අද (23) දිනය තුළ ගල්අඟුරු තොගයක් සඳහා ඇණවුමක් ඉදිරිපත් නොකළහොත් ඔක්තෝබර් මස 28 වනදා සිට යළිත් දිනකට පැය 08 සිට 12 දක්වා කාලයක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.
රට තුළ දැනට පවතින ගල්අඟුරු මෙට්‍රික් ටොන් 250,000 ක සංචිතය ලබන ඔක්තෝබර් මස 28 වැනිදා දක්වා පමණක් ප්‍රමාණවත් බව පවසන ජනක රත්නායක මහතා නොරොච්චෝලේ විදුලි ජනන යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කිරීමට දිනකට ගල්අඟුරු මෙට්‍රික් ටොන් 5000 ක් පමණ අවශ්‍ය බවයි කියන්නේ. ගල්අඟුරු නොමැතිවුවහොත් මෙගාවොට් 900 ක විදුලිය ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවන නිසා ගල්අඟුරු වලින් විදුලි අවශ්‍යතාවයෙන් 35%ක් පමණ ජනනය කරන බවත් ඔහු සඳහන් කරනවා.
ගල්අඟුරු ටෙන්ඩරය අඩු ලන්සුව ඉදිරිපත් කළ ආයතනයට ප්‍රදානය කළත් ඒ පිළිබඳව වෙනත් ආයතනයක් අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස සිටීම නිසා ටෙන්ඩර ලැබූ සමාගම ගල්අඟුරු සැපයුම ප්‍රතික්ෂේප කිරීමෙන් තත්වය බරපතළ වී ඇති බව සභාපතිවරයා කියා සිටිනවා. මෙම තත්වයෙන් ගැලවීමට නම් සෑම දින පහකට වරක්ම ගල්අඟුරු නැවක් ගෙන ඒමට ඩොලර් මිලියන 21 ක් බැගින් අවශ්‍ය බව පවසා සිටින ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ පසුගිය වසරේ කළ ඇනවුම් 19 අත්පිට මුදලට මිලදී ගැනීම ගැටලුව එකම විසඳුම බවයි.










