මත්ද්‍රව්‍ය මර්දනය හුදු නාටකීය ස්වරූපයෙන් ක්‍රියාවට නැංවීම සම්බන්ධව ශ්‍රී ලංකවට ඇත්තේ ඉතා දීර්ඝ ඉතිහාසයකි. එය හුදෙක් මත්ද්‍රව්‍ය මර්දනයට නොව රටේ ආණ්ඩු විසඳාලිය යුතු ජනතා ප්‍රශ්න ගොඩගැසෙන විට ජනතා අවධානය වෙනතක යොමුකරවනු වස් ආණ්ඩුව ලියන තිර පිටපතකට අනුව රඟදැක්වෙන නාට්‍යයක් බවට පත්ව ඇත්තේය. එහි ඈතම උදාහරණය චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති ධුරය දැරූ කාලයේ වාර්තා විය. යුද්ධය උත්සන්න වී ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය බිඳවටෙන තැනට ආ පසු මත්ද්‍රව්‍ය මර්දනය ආකර්ෂණීය තේමාවක් කරන්නට රාජ්‍ය මාධ්‍ය සමත් වූයේය. මෙක්සිකෝවේ නැතිනම් ඇෆ්ගනිස්තානයේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය මෙහෙයුම් සිහිගන්වමින් රූපවාහිනී ප්‍රවෘත්තිවලට පෙන්වූ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අපට කියාපෑවේ හෙට හෝ අනිද්දාට ලංකාවේ කුඩු අහේනියක් එන බවය.
මත්ද්‍රව්‍ය නැතහොත් කුඩු සහ පාතාලය අතර ගොඩනැගී තිබූ අවියෝජනීය සබඳතාවට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. පසු කාලයක ඊට දේශපාලනයද එක්වීමෙන් කුඩු, පාතාලය සහ දේශපාලනය යන ත්‍රිකෝණය රටම ආවරණය කරමින් බිහිවිය. එදා සිට කුඩු මෙහෙයුම් සියල්ල පාහේ හුදු මවාපෑම් විය. 1980 දශකය අරම්භයේ සිටම මෙරට කුඩු ජාවාරමේ ගෝඩ්ෆාදර්ලා බිහිකළේ පාතාලයයි. 1994 වන විට ලංකාවේ කුඩු ජාවාරමේ මහමොළකරු වූයේ පොට්ට නවුෆර්ය. ඒ වන විටත් කොළඹ අගනගරයේ ප්‍රධාන පාතාල කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඉන් එකක් පිටකොටුවේ දෙමළ පාතාලය විය. එයට නායකත්වය දෙනු ලැබුවේ ඉසගමුත්තු සුදාකරන්ය. මාලිගාවත්ත මුල් කරගෙන ක්‍රියත්මක වූ මුස්ලිම් පාතාලයට නායකත්වය දුන්නේ බාබර් ඉමිටියාස්ය.
මොහොමඞ් නියාස් නවුෆර් නොහොත් පොට්ට නවුෆර් මුස්ලිම් ජාතිකයකු වුවද ඔහු සම්බන්ධ වූයේ පිටකොටුව කේන්ද්‍ර කරගෙන බිහිවී තිබූ දෙමළ පාතාලයටය. අච්චාරු අලෙවි කරන වෙළෙන්දකු ලෙස ජීවිකාව ආරම්භ කළ පොට්ට නවුෆර් පසු කාලයක කුඩු නිසා කෝටිපතියකු වූයේය. එහෙත් කුඩු වෙළෙඳාමේ ඒකාධිකාරිය පවත්වාගෙන යාම වෙනුවෙන් දෙමළ සහ මුස්ලිම් පාතාලයේ ගැටීම කරළියට ඒමට වැඩි කලක් ගතවූයේ නැත. 94 බලයට පත් චන්ද්‍රිකා රජය කුඩු කුඩුකරන සටන අරඹන්නේ මෙවන් වටපිටාවකය. මහජන අවධානය දිනාගනිමින් රඟදක්වන්නට වූ කුඩු මැඬීමේ මහා නාටකය ජවාරම්කරුවකු වූ පොට්ට නවුෆර්ට මහා ආශීර්වාදයක් වූයේය. ඔහු ස්වකැමැත්තෙන්ම පොලිස් නිලධාරීන්ට කොටු වූයේය. එහෙත් අණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම් අපට පෙන්වූයේ වෙනමම පින්තූරයකි. කුඩු ජාවාරමේ ප්‍රබලතමයා වූ පොට්ට නවුෆර් පොලිස් අත්අඩංගුවට ගත් බව ආණ්ඩුව පුනපුනා කියන්නට විය. මෙරට ජනතාව සිතුවේ මහමොළකරුවන් කොටු වූ නිසා දැන් කුඩු ජාවාරම අවසන් බවය. එහෙත් ලංකාවේ කුඩු ජාවාරම දිනෙන් දින වර්ධනය වූවා මිස මර්දනය වූයේ නම් නැත.
බන්ධනාගාරගත වූ පොට්ට නවුෆර් ආණ්ඩුවේ වියදමින් කමින් බොමින් බන්ධනාගාරයේ සිට කුඩු ජාවාරම මෙහෙයවන්නට වූයේය. බන්ධනාගාර නිලධරීන්ගේ සහායද, දේශපාලන අනුග්‍රහයද නිසා කිසිවකුටත් එය පාලනය කළ නොහැකි වන්නේය. අවසනයේ තමාට එරෙහිව පවරා තිබූ නඩුවක තීන්දුව දීමට නියමිතව සිටි විනිසුරු සරත් අඹේපිටිය මරාදන්මන්නට තරම් පොට්ට නවුෆර් සාහාසික වූයේය. ඊට මරණ දඬුවම නියමවී සිටියද පොට්ට නවුෆර් සිය ජාවාරම් කිසිවක් නතර කළේ නැත. දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේද සහාය නොමඳව ලබාගත් නවුෆර් කොළඹ නගරයේ සිටින සිය පාතාල ගෝලබාලයන් යොදවා මහාපරිමාණයෙන් මත්කුඩු ජාවාරම කරගෙන ගියේය. ආණ්ඩුව මත්ද්‍රව්‍ය මර්දනය පොට්ට නවුෆර්ලාට ප්‍රශ්නයක් වූයේ නැත. අවසන කොරෝනාවට බිලිවීමෙන් පොට්ට නවුෆර්ගේ ගමන නිමා වූයේය.
කුඩු සහ පාතාල සබැඳියාව ගැන කියන විට ඊට ඈඳෙන තවත් නම් කිහිපයකි. මරදානේ තමිල්නාඩුව කේන්ද්‍ර කරගෙන කුඩු ජාවාරමේ නියුතු තෙල්බාලා තවත් ප්‍රබල පාතාල සාමාජිකයෙකි. ඔහු පොලිස් අත්අඩංගුවට පත්වන්නේ 2001 වසරේදීය. ඒ, නිකම්ම නොව කුඩු කිලෝ 35ක්ද සමගය. පසුව ඇප මත නිදහස් වන ඔහු කිසිදු ගැටලුවකින් තොරව ඉන්දියාවට පලායන්නේය. වරාය සහ ගුවන්තොටුපොළවල ආගමන විගමන නිලධාරීන් මොන තරම් දැල් එළාගෙන සිටියද තෙල්බාලා ප්‍රමුඛ මත්කුඩු ජාවාරමේ නියුතු පාතාල නායකයන් රට ඇතුළේ ගමන් කරනවාට වඩා පහසුවෙන් ගුවන් තොටුපොළ ඔස්සේ ඉන්දියාවට පලායාම 2001 – 2005 කාලයේ සුලබව වාර්තා විය. මෑතකදී ඉන්දියවේදී අසුවූ කිඹුලාඇල ගුණා, බුම්මා ඇතුළු පාතාල නායකයන් එකල්හි ඉන්දියාවට පලාගිය පාතාල නායකයෝය. ඔවුන් එරට සිට ලංකාවේ මත්කුඩු ජාවාරම නිදහසේ මෙහෙය වූ බව රහසක් නොවේ. එහෙත් ශ්‍රී ලංකාවේ ආණ්ඩු උදර්පණ නීතිය යටතේ එම ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් උත්සාහයක් ගත්තේ නැත. එලෙස ඉන්දියාවේ සිට ලංකාවේ මත්කුඩු ජාවාරම සහ පාතාලය මෙහෙයවූ තෙල්බාලා 2017 දී ඉන්දියාවේදී මියගිය අතර ඉතිරිව සිටි කිහිප දෙනෙක් මෙවර අත්අඩංගුවට පත්ව ඇත්තේය. එහෙත් ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. දූෂිත නිලධාරීන් සහ දේශපාලන බලපෑම් තවමත් පාතාලය මෙන්ම කුඩු ජාවාරම පිටුපසද සිටීම ඊට හේතුවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව වැඩි වැඩියෙන් කතකළ යුගයක් ලෙස 2010 – 2015 කාලය දැක්විය හැක්කේය. 2005 සිට උතුරේ යුද්ධය තීරණාත්මක තැනකට පත්වීම නිසා රටවැසියන්ට බලා සිටීමට යුද්ධය හා බැඳුණු ප්‍රවෘත්ති ඕනෑ තරම් විය. එහෙයින් 2005 – 2010 කාලයට සාපේක්ෂව 2010න් පසු පශ්චාත් යුද සමයේ ලංකාවේ මත්කුඩු ජාවාරම නැවත ජනතා අවධානයට ලක්විය. 2005 වසරේ ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්ෂ අන් නායකයන් ඉක්මවා ගොස් මත්ද්‍රව්‍ය මර්දනය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයටද ඇතුළත් කිරීම නිසා ඔහු ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනයට ප්‍රමුඛ තැනක් දෙනු ඇතැයි සැවොම බලාපොරොත්තු වූහ. විශේෂයෙන් 2009 උතුරු නැගෙනහිර පැවති යුද තත්ත්වය පාලනය කිරීමත් සමගම දකුණේ ජනයා තුළ මත්කුඩු ජාවාරම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මර්දනය කරනු ඇතයි දැඩි විශ්වාසයක් ඇති විය. ‘මතට තිත’ නමින් මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත්ව තිබූ වැඩපිළිවෙළද එහි අන් යෝජනා මෙන් අසාර්ථක වූයේය.
කලින් ඉන්දියාවට පලාගොස් එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීමට පුරුදුව සිටි ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ඉන්දියාව අතහැර ඩුබායි දේශයට පලාගොස් එහි සිට සිය ජාවාරම ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තේ 2009න් පසුවය. 2015 ජනවාරි මස අත්අඩංගුවට පත් සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා එවැනි එක් ජාවාරම්කරුවෙකි. කිසිදු කරදරයකින් තොරව ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ ඔහු අවසානයේ පාකිස්තානයේදී අත්අඩංගුවට පත්වන අතර ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් පසු දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට ලක්වන්නේය. එහිදී ඔහු හෙළිකරන ලද තොරතුරු අනුව හිටපු පාර්ලිමේන්ටු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන්ද දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේය. දින 3ක් පුරා ඔහුගෙන් ප්‍රශ්නකර පිටු 60ක වාර්තාවක් සකස් කළ බව කියැවුණද ඉන් ඔබ්බට එහි කිසිවක් සිදුවූයේ නැත.
එකල ඩුබායි බලා පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර මාකඳුරේ මධුෂ් සහ කංජිපානී ඉම්රාන්ද විය. ඩුබායි සිට ලංකාවේ පාතාලය මෙහෙයවූ මධුෂ් වරක් කොස් මල්ලී නම් පාතාල සාමාජිකයාගේ ගෙල සිඳ මරාදැමීමට ඩුබායි සිට අණ දුන්නා පමණක් නොව එය සජීවීව වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැරඹූ බව ඔහුගේ සගයා වූ කංජිපානී ඉම්රාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැවැසූයේය. එලෙස ලංකාවේ පාතාලයට අණ දුන් මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වන්නේ ලංකාවෙ යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වූ සමයේය. පසුව ලංකාවට ගෙන ආ මධුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් හත්දෙනකුගේ නම් හෙළිකරන ලද බව ප්‍රසිද්ධ කරුණකි. ඒ බව සනාථ කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය හමුවකදී කරුණු දක්වන ලද අතර, පොලිසියද මධුෂ් නම් කිහිපයක් එළිකරන ලද බව පැවැසුවේය. ඉන් දින කිහිපයකට පසු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය මධුෂ් නාඳුනන වෙඩික්කරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් මියගියේය. ඔහු නම් හෙළිකළ දේශපාලනඥයන් හත් දෙනාට නම් ඉන් පසු හොඳින් නින්ද යන්නට ඇත.
එමතුදු නොව ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙක් වන නිමල් ලංසාගේ නිවෙස සහ ගෙවත්ත වරක් ආරක්ෂක හමුදා මගින් සෝදිසි කරන ලදී. ඒ, මත්ද්‍රව්‍ය ඇති බවට ලද ඔත්තුවකටය. ඉන් පැය කිහිපයක් තුළ හෙලිකොප්ටරයකින් මීගමුවට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවෙසටම ගොස් ලංසා වැලඳගත්තේය. ඒ, රාජපක්ෂ පාලනය මත්ද්‍රව්‍ය පාලනය කළ ආකාරයය.
හෙරොයින්, කේරළ ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගියා මදිවාට මතට තිත තබන්නට ආ ආණ්ඩුව සුරාබදු දෙපාර්තමේන්තුව හරහා ඉපැයූ ලාභයද කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. වර්ෂ 2005 දී ලීටර් මිලියන 64.15ක්ව පැවැති ශ්‍රී ලංකාවේ අරක්කු පරිභෝජනය වසර 5ක් මහින්ද චින්තනය ක්‍රියාවට නැගීමෙන් පසු වර්ෂ 2010 වන විට ලීටර් මිලියන 75.26 දක්වා ලීටර් මිලියන 1.1කින් ඉහළ නැඟ තිබීම ඊට හොඳම උදාහරණයයි.
මහින්ද රාජපක්ෂ පාලනය සමයේ සිදුවූයේ රට පුරා මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමය. ඊට සාපේක්ෂව අත්අඩංගුවට ගැනීම්ද යම් තරමකට ඉහළ ගිය මුත් ඒ සමයේ සැබැවින්ම සිදුවූයේ මත්ද්‍රව්‍ය මර්දනය නොව වර්ධනයයි. වෙනදා ග්‍රෑම් ගණනින් හසුවූ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය 2014 වන විට කිලෝ ගණනින් හසුවීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වෙමින් තිබිණි. 2013 වසරේ ශ‍්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 293යි ග්‍රෑම් 628කි. ඒ පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් ප්‍රමාණයට අමතරවය. 2013 වසරේ දෙසැම්බර් මාසයේදී හික්කඩුවෙන් හෙරොයින් කිලෝ 12ක් සොයාගත් අතර තවත් අවස්ථාවකදී කන්ටේනරයක අසුරා තිබූ ග්‍රීස් ටින්වල බහා මෙරටට ගෙන ආ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවට වාර්තා පළවිය. ඊට අමතරව විදේශයනට මත්ද්‍රව්‍ය සපයන මධ්‍යස්ථානයක් ලෙසද 2005 – 2015 කාලයේ ශ්‍රී ලංකාව පත්විය. ඒ සම්බන්ධව ලෝකයේ රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට චෝදනා කරන්නට වූහ. මීට අමතරව 2007, 2008, 2009 සහ 2010 යන වසර හතර තුළ වයස අවුරුදු 18ට අඩු ළමයින් 59 දෙනෙක් හෙරොයින් වැරැදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි . එහෙත් 2013 වසර වන විට එම ප්‍රමාණය 60%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ නැඟ තිබිණි. ඒ, මහින්ද රාජපක්ෂ රජය කුඩු මර්දනය කළ ආකාරයයි.
මහින්දගේ අනුප්‍රාප්තිකයා වනුයේ මෛත්‍රීපාල සිරිසේනය. ඔහු ජනාධිපති ධුරය හෙබවූ 2015 – 2019 සමයේ තරම් මත්ද්‍රව්‍ය ගැන කතා කළ අන් කාලයක් නොවූ තරම්ය. මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම සඳහා සුවිශේෂ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ඔහු අවසානයේ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ජනාධිපති කාර්යසාධන බළකායක් පිහිටුවා වැඩේට බැස්සේ මත් උවදුරෙන් ලංකාවම මුදාගන්නා බවට පුරසාරම් දොඩමිනි. සෞඛ්‍ය අමාත්‍ය ධුරය හොබවනු ලැබූ සමයේ දුම්වැටි විරෝධියකු ලෙස ඔහු විසින් ගොඩනගාගෙන තිබූ ප්‍රතිරූපය නිසා මත්ද්‍රව්‍ය මර්දනයද ඒ ආකාරයෙන්ම සාර්ථක කරගනු අතැයි රටවැසියන් බලාපොරොත්තු විය.
සිය මත්ද්‍රව්‍ය විරෝධී සටනට මහින්ද මෙන් නොව මෛත්‍රීපාල සිරිසේන පරමාදර්ශී චරිතයක්ද තෝරාගත්තේය. ඒ, එවකට පිලිපීනයේ ජනාධිපති ධුරය හෙබවූ රොඩි්‍රගෝ ඩුටරේට්ය. කැලෑ නීතියෙන් මත්ද්‍රව්‍ය මැඬලන්නට ගිය ඩුටරේට් සිය දේශපාලන විරුද්ධවාදින් රැසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස ලේබල් ගසා මරාදැම්මේය. 2016 වසරේදී පිලිපීනයේ ජනධිපති ධුරයට පත් ඩුටරේට්ගේ පොරොන්දුව වූයේ 2018 වන විට පිලිපීනයේ මත්ද්‍රව්‍ය නැති කිරීමය. ඒ සඳහා ඔහු යොදාගත්තේ හරි අපූරු ක්‍රමවේදයන්ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරාදමන ලෙස රට වැසියනට උපදෙස් දුන්නේය. එපමණක්ද නොව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරාදමන ඕනෑම කෙනකු ආරක්ෂා කරන බවට ප්‍රසිද්ධියේ පොරොන්දුවක්ද ලබා දුන්නේය. ප්‍රතිඵලය වූයේ කෙටි කලක් තුළ දහස් ගණනක් මහමඟ මරාදැමීමය. International Drug Policy Consortium (IDPC) 2018 වාර්තාවට අනුව පිලිපීනයේ මෙලෙස මහමඟ මරාදමන ලද සංඛ්‍යාව 20,000 ඉක්මවයි. එහෙත් තවමත් පිලිපීනය මත්ද්‍රව්‍ය මුක්ත රටක් වී නැත. මත්ද්‍රව්‍යවලට මුවාවී ඩුටරේට්ලා තම දේශපාලන විරුද්ධවාදීන් සමූල ඝාතනය කරන්නට සමත් විය.
තමාද ඩුටරේට් ගිය මඟ යමින් ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දමන බවට වහසි බස් දෙඩූවද මෛත්‍රිපාල සිරිසේනටද ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් නොවීය. අවසන ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දුන්නේය. ඉන් සිදුවූ එකම දෙය රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ පිළිකුලට භාජනය වීම පමණි. 2019 ඔහු ධුරයෙන් විශ්‍රාම යන විට මත්ද්‍රව්‍ය මඬින්නට පිහිටුවූ ජනාධිපති කාර්යසාධන බළකාය ගෝඨාභය රාජක්ෂගේ ‘එක රටක් එක නීතියක්’ සඳහා පත්කළ ජනාධිපති කාර්යසාධන බළකායේ තත්ත්වයටම වැටී තිබිණි.
මේ අතර පසුගියදා බන්ධනාගාර රැඳවූවන්ගේ නිර්මාණ ඇතුළත් ‘සිර සර’ ප්‍රදර්ශනය නැරඹීමට එහි ගිය බන්ධනාගාර, අධිකරණ සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ එහිදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර සිටියේය. ඒ, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස දේශපාලනඥයන් කිහිප දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සිටින බවයි. දැන් ආණ්ඩුවට මත්ද්‍රව්‍ය උවදුර මඬින්නට සැබෑ ඕනෑකමක් ඇත්නම් කිරීමට ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා කියන එම පිරිස වහා අත්අඩංගුවට ගැනීමය.
ලංකාවේ දේශපාලනඥයන් මත් උවදුර මඬින්නට යැයි කියා සිදුකළ ව්‍යාපෘති සියල්ලම පාහේ සංස්කෘතිය පදනම් කරගත් දේශපාලන ව්‍යාපෘතීන්ය. එහෙයින් දරුවන්ගේ පාසල් බෑග් කණපිට ගසා අයිස් සොයන්නට පෙර ඒවා රටට ගෙන එන ජාවාරම්කරුවන් සහ ඔවුනගේ ප්‍රධාන බෙදා හරින්නන් අල්ලා ගත්තේ නම් පොලිසියට පාසල් ගේට්ටු මුරකරමින් කට්ට කන්නට වන්නේ නැත. ඡන්ද ඉලක්ක කර වඳ කොත්තු, පැලෝපීය නාළ කරළියට ආවා සේ අයිස් මෙහෙයුම්ද පළාත් පාලන මතිවරණයේ කසකරුවෙක් විය හැකි බව දොරේ හඬ සහ බෙරේ හඬ වෙන් වෙන්ව හඳුනන මිනිසුන්ට නම් රහසක් නොවේ.
නිර්මාල් දේවසුරේන්ද්‍ර










