ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට පක්ෂපාතී ස්ථාවරයක සිටිමින් චීනය සහ උතුරු කොරියාව අදහස් දැක්වීය.
ජාතික ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ආර්ථික ප්‍රකෘතිය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට දැඩි ලෙස සහාය දෙන බව චීනය සඳුදා (12) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට ප්‍රකාශයක් කරමින් පැවසීය.
මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාව දේශපාලනීකරණ ප්‍රතිඵලයක් බව කියා සිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ චීන නියෝජිතයා පැවසුවේ “එය අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්ම අනුගමනය නොකරන බවත්, එය අදාළ රටවල් විසින් පිළිගෙන නොමැති බවත්ය. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාධනීය කාර්යභාරයක් ඉටු කර නැත.” යනුවෙනි.
ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු ජනරජය ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කරමින් කියා සිටියේ බොහෝ අභියෝග මධ්‍යයේ ආරක්‍ෂාව සහ ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කරමින් තිරසාර ප්‍රගතියක් සහතික කරමින් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්‍ෂා කිරීමට දරන අවංක ප්‍රයත්නය සහ එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ සම්බන්ධව සිටීමට දරන උත්සාහය අගය කරන බවයි.










