ආහාර පාන, ඖෂධ, වැනි කප්පරක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟ, ජීවන වියදම අහස උසට නැඟ ඇති, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සියල්ල පාහේ කප්පාදු වෙමින් පවතින ශ්‍රී ලංකාවේ අපට කතා කරන්නට අලුත් මාතෘකාවක් කරළියට පැමිණ තිබේ. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඊට ගෙන එන සංශෝධනයන්ය. ගෙවුණු දශක හතරහමාරක ඉතිහාසය පුරා නිරන්තර සාකච්ඡාවට බඳුන් වෙමින්ද, විටෙක කටුගා දමන්නට පොරොන්දු වෙමින්ද ඉදිරියට ඇදෙන ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ 1977 දී 6න් 5ක පාර්ලිමේන්තු බලයක් ලබාගනිමින් බලයට පත් ජේ.ආර්. ජයවර්ධන රජය විසිනි. හඳුන්වා දුන් පළමු අවස්ථාවේ සිටම බරපතළ විවේචනයන්ට ලක්වූ ජේ.ආර්.ගේ 78 ව්‍යවස්ථාව මේ වන විට 21 වතාවක් සංශෝධනයවී හමාරය. ඉන් සංශෝධන 16ක්ම සිදුවූයේ ව්‍යවස්ථාව හඳුන්වා දී ගෙවුණු පළමු දශකය තුළය. මේ ආකාරයේ සංශෝධන සංඛ්‍යාවක් දශකයක් තුළ ක්‍රියාත්මක වීම වූ කලී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ත්‍රෛමාසික සඟරාවක තත්ත්වයට පත්වීමක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ලංකාවේ අප මෙසේ හිතුණු හිතුණු වේලාවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කළද ලෝකයේ දීර්ඝතම ඉතිහාසයක් හිමි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස සැලකෙන 1787 – 89 කාලයේ කෙටුම්පත් කරන ලද ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වනතුරු සංශෝධනය කර ඇත්තේ 27 වතාවක් පමණි.
1970 – 77 කාලයේ මෙරට පාලනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව තුළ පැවැති අකාර්යක්ෂම බව හේතුවෙන් ඉහළ ගිය ජනතා කලකිරීම නිසා එක්සත් ජාතික පක්ෂය 1977 දී 6/5ක පාර්ලිමේන්තු බලයක් ලබාගත්තේය. එකී ජන වරම 1983දී නිමවිය යුතුව තිබිණි. එහෙත් 1982 පැවැත්වූ ජනමත විචාරණය මගින් එම ජනවරම අනීතිකව තවත් වසර හයකට දීර්ඝ කරගන්නට ජේ.ආර්.ගේ ආණ්ඩුව කටයුතු කළේය. ඔවුන් සිය පාලනයේ මුල්ම දශකය වැය කළේ තම බලය සදාකාලික කරගනු වස් ව්‍යවස්ථාව හතර අතට නැවීමටය. එදා පර්ලිමේන්තුවේ පාලක පක්ෂයට පැවැති අධිකතර බලය නිසා ව්‍යවස්ථා සංශෝධනයන්ට ආණ්ඩුව පක්ෂවත්, විරුද්ධ පක්ෂය විරුද්ධවත් ඡන්දය දීම සාමාන්‍ය සම්ප්‍රදාය විය. එහෙත් 2001 වසරේදී සිදුවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංශෝධනයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය පාවිච්චි කිරීම ගෙනෙන සංශෝධනයේ හොඳ නරක මත නොව තමන් දරන මැති ඇමැතිකම්වල යහපැවැත්ම උදෙසා සිදුවන තැනට කටයුතු සිදුවෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධන පිළිබඳ කලක සිට සාකච්ඡා වෙමින් පැවැතිනි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ සමයේ පැවැත්වූ කුප්‍රකට වයඹ පළාත් සභා මැතිවරණය සහ පාලක පක්ෂයන් මැතිවරණ සමයේ රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම වැනි කරුණු වළකාලන්නට නම් පූර්ණ බලැති මැතිවරණ කොමිසමක් ශ්‍රී ලංකාවටද අවශ්‍ය බවට මත පළවන්නට විය. ඉන්දියාවේ ක්‍රියාත්මක මැතිවරණ කොමිසමට සමාන බලැති ආයතනයක් මෙරට පිහිටුවීමේ අවශ්‍යතාව සලකා බැලුණු අතර රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීමෙන් මුදාගැනීම, පොලිස් දෙපාර්තමේන්තුව ස්වාධීන කිරීම වැනි අවශ්‍යතා රැසක් එහිලා අවධාරණය කරනු ලැබීය. මේ කතාබහ 2000 වසරේදී බලයට පත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සමයේ උපරිම තලයකට පැමිණි අතර අවසානයේ ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි සංස්ශෝධනය හඳුන්වා දෙන ලදී. ඒ අනුව මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ ස්ථිර කොමිසම, මුදල් කොමිෂන් සභාව සහ සීමා නිර්ණය කොමිෂන් සභාව යන පූර්ණ බලැති කොමිෂන් සභා පිහිටුවීමේ යෝජනාව 17 වැනි ව්‍යවස්ථා සශෝධනයට ඇතුළත් විය. මෙම කොමිෂන් සඳහා සාමාජිකයන් පත්කිරීමේදී ජනාධිපතිවරයාට එතුවක් හිමිව තිබූ බලය අහුරා දමමින් ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවක් පත් කිරීමට 17 වැනි සංශෝධනය මගින් හැකි විය.
සැබැවින්ම පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදය තහවුරු කරන මෙකී යෝජනා ඇතුළත් 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2001 ඔක්තෝබර් 03 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර ඊට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සියලු මන්ත්‍රීවරු ඒකමතිකව ඡන්දය දුන්හ. එවැනි අවස්ථාවක් පාර්ලිමේන්තුවේ දැකගත හැකිවූ මුල්ම සිදුවීම එය විය. 17න් යෝජිත කොමිෂන් සභා සඳහා නියෝජිතයන් පත් කිරීමට කතානායකගේ සභාපතිත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවක් පත්කරන ලදී. අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා යන දෙදෙනා සහ ඔවුන් දෙදෙනා විසින් නම්කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් පත්කරන සාමාජිකයන්ගෙන් එකී ව්‍යවස්ථාදායක සභාව සමන්විත විය.
කෙසේ වෙතත් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී ආරම්භයට ඉඳුරාම පටහැනි ආකාරයේ යෝජනා රැසකින් සමන් විත 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊළඟට කරළියට පැමිණියේය. ඒ සංශෝධනය තනිකරම එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන බල ව්‍යාපෘතිය උදෙසා ක්‍රියාවට නැඟූ එකක් විය. එම සංශෝධනය මගින් එමගින් එක් පුද්ගලයකුට ජනාධිපති ධුරයට තරග කළ හැකි උපරිම වාර ගණන දෙකකට සීමා කරමින් පනවා තිබූ බාධකය ඉවත් කරන ලදී. එය තනිකරම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ගෙන ආ සංශෝධනයක් වූ අතර ඒ වන විට ඔහු සිය දෙවැනි ධුර කාලය ගෙවමින් සිටියේය.
ඊට අමතරව 17 වැනි සංශෝධනය මගින් බලාත්මක කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරන 18 වැනි සංශෝධනය මගින් අහෝසි කරනා ලදී. විවිධාකාර පත්කිරීම් සඳහා ජනාධිපතිවරයා වෙත තිබූ යම් බාධක ඉවත් කිරීම මෙම සංශෝධනය මගින් සිදුවිය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආපසු හැරවූ 18 වැනි සංශෝධනය 2010 සැප්තැම්බර් 08 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ සම්මත වීමෙන් නීතිගත විය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 161 දෙනකු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර 17 දෙනකු විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. එවක පැවැති රජයට හිමිව තිබූ පාර්ලිමේන්තු බහුතරයට අනුව ප්‍රතිඵල ගැන පුදුම වියයුතු නොවේ. එහෙත් ඊට පක්ෂව ඡන්දය දුන් 161 දෙනාගෙන් බහුතර පිරිසක් ඊට පෙර ගෙන ආ 17 වැනි සංශෝධනයටද පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබිණි. නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, දුමින්ද දිසානායක, ඩග්ලස් දේවානන්දා, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද යාපා අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන ජොන්ස්ටන් ප්‍රනාන්දු, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රාදේවි වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, මෛත්‍රිපාල සිරිසේන ඇතුළු මන්ත්‍රීවරු 28 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් 17 වැනි සංශෝධනයට සහ එය මුළුමනින්ම සංශෝධනය කරමින් ගෙන ආ 18 වැනි සංශෝධනය යන දෙකටම පක්ෂව ඡන්දය දී තිබීම සැබැවින්ම පුදුමසහගතය. මතිවරණ වේදිකාවන් දෙවනත් කරමින් ප්‍රතිපත්ති දෙශපාලනයන් ගැන කෑමොර ගානා දේශපාලනඥයන් ප්‍රායෝගික ජීවිතයේදී වැඩ කරන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැතිව බවට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත.
මරණය තෙක් ලංකාවේ ජනාධිපති වීමට 18 වැනි සංශෝධනය ගෙන ආ මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී තමාගේම පක්ෂයේ හිටපු ලේකම් හමුවේ පරාජයට පත් වූයේය. ඉන් අනතුරුව පිහිටුවූ යහපාලන රජය සියලු දෝෂ නිරාකරණය කරන්නට යැයි කියමින් 19 වැනි වතාවටත් ව්‍යවස්ථාව සංශෝධනය කළේය. ලාංකේය දේශපාලන වංශකතාවට 19 වැනි සංශෝධනය ලෙසින් එක්වූ එකී සංශෝධනය මගින් 18 වැනි සංශෝධනය මගින් නිශ්ක්‍රීය කළ ස්වාධීන කොමිෂන් සභා යළි සක්‍රීය කළ අතර ජනාධිපති ධුරය සඳහා එක් පුද්ගලයකුට ඉදිරිපත් විය හැකි උපරිම අවස්ථාව යළි දෙකකට සීමා කරන ලදී. එමෙන්ම ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ මැතිවරණ සඳහා තරග කිරීමත් පාර්ලිමේන්තුවට පිවිසීමත් තහනම් බවට වගන්තියක්ද 19ට ඇතුළත් විය. තවද පාර්ලිමේන්තුව සිය අභිමතය පරිදි විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල සීමා කරමින් තේරීපත් වූ දින සිට වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනාධිපතිට බලයක් නැති බවට වගන්තියක්ද ඊට ඇතුළත් විය. ඊට අමතරව තොරතුරු දැනගැනීම ජනතා අයිතිවාසිකමක් ලෙස මෙම සංශෝධනය මගින් තහවුරු කර තිබිණි. ඒ අනුව බලන කල 19 වැනි සංශෝධනය වූකලී මුළුමනින්ම ජනාධිපති ධුරයේ බලතල සීමා කළ ඉදිරිගාමී සංශෝධනයක් විය. එය 18 වැනි සංශෝධනයට ප්‍රතිවිරුද්ධ එකක්, නැතහොත් 18 කණපිට ගැසීම ලෙස හැඳින්වීමේ වරදක්ද නැත. එහෙත් 18 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරු 25 දෙනකුට ආසන්න පිරිසක් 19 වැනි සංශෝධනයටද පක්ෂව ඡන්දය දෙන ලදී. චමල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, මහින්ද සමරසිංහ, රාජිත සේනාරත්න, කෙහෙළිය රඹුක්වැල්ල, ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය, ජනක බණ්ඩාර තෙන්නකෝන්, පවිත්‍රාදේවි වන්නිආරච්චි, කුමාර වෙල්ගම, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, දුමින්ද දිසානායක, ඩග්ලස් දේවානන්දා, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද යාපා අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන ජොන්ස්ටන් ප්‍රනාන්දු, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ඇතුළු පිරිසක් එලෙස ඡන්දය දුන්හ. 18ට පක්ෂව ඡන්දය දුන් මෛත්‍රිපාල සිරිසේන 19 වැනි සංශෝධනය ගෙන ඒමට පුරෝගාමී මෙහෙයක් ඉටුකරන ලද අතර ඔහු එම අවස්ථාවේ 6 වැනි විධායක ජනාධිපති ධුරය හොබවමින් සිටියේය. 18ට ගෙන ඒමට මුල් වූ මහින්ද රාජපක්ෂ 19 ගෙන එන අවස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ලද මුත් 19 වැනි සංශෝධනයට ඡන්දය විමසන අවස්ථාවේ ඔහු පාර්ලිමේන්තු සභා ගැබේ සිටියේ නැත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඊළඟ සංශෝධනය ලෙස එක්වනුයේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එමගින් 19 වැනි සංශෝධනය මගින් ඇතිකර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අංග සියල්ලම පාහේ අහෝසි කර විධායක ජනාධිපති ධුරය තිබුණාටත් වඩා ශක්තිමත් කර තිබිණි. 19 වැනි සංශෝධනයේ අඩංගුවූ තොරතුරු දැනගැනීමට ප්‍රජාවට ඇති අයිතිය, ජනාධිපති ධුරය සඳහා එක පුද්ගලයකුට තරග කළ හැකි උපරිම අවස්ථා ගණන දෙකකට සීමා කිරීම, ජනාධිපති ධුරයේ සහ පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර පහකට සීමා කිරීම හැර අන් සියලු සංශෝධන 20 මගින් ඉවත්කර තිබිණි. ඒ අනුව අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර ස්වාධීන කොමිෂන් සභා සඳහා නියෝජිතයන් පත්කිරීමට ජනාධිපතිවරයාට ඍජුවම බලය හිමි විය. ඊට අමතරව පොලිස්පති, විගණකාධිපති, නීතිපති, ඔම්බුඩ්ස්මන් ඇතුළු ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාට බලය හිමි විය. ඊට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා පත්කිරීමද ඇතුළත් විය. ජනාධිපතිවරයාට වසර හතරහමාරක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළකාලමින් පනවා තිබූ වගන්තියද ඉවත් කරනු ලැබූ අතර ඒ වෙනුවට එම කාලය වසර දෙකහමාරකට අඩු කරමින් නව වගන්තියක් ඇතුළත් කරනු ලැබීය. එමෙන්ම අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලබාගැනීමේ අවශ්‍යතාවද නව ව්‍යවස්ථාව මගින් ඉවත් කරන ලදී. ඊට අමතරව ද්විත්ව පුරවැසියනට ජනාධිපති ධුරයට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඉදිරිපත් වීමට පනවා තිබූ තහනමද 20 වැනි සංශෝධනයෙන් ඉවත්කර තිබිණි.
යහපාලන ආණ්ඩුව සමයේ ගෙන ආ 19 වැනි සංශෝධනයේ තිබූ ප්‍රජාතාන්ත්‍රීය ගුණාංග 90%ක් පමණ ඉවත් කරමින් ගෙන ආ 20 වැනි සංශෝධනය පාර්ලෙමේන්තුවේ සම්මත වූයේ 2020 ඔක්තෝබර් 22 වැනිදාය. ඊට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 65ක් ලැබිණි. මෙහිදී දැකගත හැකිවූ විශේෂ සිදුවීම වූයේ ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තෙරීපත් වූ ඩයනා ගමගේ, ඉෂාක් රහුමාන්, ඒ.ඒ.එස්.එම්. රහීම්, එස්.එම්. තවුෆික්, ෆයිසාල් කාසීම්, ඒ.ඒ.එම්. හාරිස්, අරවින්ද කුමාර් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් යන මන්ත්‍රීවරු කෙටුම්පතට පක්ෂව ඡන්දය දීමය.
එහිදී ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට තරග කිරීම සඳහා ද්විත්ව පුරවැසියන්ට ඉඩකඩ සැලසෙන 17 වැනි වගන්තිය ඉවත් කළ යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට යෝජනා කරන ලද අතර ඒ පිළිබඳවද ඡන්ද විමසීමක් පැවැත්විණි. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි බවට වන වගන්තියට සහාය පළකරමින් ලැබුණු ඡන්ද සංඛ්‍යාව 157ක් වන අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64ක් විය. 20 වැනි සංශෝධන කෙටුම්පත දෙවැනි වර කියවීමේදී ඊට විරුද්ධව ඡන්දය ලබාදුන් අකිල ඉලංගෙයි මක්කල් කොංග්‍රස් පක්ෂයේ මුෂාරෆ් මුතුනබීන් ද්විත්ව පුරවැසි යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම තවත් විශේෂයක් විය. 19 වැනි සංශෝධනය කණපිට හරවමින් ගෙන ආ 20ට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් අතර නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රාදේවි වන්නිආරච්චි, එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත්, ඩග්ලස් දේවානන්දා, ජගත් පුෂ්පකුමාර, රොෂාන් රණසිංහ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අලුත්ගමගේ, සි.බී රත්නායක, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, දුමින්ද දිසානායක, කණක හේරත්, ලොහාන් රත්වත්ත, ප්‍රසන්න රණවීර ඇතුළු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විය. 19 වැනි ව්‍යවස්ථාවට විරුද්ධව හුදකලා සටනක නිරතවූ සරත් වීරසේකර මන්ත්‍රීවරයා 20ට විරුද්ධව ඡන්දය දෙන ලදී. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ආර්ථිකය විනාශ කළේ යැයි චෝදනා එල්ලවූ ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂගේ දේශපලන ආගමනය සිදුවනුයේ මෙකී 20 වැනි සංශෝධනය මගින් විවර කර දුන් ඉඩකඩ නිසාය.
20 වැන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත් ආණ්ඩුවටම වසර දෙකක් ඇතුළත 21 වැනි සංශෝධනය ගෙනවිත් 20 අහෝසි කිරීමට සිදුවීම සැබැවින්ම දෛවෝපගත සිදුවීමකි. (2022. 10. 21 දින සම්මත වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 22 ලෙස හඳුන්වනුයේ ඊට පෙර සමගි ජන බලවේගය විසින් 21 වැනි සංශෝධනය ලෙසින් ව්‍යවස්ථා සංශෝධනයක් සභාගත කර තිබූ හෙයිනි. කෙසේ වෙතත් 20 පසු පාර්ලිමේන්තුවේ සම්මතවූ මුල්ම සංශෝධනය මෙය වන බැවින් මේ සංශෝධනය 21 ලෙසින් නිවැරදි විය යුතු බව අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසා තිබිණි. එහෙයින් මෙම ලිපියේදී 21 වැනි සංශෝධනය ලෙස පසුගිය 21 වැනිදා සම්මත වූ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වනු ලබයි.)
එම සංශෝධනය මගින් ජනාධිපතිවරයාට රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමට තිබූ තනි බලය ඉවත්කර, එය යළිත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවට පවරා ඇත. (19 වැනි සංශෝධනයේදී මෙන්) ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීම, දිවිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් දැරීමට සහ ජනාධිපති ධුරයට පත්වීමට තිබූ අවස්ථාව අහිමි කිරීම මෙම සංශෝධනයෙන් සිදුකර ඇත. ඒ අනුව මෙම සංශෝධනය 19 වැනි සංශෝධනයේ ආකෘතියේ සිට කෙටුම්පත් කරන ලද්දක් බව පෙනේ. එහෙත් 19 වැනි සංශෝධනයේ ඇතුළත් වූ වසර හතරහාමාරක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට නොහැක යන වගන්තිය නව සංශෝධනයට ඇතුළත් කර නැත. ඒ වෙනුවට 20 වැනි සංශෝධනයේ තිබූ වසර දෙකහමාරක් ගතවන තෙක් පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනාධිපතිට නොහැකිය යන වගන්තිය ඊට එක්කර තිබේ. සමගි ජන බලවේගයේ දැඩි කොන්දේසි නිසා මෙය සිදුවූ බව පැහැදිලිය.
මුළුමනින්ම 20ට පටහැනි වුවද සරත් වීරසේකර මන්ත්‍රීවරයා හැර ඊට පක්ෂව ඡන්දය දුන් සියලු මන්ත්‍රීවරුන් මෙවර 21ට පක්ෂව ඡන්දය දී තිබීම නිසා වසර දෙකක් තුළ දෙවාරයකදී ලංකාවේ පාර්ලිමේන්තුව පිරී ඇත්තේ ප්‍රතිපත්තියක් නැති දේශපාලනඥයන්ගෙන් බව මොනවට පැහැදිලි වෙයි. 21ට පක්ෂව ඡන්දය හෝ නොදීමට මන්ත්‍රීවරුන් 44 දෙනකු සභාවට පැමිණ සිටියේ නැත. එම පිරිස අතර පාලක පොදුජන පෙරමුණේ 25 දෙනකුට ආසන්න පිරිසක් වෙයි. මහින්ද රාජපක්ෂ, සනත් නිශාන්ත, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රාදේවි වන්නිආරච්චි, ප්‍රසන්න රණවීර, ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, සීතා අරඹෙපොල, ධම්මික පෙරේරා, ගාමිණී ලොකුගේ, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ, ප්‍රදීප් උඳුගොඩ ඇතුළු පිරිසක් ඒ අතර වෙයි.
එකිනෙකට පරස්පර ව්‍යවස්ථා සංශෝධන හතරකට මන්ත්‍රිවරුන් 25 දෙනකුට ආසන්න පිරිසක් නොවෙනස්ව පක්ෂව ඡන්දය දීම නිසා ශ්‍රී ලංකාවේ දේශපාලනය මුළුමනින්ම පෞද්ගලික වාසි තකා සිදුකරන ව්‍යාපාරයක් බවත්, එහි ජාතික අවශ්‍යතාවන්ට කිසිදු ඉඩක් ඉතිරිව නැති බවත් පැහැදිලි වෙයි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










