ලංකාවේ විශ්වවිද්‍යාල අතර මුල්පෙළේ විශ්වවිද්‍යාලක් විදියට පේරාදෙණිය විශ්වවිද්‍යාල හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පේරාදෙණිය කියන්නේ ලංකාවේ විශ්වවිද්‍යාලය අතර තියෙන සුන්දරම තැනක්. බොහෝ සිසු සිසුවියන් තමන්ගේ උසස් පෙළ ජීවිත කාලේ හීන දකින්නේ පේරාදෙණිය සරසවියට යන්න. ඒ, පේරාදෙණිය සරසවිය ඒ තරම්ම සොඳුරු, ඉතාම ප්‍රේමණීය, ඉතාම දර්ශනීය පරිසරයක පිහිටා තිබෙන නිසා. හන්තාන කඳු යාය පාමුල තියෙන මේ සොඳුරු සරසවි ඉසව්වේ හැමදාම මල් පිපෙන බව, හැන්දෑවට හීන් හීතලක් සරසවියට එන හැටි, හිරිපොද වැහි වැටෙන හැටි සරසවිය ගැන කතා කරන හැමතැනකදීම අපි දැකලා තියෙනවා. අපි ඒවා කියවලා තියෙනවා. සරසවිය ප්‍රේමණීය ඉසව්වක් බව අපි දැනගත්තේ පේරාදෙණිය ගැන ලියැවුණු කතාවලින්. ඒත් පේරාදෙණිය සරසවිය ගැන මේ වතාවේ ලියන්න හදන්නේ එහි තියෙන ප්‍රේමණීය බව ගැන නෙවෙයි. ඊට වඩා වෙනස් කතන්දරයක් ගැන. ඒ තමයි පේරාදෙණිය සරසවියේ මේ කාලෙ ඇතිවෙලා තියෙන බරපතළම අර්බුදය. බරපතළ ගැටලුව. මේ ගැටලුව දැන් ඉතා දරුණු තැනකට ඇවිල්ලා.
ශිෂ්‍යයන් 10 දෙනෙකුගේ පමණ ශිෂ්‍යභාවය අහෝසි කරන තැනටම මේ ප්‍රශ්නය දැන් දුරදිග ගිහිල්ලයි තියෙන්නේ. ඇත්තටම සරසවියට යන්න වරම් ලබාගත්තු ශිෂ්‍යයෙකුට තමන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරගන්න සිදුවෙනවා නම් ඒක ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේ අවාසනාවන්ත ඉරණමකට මුහුණුදුන්නු මේ ශිෂ්‍යයන් ගැන අපි කතාකරන්නේ ඔවුන් වැරැදියි, ඔවුන් නරකයි කියන බරපතළ චෝදනාවත් එක්ක. ඇත්ත වශයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පහුගිය කාලෙ නොවිය යුතු බොහෝ දේවල් සිද්ධ වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විතරක් නෙවෙයි ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ මේ අර්බුද කාලෙදී හැසිරුණේ සාමාන්‍යයෙන් අපේ රටේ එහෙම හැසිරිය යුතු නැහැ කියන තත්ත්වයක. නමුත් ඒ තත්ත්වය ඇතිවුණේ කොහොමද, ඒ තත්ත්වයට ශිෂ්‍යයන් පත්කළේ කවුද, ඒ තත්ත්වයට රට අරගෙන ගියේ කවුද කියන එක ගැන අපට ප්‍රශ්න කරන්න ඕනේ. විශේෂයෙන්ම වසන්ත මුදලිගේලා ඇතුළු ශිෂ්‍යයෝ පාරට බැස්සේ ඒ අය ගැන හිතලා නෙවෙයි. සමහර වෙලාවට ඒ අයට පෞද්ගලික වුවමනාවන්, පෞද්ගලික ඕනෑ එපාකම් තියෙන්න ඇති. තමන්ට පුද්ගලිකව කැපීපෙනීමේ වුවමනාවන් සරසවි ශිෂ්‍යයන්ට නෑ කියලා අපි කියන්නේ නෑ. ඒත් මේ ශිෂ්‍යයන් එළියට බැස්සේ ඇයි කියන එක අපි ප්‍රශ්න කළ යුතුයි. නමුත් සරසවි ශිෂ්‍යයකුට අයිතියක් නෑ තමන්ගේ විශ්වවිද්‍යාලයේ ඉන්න පරිපාලනයට බරපතළ විදියට තර්ජනය කරන්න, ශාරීරිකව හානි කරන්න, ඔවුන් සමග ගැටුම් ඇතිකරගන්න. ඒත් ඒක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට තර්ජනය කළ බවට පහුගිය දවස්වල කතන්දර පැතිරෙන්න පටන්ගත්තා. ඒ වෙලාවේ සරසවි ඇදුරන් බොහෝ දෙනෙක් මේ ශිෂ්‍යයන්ට විරුද්ධව හිටගන්න තැනට පත්වුණා. ඒකට හේතුව වුණේ සිරසවියේදී ඍජුවම මේ ශිෂ්‍යයන් විසින් ඔහුට එල්ල කරන ලද චෝදනා සහ ඔහු ඉදිරියේදීම පවසන ලද කාරණා හේතුවෙන්. නමුත් මේ පැවසූ කාරණා, මේ එල්ල කරපු චෝදනා, මේ වෙලාවේ කියපු දේවල් සරසවියේ ශිෂ්‍යයන් කිව්වේ එහෙම දෙයක් වුණේ නෑ කියලා. නමුත් ඇත්තටම සරසවියේ එහෙම දෙයක් වුණු බවට ඇසින් දුටු සාක්ෂි සහ සමහර වීඩියෝ සාක්ෂි මගින් අපටත් දැනගන්න ලැබුණා. ඇත්තටම එහෙම දෙයක් වුණා නම් ඒක වැරැදියි. මේ විශ්වවිද්‍යාල මහචාර්යවරුන්ට ශිෂ්‍යයන් ‘ගෝඨා එළවපු අපට උඹ මොන ගැරඬියෙක්ද…?’ කියලා කිව්වා නම් ඒක ඉතා බරපතළ තත්ත්වයක්. දේශපාලන වෙනසක් කරන්න ශිෂ්‍යයන් මූලිකත්වය ගත්ත බව ඇත්ත. එහෙම වුණා කියලා ඔවුන්ට නිල ලයිසන් එකක් ලැබෙන්නේ නෑ අපේ රටේ ඕනෑම තනතුරක් ඕනෑම ආකාරයට වෙනස් කරගන්න. එහෙම තමයි සමහර ශිෂ්‍යයෝ හිතාගෙන හිටියේ. ඒත් මේ වෙලාවේ මොකක්ද මේ සිද්ධ වුණේ? මේ වෙලාවේ ශිෂ්‍යයන් පිරිසක් එක්තරා විශ්වවිද්‍යාල ඇදුරකුගේ නිවෙසට ගිහිල්ලා ඔහුගේ පුතාට සහ කිහිප දෙනකුට පහර දුන් බවට චෝදනාවක් එල්ල වෙනවා. මේ චෝදනාව සත්‍ය අසත්‍ය බව හොයලා බලන්න අපි තීරණය කළා. ඇත්තටම අපි ගාව තියෙන්නේ තහවුරු කළ හැකි සාක්ෂි රහිත සමහර කතන්දර විතරයි. ඒත් අපි ඒ කතන්දර මේ ආකාරයෙන් ඔබට කියන්නේ ඇත්ත කතාව මොකක්ද කියලා ඔබට හඳුනාගන්න සහ හොයාගන්න පහසු වෙන්න.
මේ වෙනකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිද්ධිය ඉතා දරුණු අතට ඔඩුදුවලා ඉවරයි. සිද්ධිය සම්බන්ධයෙන් බරපතළ මට්ටමින් පරීක්ෂණ සිදුවෙනවා. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, ඒ කියන්නේ මේ ලිපිය ලියන බදාදා දවස වෙනකොට මීට පැය 03කට කලින් දැනගන්න ලැබිච්ච ආරංචිය වුණේ සිසුන් 12 දෙනෙක් මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගත කරලා අවසන් බව. අවසාන වශයෙන් භාරවුණු ශිෂ්‍යයන් දෙදෙනාවත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කරලා තිබුණා. මේ සිද්ධියත් එක්ක ඉතා බරපතළ තත්ත්වයට පත්වෙච්ච පරීක්ෂණ කිහිපයක්ම විශ්වවිද්‍යාලය මට්ටමින් සහ පොලීසිය මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. තවමත් ඒ සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශ කරන්න බැරි වුණත් මේ ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට තීරණය කරලා ඉවරයි. මේ අය හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමුකිරීමට නියමිත බවයි කියැවෙන්නේ. ඇත්තටම සරසවි වරම දිනාගත්තු මේ ශිෂ්‍යයන්ට මේ විදියේ ඉරණමක් අත්වීම කොයිම විදියකින් ගත්තත් සාධාරණ නෑ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල පරිපාලනය වැරැදී කියලා කියනවා නෙවෙයි, විශ්වවිද්‍යාල පරිපාලනය හරි වුණත්, වැරැදි වුණත් මේ තත්ත්වයට මේ ශිෂ්‍යයෝ පත්වීමම ඔවුන්ගේ වරදක් සහ මේ ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ගත්තාම බරපතළ අසාධාරණ තත්ත්වයක්. මොකද ඔවුන්ව නිර්මාණය කරලා තියෙන්නේ ඔවුන්ව මේ විදියට විශ්වවිද්‍යාලයට එවලා තියෙන්නේ ඔවුන්ගේ පුද්ගලික ධනයෙන් නෙවෙයි. මේ ශිෂ්‍යයන් මේ දක්වා එන්නේ නිදහස් අධ්‍යාපනයෙන්. නිදහස් අධ්‍යාපනයෙන් හදන්න හදපු ශිෂ්‍යයෝ 13 දෙනකුට මේ විදියට ශිෂ්‍යභාවය හදිසියේ අහෝසි වෙනවා කියලා කියන්නේ ඔවුන් සම්බන්ධව අපට කියන්න තියෙන්නේ වතුර ඇදලා කළේ බින්දා වගේ කතාවක්. කාලයක් තිස්සේ ඔවුන්ව නිර්මාණය කරලා, අන්තිමට ඔවුන් අපට අහිමි වෙනවා. ඒක එහෙම වියයුතු නෑ.
මේ ආණ්ඩු ශිෂ්‍යයන් පස්සේ පන්නනවා. ශිෂ්‍යයන්ව මර්දනය කරනවා කියන එක ආණ්ඩුවට තියෙන බරපතළ චෝදනාවක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ සිද්ධියේදිත් ආණ්ඩුව වැඩ කරලා තියෙන්නේ ඒ විදියටම නම් ඒ ආණ්ඩුව ගැන අපට දැනෙන්නේ ඉතා බරපතළ කනගාටුවක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් වැරැදි කරන ශිෂ්‍යයන් හදන්න ඕනෙ. වැරැදි කරන දරුවන්ට දඬුවම් කරන්න. ඒක වැඩිහිටියන්ගේ වගකීම. දරුවෝ වැඩිහිටියෝ වෙන කාලෙ වෙද්දී ඒ අයටම තේරෙන්න පටන් අරගන්නවා තමන් කරන වැරැදිවලට තමන්ට දඬුවම් නොකරපුවාම තමන් හෙට දවසට විනය නැති, රටට නොගැළපෙන අය බවට පත්වෙනවා කියන එක. වසන්ත මුදලිගේ වගේ ශිෂ්‍යයන්ව දිගින් දිගටම සිරගත කරමින්, ඔවුන්ට ලබාදෙන මේ දඬුම්වල පදනමක් නැති වග රටට තේරෙන්න පටන් අරගත්තාම මුළු රටම යම්කිසි දවසක මේ ශිෂ්‍යයන් වෙනුවෙන්, ශිෂ්‍යයන්ගෙ පැත්තේ හිටගන්න පුළුවන්.
අපි දන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රශ්න තියෙනවා. නවක වධය සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් පහුගිය කාලෙ ඇතිවුණා. ශිෂ්‍යයන් සහ පරිපාලනය අතර ගැටුම් ඇතිවුණා. හැබැයි මේ සිද්ධියේදී ශිෂ්‍යයෝ 100%ක් වැරැදිද, එහෙම නැත්නම් මේ සිද්ධියේදී ශිෂ්‍යයන්ව ඉලක්ක කරමින් ඔවුන්ව යම් කිසි කාරණාවක් සඳහා වැරැදිකරුවන් බවට ඔප්පු කරන්න හදනවාද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ අපි ගාව නෙවෙයි. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මේ සිද්ධිය පිටිපස්සේ ඉන්න අය ගාව. ඇත්තටම දරුවෝ වැරැදි කළා නම් ඔවුන්ට දඬුවම් ලබාදිය යුතුයි. ඒක අපි නැවත නැවතත් මේ ලිපියේ කිහිප වතාවක්ම කියලා තියෙනවා. ඒත් කිසිම ආණ්ඩුවකට අයිතියක් නෑ ශිෂ්‍යයන් මර්දනය කරන්න. බලධාරීන්ට අයිතියක් නෑ ශිෂ්‍යයන්ව මර්දනය කරන්න. ඒත් නිලධාරීන් පුරුද්දක් විදියට මේ ශිෂ්‍ය මර්දනය සිදුකරන බව අපි දන්නවා. ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් ලංකාවේ මහපොළොවේ මියගිහිල්ලා තියෙනවා. ඒ, ආණ්ඩුවේ බත්බැලයන් විසින් තැබූ වෙඩිපහරවලින්, ඔවුන් පැහැරගෙන ගිහිල්ලා කරපු ඝාතනවලින්, සමහර ඒවා නියම් අනියම් ඝාතන විදියට හඳුනාගත්තු, සැක කරපු අවස්ථා තියෙනවා. අපි දන්නේ නැහැ ඒවා ඇත්තටම ඔවුන් කළාද නැද්ද කියන එක. හැබැයි බරපතළ චෝදනා මීට කලින් තිබුණු ආණ්ඩුවලට එල්ල වුණා අපි දැක්කා. ඒ නිසා සත්‍ය කවදා හෝ දවසක එළිවෙන තුරු බලා නොඉඳ මේ සිද්ධිවලට එරෙහි විය යුතුයි. මේ සිද්ධිවල සැබෑ ස්වරූපය හඳුනාගෙන බලධාරිනි, මේ ලිපිය ලියන්නේ ඔබේ අවධානය පිණිස. වැරැදිකරුවන් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ට දඬුවම් කිරීම, ඔවුන්ව සිරගත කිරීම, ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවට යොමුකිරීම මේ සියල්ලටම අපි එරෙහි වෙන්නේ නෑ. ඒවා වැරැදියි කියලා කියන්නේ නෑ. ඒත් කළ යුතු දේ මොකක්ද, නොකළ යුතු මොකක්ද කියලා හරියට නොතේරෙනවා නම් ශිෂ්‍යයෝ පමණක් නෙවෙයි බලධාරීනුත් වැරැදියි.

ජීවන පහන් තිළිණ










