බර්මින්හැම්හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නිමාවී අවසානය. ඊට සහභාගි වූ රටවල් 72 අතරින් ශ්‍රී ලංකාව 31 වැනි ස්ථානය දිනාගන්නට සමත් වූයේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදකම් තුනක් දිනාගනිමිනි. එහෙත් තවත් එක් ඉසව්වකින් ශ්‍රී ලංකාව පළමු වැනි තැනට පැමිණ ඇත. ඒ, තරගාවලිය අතරතුර ක්‍රීඩකයන් සහ නිලධාරීන්ගේ පලායාම සම්බන්ධයෙනි.
යුරෝපා රටවල පවත්වන තරගවලදී ආසියානු සහ අප්‍රිකානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පලායාම අරුමයක් නොවෙතත් ක්‍රීඩකයන් දසදෙනකුට ආසන්න පිරිසක් එකම තරගාවලියකදී පලායාම වූ කලී රටක් ලෙස ශ්‍රී ලංකාවට බරපතළ අපකීර්තියක් බව පැවැසිය යුතුය. මෙලෙස අතුරුදන් වූ පිරිස අතර ක්‍රීඩකයන් අටදෙනකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනකු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශක ගෝබිනාත් සිවරාජා විදෙස් මාධ්‍යවලට පවසා තිබේ. මෙලෙස අතුරුදන් වූ පිරිස අතර ජූඩෝ කළමනාකරුවකු, ජූඩෝ ක්‍රීඩිකාවක්, මල්ලවපොර ක්‍රීඩකයන් දෙදෙනකු, බොක්සිං ක්‍රීඩකයන් තිදෙනකු, වෙරළ වොලිබෝල් ක්‍රීඩකයන් දෙදෙනකු සහ මල්ලවපොර ක්‍රීඩිකාවක් වන බව ඔහු වැඩි දුරටත් පවසා තිබේ.
පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් දසදෙනකුගෙන් යුතු කණ්ඩායමක් පලායාම ගැන අප සාකච්ඡා කළද ශ්‍රී ලංකාවට මේ සම්බන්ධව ඇති අතීත වාර්තා සමග සැසඳීමේදී මේවාත් වැඩදැයි කෙනෙකුට ප්‍රශ්න කිරීමට පුළුවන. මන්දයත් ජාත්‍යන්තර තරගාවලි අතරතුර ක්‍රීඩකයන් පලායාම කලාවක් නම් එහි පිකාසෝලා වීමට ඉහළින් සුදුසුකම් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව බොහෝ ඉදිරියෙන් පසුවන බැවිනි.
අප්‍රිකානු රාජ්‍යයක් වන සෙනෙගාලය හැරුණු කොට ලෝකයේ බොහෝ රටවල් මේ සම්බන්ධව පසුවන්නේ අපට පසුපසිනි. මන්දයත් පලායාමටම තරගාවලියකට සහභාගි වීමේ ඉතිහාසයක්ද ශ්‍රී ලංකාවේ අපට හිමිව ඇති බැවිනි.
විදෙස් රටවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පලායාම පිළිබඳ ලෝකයේම අවධානය ශ්‍රී ලංකාවට යොමුවූ වසරක් ලෙස 2004 වසර දැක්විය හැකිය. එම වසරේ ජර්මනියේ ‘මිත්‍රශීලී හෑන්ඩ්බෝල් තරගාවලියක්’ සඳහා සහභාගී වීමට ජර්මනියට ගොස් සිටි 23 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘හෑන්ඩ්බෝල් කණ්ඩායම’ සම්පූර්ණයෙන් අතුරුදන් විය. එහි වඩාත් පුදුමය වන්නේ එවන් හෑන්ඩ්බෝල් කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් ජර්මනිය බලා නික්ම ගිය බව හෝ ලංකාවේ එවැනි කණ්ඩායමක් තිබුණු බව හෝ මෙරට ක්‍රීඩා බලධාරීන් නොදැන සිටීමය. සැකෙවින් පවසන්නේ නම් මෙරට ඉතා කලාතුරකින් දැකගත හැකි ක්‍රීඩාවක් වන බේස් බෝල් සඳහා ජාතික කණ්ඩායමක් තිබී නැත. මේ සිදුවීම ජාත්‍යන්තරයේ දැඩිව සාකච්ඡාවට ලක්වූ එකක් විය. පසු කාලයක ඉතාලි ජාතික සිනමාකරුවකු වූ උබැර්තෝ පසොලීනි මේ සිදුවීම අලළා චිත්‍රපටයක්ද නිර්මාණය කරන ලදී. රටවල් ගණනාවක තිරගත වූ එම චිත්‍රපටය ‘මචං’ නමින් ශ්‍රී ලංකාවේද ප්‍රදර්ශනය කරන ලදී.
‘මචං’ චිත්‍රපටයට පසුබිම් වනුයේ ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් උපායශීලීව යුරෝපයට සංක්‍රමණය වීමට ගන්නා උත්සාහයකි. මත්පැන් අලෙවිකරුවකු වන මනෝජ් (ගිහාන් ද චිකේරා) සහ පලතුරු වෙළෙන්දකු වන ස්ටැන්ලි (ධර්මප්‍රිය ඩයස්) මිතුරන්ය. දෙදෙනාම සිය වාසනාව සොයා බටහිර රටකට සංක්‍රමණය වීමට සිහින දකින්නෝ වූහ. කොතෙක් උත්සාහ කළද ඔවුන්ගේ වීසා අයැදුම්පත් ප්‍රතික්ෂේප වෙයි. කනස්සල්ලට පත්ව සිටින මනෝජ්ට ජර්මනියේ බැවරියන්හි පැවැත්වෙන හෑන්ඩ්බෝල් තරගාවලියක තොරතුරු දැනගන්නට ලැබෙන්නේ මේ අවස්ථාවේය. හෑන්ඩ්බෝල් යනු කුමණාකාරයේ ක්‍රීඩාවක්දැයි නොදැන මේ දෙමිතුරෝ තමන් වැනිම යුරෝපයට පැනගැනීමේ සිහිනය දකිමින් සිටි කණ්ඩායමක් එක්රැස් කරගෙන ‘ශ්‍රී ලංකා ජාතික හෑන්ඩ්බෝල් කණ්ඩායම’ ලෙස තරගාවලියට අයැදුම් කරති. ජීවිතයට ක්‍රීඩා කර නොතිබුණු හෑන්ඩ් බෝල් ක්‍රීඩාව පිළිබඳ අවම පුහුණුවක් ලබන මෙම පිරිස ජර්මානු තානාපති කාර්යාලයෙන් සංචාරක වීසා ලබා ගන්නට සමත් වෙති.
කණ්ඩායමේ ආරම්භක සාමාජිකයා වන මනෝජ් අවසාන මොහොතේ ඉන් ඉවත් වූ නමුත් සෙස්සෝ ජර්මනිය බලා නික්මෙති. ශ්‍රී ලංකා ජාතික හෑන්ඩ්බෝල් කණ්ඩායමේ දස්කම් දැකබලා ගැනීමට උනන්දුවෙන් සිටින තරගාවලි සංවිධායකයන් සහ ක්‍රීඩා ලෝලීන් නිසා ජර්මනියේ සිට පලායාම ඔවුන් සිතන තරම් පහසු නොවේ. ඒ අනුව ඔවුන්ට පළමු තරගයට සහභගිවීමට සිදුවේ. එම තරගය කිසිදු ගෝලයක් නොමැතිව අන්ත පරාජයට පත්වන්නට යන කණ්ඩායම අවසානයේ ගෝලයක් ලබාගනී. එය ඔවුන්ට මහත් ප්‍රීතියක්වන මුත් සිය පලායාම ක්‍රියාත්මක කිරීමට ඔවුහු තීරණය කරති.පසුදින වනවිට සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම පලායන අතර ඔවුන් පලාගිය බව තහවුරු කරගන්නා සංවිධායකයෝ දැඩි කලකිකිරීමට පත්වෙති.
‘මචං’ චිත්‍රපටයට පාදක වූ මෙම සිදුවීමේ විශේෂත්වය වන්නේ මෙම කණ්ඩායම මුළුමනින්ම ව්‍යාජ එකක් වීමය. මනෝජ් සහ ස්ටැන්ලි කණ්ඩායමක් සමග ජර්මනියට යන්නේ එහි සිට යුරෝපයට පලායාමටය. එහෙත් පසුගිය දින කිහිපයේ බර්මින්හැම් ක්‍රීඩා ගම්මානයේ සිට පලායන්නේ එවැනි කණ්ඩායමක් නොව, රටට ගෞරවයක් ගෙන එන්නට එතෙර ගිය තානාපතිවරුන් බඳු කණ්ඩායමක සාමාජික සාමාජිකාවන් පිරිසකි. පදක්කම් දිනන්නට බැරි නම් රටේ ගෞරවය රකින්නට ඔවුනට සැබෑ වග කීමක් තිබුණු බව අවිවාදිතය. අනෙක් අතට මෙලෙස පලාගිය කණ්ඩායමේ සන්නද්ධ සේවා නියෝජනය කළ සාමාජිකයන් කිහිපදෙනකුද සිටින බව වාර්තා වේ. පලාගිය කණ්ඩායමේ සිටි ජූඩෝ ක්‍රීඩිකා මාරප්පුලිගේ චමිලා ඩිලානි සහ ජූඩෝ නිලධාරි ටිකිරි හන්නදිගේ දුමින්ද අසේල ද සිල්වා සහ තවත් එක් අයෙක් පොලිසිය සොයාගෙන ඇත. එහෙත් ඔවුන්ට දින 180කට වීසා ඇති බැවින්ද, එංගලන්තයේදී කිසිම නීති විරෝධී ක්‍රියාවක නිරතව නැති බැවින්ද පොලිසිය ඔවුන්ට එරෙහිව පියවරක් ගෙන නැත. කෙසේ වෙතත් මෙම පිරිස කණ්ඩායම හැරගොස් ඇති බව මේ වන විට වාර්තා වේ.
ශ්‍රී ලංකවේ ක්‍රීඩකයන් මීට පෙරද ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ගොස් පලාගිය අවස්ථා ඕනෑතරම්ය. එළෙස පලාගිය ක්‍රීඩා ශූරයන් අතර ලංකා සවාරිය ඇතුළු ප්‍රමුඛ පාපැදි ශූරතා රැසක් ජයග්‍රහණය කළ සයිකල් ශූර බොනිෆස් පෙරේරාද වෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකවන්ද මේ ආකාරයෙන් තරගාවලි අතරතුර පලාගිය අවස්ථා ගණනාවක් වාර්තා වේ.
2018 වසරේ ඔස්ටේ්‍රලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී අප්‍රිකානු ක්‍රීඩකයන් කිහිප දෙනකු අතුරුදන් වූ අතර, 2002 වසරේ පැවැති මැන්චෙස්ටර් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ක්‍රීඩක ක්‍රීඩිකවන් 26 දෙනකුද අතුරුදන් වූහ. 2012 වසරේ පැවැති ලන්ඩන් ඔලිම්පික් උළෙලේදීද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් 21 දෙනකු අතුරුදහන් වූ බව වාර්තා වේ.
මේ අතර 2004 ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් පිල ජර්මනියේදී අතුරුදන් වූවාට පසු ක්‍රීඩා කණ්ඩායමක්ම අතුරුදන් වූ අවස්ථාවක් නැවත වාර්තා වනුයේ 2011 වසරේදීය. එවර අතුරුදන් වූයේ සුහද පාපන්දු තරගවලියකට සහභගිවනු වස් ප්‍රංශය බලාගොස් සිටි සෙනෙගාල් දේශයේ පාපන්දු කණ්ඩායමයි. එම කණ්ඩායම 2004 වසරේදී ජර්මනියේදී අතුරුදන් වූ ව්‍යාජ ශ්‍රී ලංකා හෑන්ඩ් බෝල් පිල මෙන් නොව සැබෑම සෙනෙගාල් කණ්ඩායමය. ඔවුන් නැවතී සිටි හෝටලයෙන් ක්‍රීඩකයන් සියලු දෙනා එකම මොහොතක පලාගොස් තිබිණි.
මේ දිනවල ශ්‍රී ලාංකිකයන් ගතකරනුයේ ප්‍රශ්න සහ අගහිඟකම් බහුල ජීවිතයකි. රටේ ඉතිරිව ඇති සොච්චම් ඩොලර් ප්‍රමාණයෙන් යම් පමණක් වැය කර තම රටේ කණ්ඩායමක් නොරටක තරගාවලියකට යවන්නේ රටට ගෞරවයක් ලබාදීමටය. දහස් ගණන් ලාංකිකයෝ උදේ රාත්‍රී ප්‍රවෘත්ති බලමින් අසමින් විමසිලිමත් වනුයේ අවම වශයෙන් ලෝකඩ පදක්කමක්වත් රටට දිනා දෙන්නට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව ඇත්දැයි දැන ගන්නටය. එවන් අහිංසක මිනිසුන් වෙනුවෙන් පදක්කමක් දිනා දෙන්නට බැරි වුවද රටේ ගෞරවය රැකදෙන්නට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් තරගවලට යන සෑම කෙනකුටම වගකීමක් ඇත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු










