අන්තර් විශ්වවිද්‍යාල ශීෂ්‍ය බලමණ්ඩලය මගින් ඊයේ දින පැවැත්වූ විරෝධතාව මර්දනය කිරීම සදහා දහස් ගණනක් විශේෂ කාර්ය බළකා සෙබළුන් යොදා ගැනීම සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය විරෝධය ප්‍රකාශ කොට ඇත.
ඒ පිළිබදව ෆොන්සේකා මහතා තැබූ ෆේස්බුක් සටහන මෙසේය.
නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙලපාලියකට පහරදී පලවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්යබලකා සෙබලුන් දහස්ගනනක් මේ ආකාරයෙන් යෙදවීම රටක ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනකි.
මැයි 9 වෙනිදා මහින්ද රාජපක්ශ අගමැතිවරයා මේ ආකාරයටම මැර පිරිසක් යොදවා සාමකාමීව අවිහිංසාවාදීව පවත්වාගෙන ආ අරගලයට පහර දුන්නේය. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ වෙනුවට රජයේ සන්නද්ධ පොලිස් හා හමුදා කන්ඩායම් යොදවාගනිමින් සිටියි.
මැයි 9 වෙනිදා ප්‍රහාරයෙන් ඉක්බිති සිදුවූ දේ රටම දුටුවේය.
මේ පාර කපමින් සිටින්නේ ඊටත් එහාගිය බරපතල ජනතා නැගිටීමකට අවශ්‍ය ඉඩකඩ නිර්මානය කරමින් බව අදක්ශ අකාර්යක්ෂම ජනතාද්‍රෝහී පාලකයින් තේරුම් ගත යුතුය.
පොලීසිය හා හමුදාව යොදවා ජනතාව අතරින් නැගී එන විරෝධතා මෙලෙස සන්නද්ධව මර්ධනයට ලක් කිරීම ප්රජාතන්ත්රවාදී ලෝකය කිසිදිනෙක අනුමත නොකරනු ඇත. ජාත්‍යන්තර සහාය අත්‍යාවශ්‍ය මෙවන් මොහොතක මෙවැනි අනවශ්‍ය මර්ධනකාරී ප්‍රතික්‍රියාවන්ගේ බලපෑම සමස්ත රටවැසියා තවදුරටත් පීඩාවට පත් කරනවා නොඅනුමානය.










