පහුගිය සතිය නිමාවෙන්නේ තෙල් සම්බන්ධව අලුත් සූත්‍රයක් හඳුන්වා දෙමින්. ඒ තමයි අග අංකයට තෙල් ලබාදීමේ වැඩපිළිවෙළ. තවමත් QR කෝඩ් එක නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නෑ. QR කෝඩ් තැන් තැන්වල හැදෙමින් තිබුණත් ඒ සම්බන්ධව නිවැරැදි වැඩපිළිවෙළක් තව ඉන්ධනහල් ඇතුළේ ක්‍රියාත්මක නොවන නිසා QR කෝඩ් ගැන කතා කරන එක ගැන පසුවට කතා කරන්න තීරණය කළා. අපි ඊට කලින් මේ අංක ක්‍රමය සාර්ථකද නැද්ද කියන එක ගැන පහුගිය දවස්වල ෂෙඩ්වල සිදුවුණු අමුතු දේවල් ටිකක් ගැන ලියන්න තීරණය කළා. ඇත්තටම අංක ක්‍රමය කියලා කියන්නේ පහ බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක්. මොකද ප්‍රශ්නෙ දරුණුයි. ඒ නිසා උත්තරයක් හොයන්න ඕනෙ. ඒ නිසා ක්‍රමයක් නිර්මාණය කළා. ඒත් ක්‍රමය කොහොම නිර්මාණය කළත් මිනිස්සු වෙනස් කරන්න බැරි නිසා මිනිස්සු සුපුරුදු පරිදි පෝලිම්වල ඉන්නවා. අවාසනාවකට මේ පෝලිම්වල ඉන්න අතරතුරේ තෙල් නොඑන අවස්ථා විශාල ප්‍රමාණයක් අපට දකින්න ලැබෙනවා. එහෙම අත්දැකපු සමහර අවස්ථා ලියුම්කරුට පවා තියෙනවා.
දවස් තුන හතරක් තෙල් ආපු නැති ඉන්ධන පිරවුම්හල් ගැන තොරතුරු ඔබට අවශ්‍ය නම් ලබාදෙන්න අපට පුළුවන්. එහෙම තෙල් එන්නෙ නැතුව ගියාම වෙනදා නම් සිදුවෙන්නේ මිනිස්සු එක දවසක් පෝලිමේ ඉඳලා දෙවැනි දවසෙත් තෙල් එන්නෙ නැත්නම් දෙවැනි දවසෙත් පෝලිමේ ඉන්නවා. එතකොට අංක එකට ඉන්න කෙනා අංක එකම තමයි. අංක දෙකට ඉන්න කෙනා අංක දෙකම තමයි. නැත්නම් මේ පෝලිම දවස් දෙක තුන, සමහර වෙලාවට දවස් හත අට එකම විදියට තිබුණු අවස්ථා අපි දැක්කා. හැබැයි මේ අවස්ථාවේ මේ අලුත් තීන්දුවත් එක්ක බොහෝ පිරවුම්හල්වලට සිදුවෙච්ච දේ තමයි අද පෝලිමේ ඉඳලා තෙල් එන්නෙ නැති වුණාම ඒ අයට ගෙදර යන්න සිදුවෙච්ච එක. ආයෙත් හවස අලුත් පෝලිමක් හැදෙන්නේ හෙට තෙල් ගහන කණ්ඩායමට. මේ විදියට දවස් තුනක් ඉඳලා මිනිස්සුන්ට ආපහු යන්න සිදුවෙච්ච පිරවුම්හල් ලංකාවෙ තියෙනවා. ඒ නිසා නිවැරැදි වෙලාවට දෙන්න බැරි නම් මේ සිස්ටම් එක අවුල්. තෙල් ටික හරියට බෙදාගන්න බැරි වුණොත් බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙනවා. ඒ වගේම පෙට්‍රල් සහ ඩීසල් එකම වෙලාවෙ එකම දවසෙ එක අංකයකට තෙල් ගහන්න සිද්ධ වීම අද පිරවුම්හල්වලට තියෙන විශාල ප්‍රශ්නයක්. ඊට හේතුව තමයි ඔවුන් තමන් සතු සියලු සේවකයන් යොදවලා තමයි එක වතාවකට පෙට්‍රල් නම්, පෙට්‍රල් ගහන්නේ. ඒකට හේතුව වෙනදා පිරවුම්හලක ඉන්ධන ලබාදීමේදී පොම්පයකට වැඩකරන සේවකයො දෙන්නා විතරක් හිටියාම ඇති. ඒත් දැන් එහෙම නෙවෙයි. මුදල් එකතු කරන්න, තෙල් ගහන්න, එක්කෙනෙක් වෙහෙසට පත්වෙනකොට අනෙක් කෙනා වැඩ කරන්න වගේ වැඩ ගොඩක් කරන්න වෙනවා. එහෙම වුණොත් ඉන්ධන පිරවුම්හලකට එකම දවසෙ ඩීසල් සහ පෙට්‍රල් දෙකම දෙන්න බැරි වෙනවා, තෙල් ආවත් නැතත්. උදාහරණයක් විදියට ගත්තොත් බදාදා දවසේ තෙල් ලබාදිය යුත්තේ අග අංකය 6,7,8,9 දරන වාහනවලට. ඒ අංකවටල පෙට්‍රල් නිවැරැදිව ලබාදුන්නත්, එදාම ආපු ඩීසල් ටික කාර්යමණ්ඩලය මදිකම, නැත්නම් සේවකයන්ගෙ වෙහෙස, ආයතනයෙ ඉඩකඩ මදිකම, මාර්ග අවහිර වීම වගේ ප්‍රධාන හේතූන් නිසා එදින ඩීසල් නොදී ඉන්න සිදුවෙනවා. එහෙම වුණොත් ඩීසල් ඊළඟ දවසෙ නිකුත් කරන්න සිදුවෙනවා. එහෙම වුණොත් 6,7,8,9 අංකවලට නෙවෙයි ඩීසල් ගන්න වෙන්නේ එතැනින් පස්සේ තියෙන අංකවලට. එතකොට බ්‍රහස්පතින්දා දවසේ පෙට්‍රල් ටික ලබාදෙන්න බැරි වුණොත් ඊළඟ දවසෙ අංක තියෙන අයට පෙට්‍රල් නැති වෙනවා. මේ විදියට කොහොමද නැවැරැදි වැඩපිළිවෙළක් කරගෙන යන්නෙ කියන එක ප්‍රශ්නයක්. හැබැයි ඉන්ධන පිරවුම්හල් ගොඩක් මේ වෙනුවෙන් විශාල කැපකිරීම් කරලා තිබුණා. ඒ කැපකිරීම් සමහර වෙලාවට සාර්ථකයි. සමහර වෙලාවට සාර්ථකද කියන එක ගැන ප්‍රශ්න තියෙනවා. කොහොම නමුත් මේ මොහොතේ ඉන්ධන පිරවුම්හල්වලට හරිම වාසියි. පිරවුම්හල් හිමියො ඉන්නෙ කල්ල මරේ වෙලා. ඒ නිසා සමහරු අමුතු අමුතු වැඩ ටිකක් කළා. සමහරු තාක්ෂණිකව තමන්ගෙ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවත් අපි දැක්කා. ඒ නිසා අපි තීරණය කළා ඒ ගැන පොඩ්ඩක් ලියන්න.
අපි දැක්කා දවස් ගානක් තිස්සේ තමන්ගෙ පිරවුම්හලේ ඉස්සරහා පෝලිමේ හිටපු මිනිසුන්ට දවල් රෑ දෙකේම බත් දන්සලක් දීපු පිරවුම්හලක්. ඒකෙ නම ගමත් එක්කම අපි ලියන්නම්. මොකද හේතුව හොඳ වැඩ නම්ගම් ඇතුව ලියන්නත්, නරක වැඩ නම්ගම් නැතුව ලියන්නත් අපි තීරණය කළා. මේ විදියට මිනිස්සුන්ට කන්න දීපු ඉන්ධන පිරවුම්හල තිබුණේ ඉංගිරියේ ඌරුගල. එහි හිමිකරු කැලුම් ප්‍රසන්න මහත්තයාගෙ සිතුවිල්ලක් අනුව සියලු දෙනාට කෑම ලබාදෙන්න ඔවුන් තීරණය කරලා තිබුණා. ඒ වගේම මහරගම දෙහිවල පාරේ ලංගම ඩිපෝව ආසන්නයේ තියෙන හයිවේ එන්ටර්ප්‍රයිසස් කියන පිරවුම්හල ගැනත් අපි කතා කරන්න ඕනෙ. ඒකෙ හිමිකරු එම්.ඩී.එස්. පෙරේරා මහත්තයා. ඔහු බලාගෙන ඉන්නවා ඉන්ධන පිරවුම්හල දිහා. මහ වැස්සෙ භූමිතෙල් අරගෙන යන්න ආපු මිනිස්සු අතර හිටපු දරුවෙක් හදිසියේ අසනීප වෙලා ඇදගෙන වැටෙනවා. මේ සියල්ල එක්ක ඔහු තීරණය කරනවා හදිසියේම දෙයක්. ඒ තමයි පිරවුම්හලට භූමිතෙල් ගන්න ආපු සියලු දෙනාට තමන්ට ලැබුණු ලීටර් 6,600ක තෙල් ප්‍රමාණය නොමිලේ බෙදා දෙන්න. එක්කෙනකුට භූමිතෙල් ලීටර් 5 බැගින් ඔහු නොමිලේ බෙදාදෙනවා.
ඒකත් අපට අහන්න දකින්න ලැබුණු ඉතා සුවිශේෂ අවස්ථාවක්. හැබැයි තමන්ගෙ ඉන්ධන පිරවුම්හලට තෙල් ගහන්න එන අය ඉස්සරහට යාචකයක් එවලා ඔහුට අවධානය යොමු වුණාට පස්සේ තෙල් ටික හොරට ගහන ෂෙඩ් ගැනත් සමහර තැන්වල සඳහන් වෙලා තිබුණා. ඒ ඉන්ධන පිරවුම්හල් මේ වෙනකොට මුද්‍රා තබල තියෙනවා.
සමහර පිරවුම්හල් තියෙනවා අන්තර්ජාලයෙ සර්ච් කරලා බලද්දී ඒක කවුරු හෝ රීනේම් කරලා තියෙනවා ගූගල් මැප් එකේදී ‘හොර ගුහාව’ කියලා. එහෙම තැනුත් නැතුව නෙවෙයි. අයි.ඕ.සී. පිරවුම්හල්වලට ඕ.අයි.සී. කියලා දාගන්න කියලා සමහර අය සඳහන් කරලා තිබුණා. එක තැනක මම දැක්කා රුසියාවට වඩා තෙල් තියෙනවා ගම්පහ පොලිසියේ කියලා. මේවා කොල්ලො කෙල්ලො තමන්ගෙ සිතුවිලි අනුව හිතන හිතෙන වෙලාවට දාපු දේවල්. හැබැයි ඉතින් අපට ඒවා කියන්නේ කට කහනවට නෙවෙයි කියලා යම් පැහැදිලි වීමක් තියෙනවා.
දූනගහ සහ බටේපොල තියෙන පිරවුම්හල් දෙක ගැනත් ලියන්න ඕනෙ. ඒකට හේතුව ඒවායෙ තියෙන විශේෂතා. බටේපොල ඉන්ධන පිරවුම්හල සාමාන්‍ය මිනිස්සු බොහෝ දෙනකුට තෙල් ලබාගැනීමේ හැකියාව ලැබුණා. විශේෂයෙන්ම එදිනෙදා රස්සාව කරන්න යන මිනිස්සුන්ට, ත්‍රිරෝද රථ රියැදුරන්ට, සුළු ව්‍යාපාරිකයන්ට, මාළු පෙට්ටිය බැඳගෙන ඉන්න රියැදුරන් දැක්කාම වෙනම කතා කරලා තෙල් ටික ගහලා යවපු අවස්ථාත් වාර්තා වෙලා තියෙනවා ඇතැම් පිරවුම්හල්වල. කොහොම නමුත් තමන්ගෙ රැකියාව පවත්වාගෙන යෑම සඳහා සාමාන්‍ය ජනතාවට පුළුවන් උපරිමයෙන් තෙල් ලබාදෙමින් තමන්ගෙ රැකියාව පවත්වාගෙන යෑම සඳහා සාමාන්‍ය ජනතාවට පුළුවන් තරම් උපරිමයෙන් තෙල් ලබාදෙමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරපු පිරවුම්හලක් තමයි බටේපොල පිරවුම්හල.
දූනගහ පිරවුම්හල කිසිසේත්ම පොලිසියේ හෝ වෙනත් අයගේ මැදිහත් වීමකින් තොරව පවත්වාගෙන යන එකක්. ඒකට හේතුව වෙන්නේ සියලු කටයුතු සඳහා පිරවුම්හලේ හිමිකරු ඇතුළු සියලු දෙනාට පුළුවන් වෙලා තියෙනවා රණ්ඩුසරුවල් නැතුව පිරවුම්හල පවත්වාගෙන යන්න. ගමේ පෝලිමක්, චණ්ඩි පෝලිමක්, පොලිසියේ පෝලිමක්, රාජ්‍ය සේවා පෝලිමක්, බූලි පෝලිමක් කියන කිසිවක් මේ පිරවුම්හලේ නෑ. මේ පිරවුම්හල ඉතා සාමාන්‍ය විදියට පවත්වාගෙන යනවා. ඒ වගේම මේ පිරවුම්හලට එන ඕනෑම කෙනකුට තෙල් ටිකක් අරගෙන යන්න පුළුවන් විදියට එය පවත්වාගෙන යන්න දූනගහ පිරවුම්හලේ හිමිකරුවන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඒ විදියට ගත්තාම බටේපොල පිරවුම්හලේ හිමිකරු තුෂාන් මහත්තයටත්, දූනගහ පිරවුම්හලේ හිමිකරු මංජුල මංචනායක මහත්තයටත් විශේෂ ගෞරවයක් හිමිවෙන්න ඕනෙ. ඒ වගේම ගාල්ල පැත්තේ ඉන්ධන පිරවුම්හලක අපි දැක්කා, ඔවුන් තාක්ෂණය ඉහළින් යොදාගන්නා ආකාරය. ඔවුන් ඇප් එකක් සහ වෙබ් අඩවියක් නිර්මාණය කරලා, ඉන්ධන පිරවුම්හල සම්බන්ධ තොරතුරු සියල්ල එම වෙබ් අඩවියෙන් ලබාගන්න අවස්ථාව පාරිභෝගිකයන්ට ලබාදීලා තියෙනවා. ඒ හරහා කොච්චර තෙල් ඉතිරි වෙලා තියෙනවද, වාහන කීයකට මේ වෙද්දී තෙල් ගහලා තියෙනවද, තව වාහන කීයකට ප්‍රමාණවත් තෙල් තව තියෙනවද, තෙල් ඉවර වෙන්නේ කීයටද, මේ වෙලාවෙ පිරවුම්හලට ආවොත් තෙල් ලබාගන්න පුළුවන්ද කියන සියලු තොරතුරු එම වෙව් අඩවියෙන් ලබාගන්න පුළුවන්. මේ වෙද්දී අදාළ පිරවුම්හලේ වෙබ් අඩවිය 10,000කට අධික පිරිසක් දෛනිකව පරිශීනය කරන තැනට පත්වෙලා තියෙනවා. මේ තාක්ෂණය නිසාම පිරවුම්හලේ ඉන්න බොහෝ දෙනකුට දැඩි වෙහෙසකින් තොරව තෙල් ටික අරගෙන ගෙදර යන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකත් ලංකාවෙ ඉන්ධන පිරවුම්හල් අතලොස්සක දක්නට ලැබෙන සුවිශේෂ ලක්ණයක්. ඒ වගේම සමහර පිරවුම්හල් අපි දැක්කා තමන් සතු ඉන්ධන ධාරිතාව පිළිබඳ නිවැරැදිව ගණනය කරලා එක වාහනයක අලවනවා මෙතැනින් එහා වාහනවලට තෙල් ලබාදිය නොහැකි බව. එම දැන්වීමත් සමග එතැනින් එහාට පෝලිමේ ඉන්න එක නතර වෙනවා. ඒත් කැමැති නම් පෝලිමේ ඉන්න පුළුවන්. මිනිස්සු රස්තියාදු කරන එක නතර කරලා, අලුත් විදියෙ දේවල් හිතලා බොහෝ ඉන්ධන පිරවුම්හල් දැන් වෙනස් වෙලා. ඒක හොඳ දෙයක්. අපේ රටේ දේශපාලකයො වෙනස් වෙන්නෙ නැත්නම් අපි අපි හරි වෙනස් වෙන්න එපායැ.

ජීවන පහන් තිළිණ










