පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස අවභාවිතය සම්බන්ධයෙන් වහා සොයා බලන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඇතැම් නිල නිවාස අවභාවිත කර ඇති බවට විවිධ පාර්ශ්වවලින් නිරන්තරයෙන් පැමිණිලි ලැබී ඇති බව කථානායකවරයා සඳහන් කළේය.
ඒ අනුව දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන හිටපු මන්ත්‍රීවරුන් ඇතැම් මන්ත්‍රී නිවාසවල දීර්ඝ කාලයක සිට රැඳී සිටින බවට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත්, මන්ත්‍රීවරුන් සඳහා වෙන් කර ඇති ඇතැම් නිල නිවාසවල කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ආරක්ෂක නිලධාරීන් ද රැඳී සිටින බවට ඇතැම් පැමිණිලිවල සඳහන් කර ඇති බවත් වාර්තා වේ.
එවැනි පැමිණිලි සැලකිල්ලට ගෙන කඩිනමින් විමර්ශනය කර වාර්තා කරන ලෙස තමන් වගකිවයුතු නිලධාරීන්ට උපදෙස් දුන් බව කථානායකවරයා පවසයි.
නිදන කාමර 03ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, කාර්ය මණ්ඩල වැසිකිලියක් සහ වාහන නැවැත්වීමේ ඉඩකඩ සහිත වර්ග අඩි 900කින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයක් සමන්විත වේ.
මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණය නිවාස ඒකක 120 කින් සමන්විත වන අතර ඒවා කුලී පදනම මත ලබා දෙනු ලැබේ.










