‘උඹ හොරෙක්…’
හොරෙක් නොවිච්ච මිනිහෙක් අහන්න අකැමැතිම වචනයක් ඒක. ජීවිතේ කවදාවත් හොරෙක් වෙන්න බලාපොරොත්තුවක් නැතුව හිටපු මිනිස්සුන්ට අද හොරු වෙන්න සිද්ධ වෙලා. ඒ අපේ සල්ලි ටික හොරකම් කරපු තක්කඩි දේශපාලකයො හින්දා. සමාවෙන්න. මේ ලිපිය මෙහෙම ලියන්න වුණාට. ගිය සතියෙ අපි හොරෙක්ව ඇල්ලුවා. ඒ හොරා හොරකම් කරලා තිබුණේ කිරිපිටි ටින් එකක්. මිනිහෙක් කිරිපිටි ටින් එකක් හොරකම් කරන්නේ ඒක විකුණලා රටක් රාජ්‍යයක් හම්බකරගන්න නෙවෙයි. මාල කඩන, බැංකු කඩන, දේපොළ හොරකම් කරන, ගෙවල්වලට වහලෙන් බැහැලා වටිනා දේවල් අරගෙන ගිහින් ඒවා විකුණලා කුඩුගහන තක්කඩි හොරු අස්සේ මේ හොරාටත් අපි කිව්වේ එකම නම. ඒ, ‘හොරා’ කියන නම. ඒත් ඒ හොරකම් කරපු මනුස්සයා හොරකමෙන් පස්සේ මෙහෙම කියනවා.
‘මම මේ කිරිපිටි ටින් එක ගත්තේ මගෙ දරුවට දෙන්න….’
ඒ කතාවෙන් පස්සේ තමයි අපේ ඇඟ කිලිපොළා යන්න පටන් අරගන්නේ. ඒකට හේතුව අද වෙනකොට කිරිපිටි ටින් එකක මිල නිශ්චිතවම රුපියල් 1000ට වැඩියි. සමහර විට සමහර කිටිපිටි වර්ගවල මිල රුපියල් 3,000 ඉක්මවා ගිහිල්ලයි තියෙන්නේ. එහෙම කාලෙක කිරිපිටි ටින් එකක් හොරකම් කරනවා හැර, දවස් පඩියෙන් කීයක් හරි හොයාගන්න මිනිහෙක් වෙන මොනවා කරන්නද කියලා අපිටත් අහන්න හිතෙනවා. ඒ, හොරුන්ට අනුබල දෙන්න නෙවෙයි. මිනිස්සු විදියට මනුස්සකම ගැන කතාකරන්න මීට වඩා වෙන විදියක් නැති හින්දා. ඒත් මේ ලිපිය ලියන්නේ කිරිපිටි ටින් එකේ හොරකම ගැන නෙවෙයි. මේ සතියෙත් හොරෙක් අහුවෙච්ච හින්දා.
ඒක ඊට වඩා වෙනස් කතාවක්. බොරැල්ලේ සුපිරි වෙළෙඳසලක ආරක්ෂකයෝ බොරැල්ල පොලිසියට අල්ලා දෙනවා ආයෙත් හොරකම් කරපු මනුස්සයෙක්ව. ඇස්වල කඳුළු පුරෝගත්තු හොරෙක් වේදනාවෙන්, සුපිරි වෙළෙඳසලේ හිටපු ආරක්ෂකයන්ගේ දෑතට හිරවෙලා පොලිසියට අරගෙන යනවා. මේ අරගෙන යන හොරකමට සම්බන්ධ පුද්ගලයා වගේම ඒ ආරක්ෂක නිලධාරීනුත් අසරණයි. ඒ මිනිස්සුන්ටත් වෙන කරන්න දෙයක් නෑ. ඒ මිනිස්සු කරන්නෙත් රස්සාවක්. ඒ අයත් ඉන්නේ අපේම බෝට්ටුවේ. ඒ නිසා අපි කිසිම දවසක ඒ මිනිස්සුන්ට චෝදනා කරන්නේ නෑ. දවසෙ පඩියට සිකියුරිටි රස්සාව කරන ඒ මිනිස්සු රාජකාරි හරියට නොකළා නම් හිස් අතින් ගෙදර යන්න සිද්ධ වෙනවා. එතකොට දරුවන්ගෙ බඩගින්න ගැන ඔවුන්ට බලන්න වෙන්නේ නෑ. ඒ නිසා ඒ මිනිස්සු හොරෙක් අල්ලනවා. හොරාව අරගෙන යනවා බොරැල්ල පොලිසියට. පොලිසියෙ නිලධාරීන් කරන්නේ රාජකාරිය. කවුරු හරි හොරෙක් කියලා කෙනෙක්ව අල්ලගෙන ආවොත් ඒ හොරා සම්බන්ධව නීතිමය පියවර ගන්න එක හැර, වෙන කරන්න කිසිම දෙයක් පොලිසියට නෑ. පොලිසියට ඉතිරි කටයුතු කරන්න නම් අනිවාර්යයෙන්ම මේ නීතිමය පියවර අරගෙන ඉන්නම වෙනවා. හොරෙක් අල්ලගෙන ආවට පස්සේ ඒ හොරා පිළිබඳ පැමිණිල්ල විභාග කළ යුතුයි. ඒක පැවරෙන්නේ උපපොලිස් පරීක්ෂකවරයෙක්ට. මේ උපපොලිස් පරීක්ෂකවරයා හොරකම ගැන පැමිණිල්ල ලියාගෙන ඉවර වෙලා අපූරු දෙයක් කරනවා. ඒ තමයි ඔහු අතේ තියෙන සල්ලිවලින් හොරකම් කරපු බඩු මල්ලේ බිල සුපිරි වෙළෙඳසලට ගෙවන එක. එහෙම ගෙවලා බඩු මල්ලත් අර මනුස්සයගෙ අතටම දෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මේ පොලිස් නිලධාරියාගෙ සල්ලි සුපිරි වෙළෙඳසල ගත්තේ කියලා. ගත්තද, නොගත්තද කියලා නිශ්චිතවම අපි නොදන්නවා වුණත් එහෙම ගන්න වුණා නම්, එහෙම ගන්න වෙන්නේ සුපිරි වෙළෙඳසලේ රාජකාරි කරන කිසිවෙක් එහි හිමිකරුවෙක් නොවන හින්දා. ඒගොල්ලො කරන්නේ රාජකාරියක්. එහෙම රාජකාරිය කරන අතරතුරේ රුපියල් 1000ක, 2000ක බඩු මල්ලක මිල ගෙවන්න තරම් අපේ රටේ සුපිරි වෙළෙඳසලක රාජකාරි කරන නිලධාරියකුට පුළුවන්කමක් නෑ. ඒ තරම් වත්කමක් ඔවුන්ට නෑ. මේ හැමෝම ඉන්නේ ජීවිත බරෙන් මිරිකිලා. මේ උපපොලිස් පරීක්ෂකවරයගෙ තත්ත්වෙත් ඊට වඩා වෙනස් වෙන්න බෑ. ඒත් කාකි නිල ඇඳුම අස්සේ හිටපු දෙවියෙක් බොරැල්ල පොලිසියෙන් එළියට බහිනවා. ඇත්තටම අපි වඳින්න ඕනෙ. ඇත්තටම දෙවියො කියලා අදහන්න ඕනෙ මේ වගේ මිනිස්සු. මෙහෙම මිනිස්සුත් මේ නිල ඇඳුම අස්සේ ඉන්නවා කියන එක අපි ලෝකෙට කියන්න ඕනෙ. අපි හැමදාම කළේ පොලිසියට බැණපු එක, චෝදනා කරපු එක. මිනිස්සු ‘පොලිස්කාරයො’ වෙනකොට ‘පොලිස් දෙවිවරු’ත් ඒ අතර ඉන්නවා. මේත් එහෙම දෙවි කෙනෙක්. මෙහෙම දෙවි කෙනෙක්ගෙ පිහිට ලබන්න ඒ මනුස්සයත් පින් කරලා තියෙන්න ඕනෙ.
ඔහු දෙහිවල පැත්තේ පදිංචි කෙනෙක්. ඔහු කියන්නේ ‘සර් මට කරන්න දෙයක් නෑ. මගේ දරුවො දවස් 4කින් හරිහමන් කෑමක් කාලා නෑ’ කියලා. ඔහු හොරකම් කරන්නේ හාල් කිලෝ තුනකුයි, සමපෝෂ පැකට්ටුවකුයි. හාල් කිලෝ තුනකයි, සමපෝෂ පැකට්ටුවකයි සාමාන්‍ය මිල දළ වශයෙන් ගණන් හැදුවොත් රුපියල් 1000 චුට්ටක් විතර එහෙ මෙහෙ වෙයි. මේ බඩු මල්ලේ මිල පොලිස් නිලධාරියා ගෙව්වට පස්සේ ඒ ගෙදර මිනිස්සුන්ගෙ බඩගින්න නිවෙන්න ඇති. ඔහු එහෙම නොකළා නම් සමහර විට නීතියට පුළුවන්කම තිබුණා දරුවො හතර දෙනා බඩගින්නේ තියලා ඒ දරුවන්ගෙ බඩගින්නට හාල් ටිකක් හොරකම් කරපු තාත්තව කූඩුව ඇතුළේ දවසක් දෙකක් තියන්න. එහෙම වුණා නම් අර දරුවො සමහර වෙලාවට හාමතේම මැරිලා යයි. ඒකෙන් ප්‍රශ්නයක් නෑ. මොකද ඒ දරුවන්ට පොලිසියට ගිහිල්ලා කියන්න දෙයක් නෑ. ඒ දරුවන්ට අපේ රටේ අධිකරණය ඉස්සරහට ගිහිල්ලා ඒ දරුවන්ගෙ දේවල් හොරාකාපු එවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න පුළුවන් තරම් ලොකු ඉඩක් අපේ රටේ හැදිලා නෑ. ඒ නිසා ඒ නොදරුවන්ට සිද්ධ වෙන්නේ කුසගින්නේ මියයන්න. එහෙම කුසගින්නේ දරුවො මියගිය රටක් මේක. කුසගින්න නිසා දරුවොත් එක්ක වැවට පැනපු අම්මලා හිටපු රටක් මේක. කුසගින්න නිසා දරුවොත් මරාදාලා තමනුත් මැරුණු රටක් මේක. එහෙම රටක් ඇතුළේ තාමත් අපි සුරංගනා ලෝකවල ජීවත් වෙනවා. අපේ රටේ සල්ලිකාරයෝ වෙහෙර විහාරස්ථාන ගාව බිම අතුරලා රනින් රිදියෙන් පූජා පවත්වනකොට මිනිස්සු සුදහ ගින්නෙන් මැරෙනවා. ඒ නිසා පුළුවන් නම් ඔබේ සල්ලිවලින් මිනිස්සුන්ගෙ බඩගින්න නිවන්න. බුදුහාමුදුරුවොවත්, ජේසුතුමාවත්, දෙවිතාවුන්වහන්සේලාවත් ඒකට අකැමැති වෙන එකක් නෑ.
එදා බොරැල්ල පොලිසියට මොකක්දෝ රාජකාරියකට ආපු ඇත්ත හිමිනමක් මේ අහිංසක මනුස්සයට පුළුවන් විදියට සල්ලිවලින් උදව්වක් කරනවා. අපි මේ ලිපිය ඇතුළේ කිසි තැනක කියන්නේ නෑ මිනිහෙක් හොරෙක් විය යුතුයි කියලා. ඒත්, මිනිහෙක්ට හොරෙක් නොවී කරන්නම දෙයක් වෙන නැත්නම් සමහර විට හොරෙක් වෙන්න පුළුවන්. ඒත් හොරෙක් වෙන්න එපා. පුළුවන් නම් දෙයක් ඉල්ලගන්න. ඉල්ලගෙන කන එක නම්බුයි. හොරෙක් වුණාට පස්සේ නීතියට කරන්න දෙයක් නෑ. ඔබට විරුද්ධව පියවර ගන්නවා හැරෙන්න.

ජීවන පහන් තිළිණ










