 2006 වසරේ ඉවත් කරන්නේ ඔහුගේ සේවය එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලය බිඳ දැමීමට යොදා ගැනීමේ අරමුණ ඇතිවය. ඒ ඔහු ඒ වන විටත් බුද්ධි නිලධාරියෙක් ලෙස දක්වා තිබුණු දක්ෂතා සැළකිල්ලට ගනිමිනි. ඒ අනුව ඔහුව යුරෝපය බලා පිටත්කර යැවෙන්නේ ජාත්‍යන්තර කොටි ජාලය ගැන තොරතුරු රැස්කරමින් ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයේ ක්‍රියාකාරකම් අඩපණ කිරීමේ සුවිශේෂී මෙහෙයුමක් සදහාය. එල්.ටී.ටී,ඊ.යේ ජාත්‍යන්තර අවි ගනුදෙනු ජාලය හෙළිකර ගැනීමට හැකියාව ලැබෙන්නේ එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවි ගබඩා විනාශ කිරීමට ගුවන් සහ නාවික හමුදාවන්ට යුද සමයේදී හැකියාව ලැබෙන්නේද සලෙයිගේ තොරතුරු මුල්කරගෙනය.
ඒ වන විට එල්.ටී.ටී.ඊ.යේ ජාත්‍යන්තර ප්‍රචාරක ජාලය ඉතා ශක්තිමත් එකක් විය. එම ජාලය පවා බිඳ දැමීමට ඔහු දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ නිලධාරියෙකි. ප්‍රංශය කේන්ද්‍ර කරගනිමින් ඔහු සිය මෙහෙයුම් දියත් කරනු ලැබුවේද වෙනත් නමකින් පෙනී සිටිමිනි.
යුද්ධය අවසන් වීමත් සමග නැවත මෙරටට කැඳවෙන සලෙයිට භාර කෙරන්නේ යුද හමුදා විශේෂ බුද්ධි ඒකකයයි. ඒ 2009 වසරේදීය. ප්‍රභාකරන්ගේ මරණින් පසු ඒ තැන ගන්නට සූදානමින් සිටියේ එල්.ටී.ඊ.ඊ.යේ ජාත්‍යන්තර ජාලයේ නායකයා මෙන්ම මූල්‍ය අංශ ප්‍රධානියාව සිටි කේ.පී. හෙවත් කුමාරන් පද්මනාදන්ය. එල්.ටී.ටී.ඊ.යේ අනාගත බලාපොරොත්තුව වූ කේ.පී.ව පවා මලයාසියාවේදී කළ මෙහෙයුමකින් පසු මෙරටට රැගෙන ආවේද සලෙයි විසින් කළ නිහඩ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
යුද්ධය නිමාවීමෙන් අනතුරුව යාල කැලෑවේ රිංගා නැගෙනහිර සිට ක්‍රියාත්මක වන්නට සූදානම් වූ රාම්, නගුලන් වැනි එල්.ටී.ටී.ඊ නායකයන් අල්ලා ගැනීමේ බුද්ධි මෙහෙයුම් පිටුපසද සිටියේ සලෙයිය. එසේම ගෝපී, අප්පන් වැනි සන්නද්ධ කොටි නායකයන් නැවත ත්‍රස්තවාදයට පණ දෙන්නට සූදානම්වන විට නැඳුන්කර්නි කැලයේදී ඔවුන්ව කොටුකරන බුද්ධි අංශ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන්නේද සලෙයිය.
සලෙයි දැක්වූ මේ දස්කම් නිසාම ඔහුට උසස්වීම්ද නිසි කලට පෙර ලැබුණේය. බි්‍රගේඩියර් තනතුරට ඔහු උසස්වීම් ලබන්නේ ඔහුට පෙර කැඩෙට් නිලධාරීන් ලෙස බැදුණු නිලධාරීන්ටත් වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ යමිනි. එල්.ටී.ටී.ඊ.ය සතුව තිබුණු නෞකා සහ ගුවන් යානා ගැන මෙන්ම ව්‍යාපාර ගැනද තොරතුරු බොහෝමයක් දැන සිටියේ සලෙයිය. ජාත්‍යන්තර වරායන්වල සඟවා තිබුණු එල්.ටී.ටී.ඊ.යට අයත් නෞකා පවා මෙරටට රැගෙන ඒමට හැකියාව ලැබෙන්නේ සලෙයිගේ නිහඩ මෙහයුම්වල ප්‍රතිඵල ලෙසිනි. නිහඬව වූවත් ඔහු ඒ දැක්වූ දස්කම් අගයමින් රණශූර පදක්කමෙන් පවා ඔහු පිදුම් ලබා ඇත්තේය.
මේ අතර ඔහුට තවත් රාජකාරියක් පැවරෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ විදෙස් බුද්ධි අංශ සම්බන්ධීකරණ නිලධාරියා ලෙසිනි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් පසු මෙරට හිස ඔසවන්නට පුළුවනි යැයි අනුමාන කළ ඉස්ලාම් ත්‍රස්ත කල්ලි පිළිබදව හැදෑරීමද ඔහුගේ මූලික රාජකාරිය විය. ඒ අනුව ඔහු අයි.එස්. අයි.එස්. ත්‍රස්ත කල්ලි සමග මෙරට සම්බන්ධකම් පැවැති කණ්ඩායම් ගැන පවා තොරතුරු
රැස් කළේය.
බි්‍රගේඩියර් සුරේෂ් සලෙයි හමුදා බුද්ධි අංශයේ ඉහළම පුටුවට පත්වන්නේ ඔය අතරතුරදීය. ඒ 2012 වසරේදීය. එම තනතුර ඔහුට හිමිවන්නේ ඒ වන විට යුද හමුදා බුද්ධි ප්‍රධානියාව සිටි බි්‍රගේඩියර් අරුණ වන්නිආරච්චි මහතා ඉවත්කරමිනි.
හමුදා බුද්ධි ප්‍රධානියා ලෙස ඔහු එල්.ටී.ටී.ඊ.යට නැවත නැගී සිටීමට ඉඩක් නොතබමින් දැවැන්ත බුද්ධි ආරක්ෂක වළල්ලක් යොදා රට ආරක්ෂා කරන අතරතුර අයි.එස්.අයි.එස්. සංවිධානයේ මතවාදයට අනුව යමින් මෙරට මුස්ලිම් තරුණයින්ගේ නැගිටීමක් ගැනද ඇස ගසාගෙන සිටින්නට විය. ඒ තමන් මුස්ලිම්වරයෙක් ලෙස අමතක කර රට පළමු කොට සලකාය. එහෙත් ඔහුට ඒ කටයුත්ත නිමාවක් කරන්නට ඉඩක් නොවීය. ආණ්ඩු වෙනසත් සමග රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක දැඩි විරෝධය සුරේෂ් සලෙයිට එල්ලවන්නට ගත්තේය. ඒ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවන්නට දරදිය ඇදි සංවිධාන කිහිපයක්ද තිබුණේය. එම සංවිධානවල සාමාජිකයන් සුරේෂ් සලෙයි විරෝධයක් ගොඩ නගන්නට ගත්තේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිට ගත්තේ එන්.ජී.ඕ. පැත්තේය. සුරේෂ් සලෙයි හමුදා බුද්ධි ප්‍රධානී තනතුරින් ඉවත් කළේය. ඒ මුස්ලිම් අන්තවාදයට එරෙහිව පැවැති විමර්ශන සියල්ල අඩපණ කරමිනි. ඒ අනුව ආරක්ෂක මණ්ඩලයට සලෙයි ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් වන්නේ 2016 වසරේ ඔක්තෝම්බර් 18 වෙනිදාය. ඊට අනුව සලෙයි ඉවත් කරනුයේ 2016 වසරේ නොවැම්බර් 02 දාය. ඒ වෙනුවට එම තැනට පත්කරන්නේ බි්‍රගේඩියර් විජේසිරි ගුණතිලකය. එම පත්කිරීම කොතරම් සාර්ථක පත්කිරීමක්දැයි පැහැදිලි නැතත් අවසානයේදී සලෙයිගේ වටිනාකම කොයි කාටත් තේරෙන්නේ පාස්කු ප්‍රහාරයත් සමගිනි. ඒ සලෙයි හමුදා බුද්ධි ප්‍රධානී තනතුරින් ඉවත් කිරීමත් සමග අන්තවාදී මුස්ලිම් ක්‍රියාකාරකම් ගැන කෙරුණු පරීක්ෂණ ලත් තැනම ලොප් වූ බැවිනි. යුද්ධය පැවැති සමයේදී මෙරට වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවලට ගොස් යුද පුහුණුව ලබා අවි ආයුධ රැස්කරමින් දකුණේ කැරුල්ලක් ගැසීමට කළ සූදානමද එදා හෙළිකර ගන්නේ සුරේෂ් සලෙයි යටතේ ක්‍රියාත්මක වූ බුද්ධි නිලදාරීන් කණ්ඩායමකි. පාස්කු ප්‍රහාරකයන්වද එදා සලෙයි සිටියේ නම් අල්ලා ගන්නේ සිංහල කොටි අල්ලාගත් ලෙසිනි.
එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එන්.ජී.ඕ නඬේක අවශ්‍යතා මත සුරේෂ් සලෙයි යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක ධුරයෙන් ඉවත් කරන විට බුද්ධි අංශයම කැළඹී ගියේය. ඒ ඔහුගේ හැකියාව සහ දක්ෂකම් මෙන්ම සම්බන්ධකම් ඒ අය දැන සිටි බැවිනි. පාස්කු ප්‍රහාරයට අත වැනෙන්නේ සලෙයි වැනි නිලධාරීන් අඩපණ කර තිබීම නිසාය.
දැන් සලෙයිට ලැබී ඇත්තේ රටේ ඉහළම බුද්ධි අංශයේ ලොකු පුටුවය. ඒ ඔහුට සාධාරණය ඉටු වෙමිනි. දැනටමත් සලෙයි අපේ රටට දේශීය මෙන්ම ජාත්‍යන්තරවත් එල්ලවීමට ඉඩ ඇති තර්ජන හඳුනාගෙන හමාරය. ඒ ගැන සිය බුද්ධි නිලධාරීන් යොදවා ඇස ගසාගෙන සිටින්නේ රටට හානිකර සියල්ල පරාජයට පත් කිරීමේ අරමුණ ඇතිවය.
රුවන් වෙඩිවර්ධන








