අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථිර විසඳුමක් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ ජනාධිපතිවරයා හා වනජීවී ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් අතර අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
එම සාකච්ඡාවේ දී වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැළෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ද, සාකච්ඡාවක් ගැණිනි.
2019 වසරේදී වන අලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමිව ඇති අතර මියගිය වන අලි ගණන 407කි.
මේ වසරේ ගතවූ මාස 6 තුළ මිනිස් ජීවිත 62ක් අහිමිව ඇති අතර මියගිය වන අලි සංඛ්‍යාව 200කි.
මේ අතර කඩොලාන සංරක්ෂණය සහ පුළුල්ව ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර කඩොලාන වගා කිරීමේදී ජනතාවට ප්‍රතිලාභ හිමිවන අයුරින් නීතී ලිහිල් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුනි.
කඩොලාන ආශ්‍රිතව ඉස්සන් වගාව සිදුකරගෙන යාමට ඇති හැකියාව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එමෙන්ම ගංගා ආශ්‍රිතව වැලි ගොඩදැමීම පාලනයක් සහිතව කරගෙන යාමට එම ප්‍රදේශවල ජනතාවට අවසර දීම කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.