‘ඔය නෝර්වේ එවුන් ත්‍රස්තවාදියෝ, ශ්‍රී ලංකාවට ආදරේටද මෙහේ ඇවිල්ලා සාම සාකච්ඡා තියන්නේ? නෝර්වේකාරයෝ හිතවත්කම්, පක්‍ෂපාතීකම් දක්වන්නේ ප්‍රභාකරන්ටයි, කොටි සංවිධානයටයි. සිංහල මිනිසුන්ට උන්ගේ හැඟීමක් නැහැ. උන් ජාතිවාදීන්. බොරුවට සහයෝගය පෙන්නලා කොටින්ට වාසියට තමයි හැම එකම කරන්නේ. ඔය සාම සාකච්ඡා කියලා දැන් කීයක් තිබ්බද..? මොකක්ද ඇතිවුණු ප්‍රයෝජනේ. ඔය එරික් සෝල්හයිම් කියලා නෝර්වේකාරයෙක් තමයි මේ ඔක්කොම කරන්නේ. මිනිහා ප්‍රභාකරන්ටයි හිතවත්කම් පෙන්වන්නේ. ලංකාව පැත්තට සහාය පෙන්නලා යටින් ප්‍රභාකරන්ට අදිනවා. නෝර්වේකාරයන්ගේ සාම සාකච්ඡාවලින් මේ කොටි ප්‍රශ්නය විසඳන්න බැහැ. ලංකාවයි, තවත් රටවල් ගණනකයි බොරුවට සාම සාකච්ඡා තිබ්බා. කිසිම ඵලප්‍රයෝජනයක් මෙතෙක් වෙලා නැහැ. ඔය නෝර්වේ බොරුකාරයන් තවත් මේ ශ්‍රී ලංකාවට එපා, උන් බොරු කරලා ශ්‍රී ලංකාවේ අපිව රවට්ටනවා.’
මෙයට වසර 18කට පමණ ඉහතදී මෙම වදන් ඇසෙන්නට වූයේ, ශ්‍රී ලංකාවේ සිටින යම් දේශපාලනික පාර්ශ්වයක දේශපාලකයන්ගෙනි. ඔවුන් විසින් මෙම තදබල වාග් ප්‍රහාරයන් එල්ල කළේ, එකල ශ්‍රී ලංකාව තුළ සිදුවුණු එක්තරා ක්‍රියාදාමයක් උදෙසාය. 1979 – 2009 කාලවකවානුව යනු ශ්‍රී ලංකාවේ මහා ඛේදනීය යුගය ලෙසට ඉතිහාසයට එක්වී ඇත. ඒ මෙරට මහා විනාශයකට පත්කළ වාර්ගික සිවිල් යුද්ධය හේතුවෙනි. දමිළ කොටි සංවිධානය මෙම විනාශයේ පෙරමුණ ගත් අතර, ඒ හෙයින් රාජ්‍ය පාර්ශ්ව විසින් එකල හමුදාමය යුද්ධයක් මෙහෙයවනු ලැබුවේය. මෙම වාර්ගික ගැටුම දිනෙන්, දිනම උග්‍ර වූ අතර, ඒ හෙයින් ජනයා දස, දහස් ගණනින්ද මියගියේය. මෙවැනි වටපිටාවකදී මෙම බියකරු යුද්ධය නැවැත්වීමේ යම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම උදෙසා විදෙස් රටකින් අමුත්තන් පිරිසක් මෙරටට පැමිණියේය. ඔවුන් පැමිණෙන්නේ සැතැපුම් දහස් ගණනක දුර නෝර්වේ රාජ්‍යයේ සිටය. මොවුන්ගේ අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකා රජය සහ ‘එල්.ටී.ටී.ඊ.’ කොටි සංවිධානය අතර සාම සාකච්ඡා පවත්වමින් යුද්ධයට තිතක් තැබීමය.
ඒ අනුව එකල නෝර්වේ රජය මැදිහත් වීමෙන් සිදුකළ සාම සාකච්ඡා වට කිහිපයක්ම නොකඩවා 2002 – 2007 වසර දක්වාම පැවැත්විණි. මේ සාකච්ඡා සමහරක් ශ්‍රී ලංකාව තුළදීද, අනෙක් සාකච්ඡා නෝර්වේ, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ජපානය සහ තායිලන්තයේදීද පැවැත්විණි. ඉතාමත් පුළුල් සංවිධානාත්මක මට්ටමින් පැවැත්වූ මෙම සාකච්ඡා සමහරක් සාර්ථක වූ අතර, සමහරක් අසාර්ථක තත්ත්වයටද පත්විය. කෙසේ හෝ මෙහිදී නෝර්වේ සාම නියෝජිතයන් බොහෝ දැඩි කැප කිරීමක් සිදුකරමින්, ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සහ කොටි සංවිධාන නියෝජිතයන් අතර සමහර සාම සාකච්ඡා උතුරුකරයේ කොටි පාලන ප්‍රදේශවලදීද පවත්වන ලදී. එසේ වුවද එකල ශ්‍රී ලංකාවේ යම් දේශපාලනික පක්‍ෂ විසින් මෙම ක්‍රියාදාමයන් බලවත් ලෙස හෙළාදැක විරෝධතාවය ප්‍රකාශ කළේය. ඔවුන් එකල විවිධ ක්‍රම හරහා තම විරෝධතාවය පළකළ අතර, උද්ඝෝෂණ, පෙළපාළි, සත්‍යග්‍රහ ද පවත්වනු ලැබීය. එසේම කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය ඉදිරිපිටද වටලමින් දැඩි උද්ඝෝෂණයන් සිදුකළේය. තානාපති කාර්යාලයේ නිලධාරීන් ප්‍රාණ ඇපයට මෙන් ගෙන එම කාර්යාලය ඉදිරිපිට පැය ගණනාවක් වටලාගෙනද සිටියේය. මේ හෙයින් එකල මෙම නෝර්වේ නියෝජිතයන් දැඩි පීඩාවට සහ කනස්සල්ලකටද පත්විය. කෙසේ හෝ මෙවැනි සිදුවීම් රැසක්ම එකල වාර්තා විය.
අන්තවාදී දේශපාලකයන් විසින් මෙම කඩාකප්පල්කාරී කටයුතු සිදුකළද, එකල ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය උදෙසා නෝර්වේ රාජ්‍යය සාම මැදහත්කරුවකු ලෙස විශාල මෙහෙයක් ඉටු කළේය. මුලින් 2002 වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා රජය සහ කොටි සංවිධානය අතර ස්විස්ටර්ලන්තයේ, ජිනීවා නුවරදී අස්සන් කරනු ලැබූ සටන් විරාම ගිවිසුම මගින්, වසර 19ක් පුරා සම්පූර්ණයෙන්ම වසා දමා තිබුණු ‘ඒ-9’ (උතුර – දකුණ යා කරන මහා මාර්ගය) මාර්ගය මුළුමනින්ම විවෘත කරනු ලැබුවේය. එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ කොටි සංවිධානයේද බලයට නතු වී තිබුණු ප්‍රදේශ හරහා ‘ඒ-9’ මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරුණු අතර, උතුරේ සහ දකුණේ ජනතාව බොහෝ ප්‍රීතියෙන් මාර්ගය හරහා ගමන් කළේය. හමුදා ආරක්‍ෂාව යටතේ ලංගම බස් රථ යාපනය දක්වාම ධාවනය කළේය. මෙම තත්ත්වය 2002 වසරේ අගෝස්තු මාසය දක්වාම මාස 06ක් පුරා සාර්ථකව පැවැතිණි. කෙසේ හෝ අගෝස්තු මාසයේදී නැවැත යුද හමුදාව සහ කොටි සංවිධානය අතර සටන් ඇවිළුණු අතර, ‘ඒ-9’ මාර්ගය වසා දැමිණි.
මෙලෙස නෝර්වේ රාජ්‍යය සාම මැදහත්කරුවකු ලෙස යුද්ධයට යම් විරාමයක් තබන්නට එකල දැඩි වෙහෙසක් ගත්තේය. වසර 05ක් පුරා ඔවුන් ජාත්‍යන්තර නිරීක්‍ෂණ මෙහෙයුමක් දියත් කරමින් මෙම සාම වෑයම සාර්ථක කරගැනීමට උත්සාහ කළේය. එකල මෙම මෙහෙයුමේ ප්‍රධානතම සාම මැදහත්කරුවා වූයේ, නෝර්වේ ජාතික රාජ්‍යතාන්ත්‍රිකයකු වූ එරික් සෝල්හයිම්ය. එකල ඔවුහු නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව තුළ වෙසෙමින්, ශ්‍රී ලංකා රජයද කොටි සංවිධානය සමගද සම්බන්ධ වෙමින් සුවිශාල මෙහෙවරක් ඉටු කළේය. වරක් කොළඹ – සිටින ඔහු තව වරක් කිලිනොච්චියේ සිටියේය. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජයේ සිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ රජය දක්වා ඔහු මෙම සාම මෙහෙවර සිදුකරගෙන ගියේය. එහෙත් කෙසේ හෝ පසුව රාජපක්‍ෂ රජය විසින් මෙම සාම සාධක වැඩපිළිවෙළ ක්‍රමයෙන් ප්‍රතික්‍ෂේප කරන්නට ගත්තේය. එකල එම රජයේ ඇමැතිවරුන් කිහිප දෙනෙකුම මෙම ව්‍යායාමයට විරුද්ධ වූ අතර, එම කටයුතු පහත හෙළා කතා කරන්නට විය. ඒ අනුව නෝර්වේ මැදිහත්කරුවන් යනු ත්‍රස්තවාදීන්, ජාතිවාදීන් සහ සතුරන් ලෙසද හංවඩු ගසන්නට විය. මෙවැනි වටපිටාවක් යටතේ නෝර්වේ රාජ්‍යයේ මෙම සාම පාර්ශ්වකරුවන් එම මෙහෙවරින් ඉවත් වන්නට විය.
එකල මෙවැනි තත්ත්වයක් යටතේ නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාව ගැන බලවත් සේ කලකිරෙන්නටද විය. එකල රාජපක්‍ෂ රජයේ මුල් කාලයේදීම නෝර්වේ සාම ප්‍රයත්නය මුළුමනින්ම නවතා දැමූ අතර, එම සාම පාර්ශ්වකරුවන් තමන්ගේ නෝර්වේ රාජ්‍යය බලා පිටත්ව ගියේය. මේ ආකාරයට එදා දැඩි අමනාපයකට පත්වුණු මෙම විදේශිකයෝ නැවැත 2009 දී රජය යුද්ධය දිනාගන්නා තුරු කිසිදු සාම මෙහෙවරකට සහභාගි වූයේ නැත. එනම් 2007 වසරින් පසුව ඔවුන් එම කාර්යයෙන් ඉවත්වූ අතර, යුද්ධය බියකරු ලෙස ව්‍යාප්ත වන්නට විය. කෙසේ හෝ අවසානයේදී දස, දහස් ගණනක පිරිසක් මරණයට පත්වෙමින් යුද්ධය දිනාගත්තේය.
මෙයට හරියටම වසර 20කට පෙර ආරම්භ වී, වසර 15කට පසු අවසාන වූ මෙම ශ්‍රී ලංකා – නෝර්වේ සාම කතාවේ වගතුග මෙතරම් ඔබට පැහැදිලි කළේ, අද වර්තමානයේ අප රට තුළ ඇති වී තිබෙන ඛේදනීය අර්බුදයට අදාළව යමක් පවසන්නටය. එනම් එදා රාජපක්‍ෂ රජය විසින් නෝර්වේ රාජ්‍යය අමනාපයට පත්නොකර ගත්තේ නම්, අදත් එම රාජ්‍යය අප රටේ මිතුරන්ය. නෝර්වේ රාජ්‍යය යනු ලෝකයේ අතිශයම ධනවත් රටවල්වලින් එකක් වන අතර, එම රාජ්‍යය සතු විදේශ මූල්‍ය සංචිත සහ ස්වාභාවික ඉන්ධන සම්පතද අතිශය ඉහළය. එසේම නෝර්වේ රාජ්‍යය යනු, ලෝකයේ බොහෝ දුප්පත් රටවලට සහ සංවර්ධනය වන රටවලට උදව් උපකාර කරනු ලබන ධනවත් රාජ්‍යයකි. එලෙස ශ්‍රී ලංකාවටද ඔවුන් දැනට දශක කිහිපයක සිට විවිධ උදව්, උපකාර සිදු කරනු ලැබුවේය. එහෙත් සාම මෙහෙවරට අදාල අර්බුදයෙන් පසුව ඔවුන් එලෙස උදව් උපකාර කිරීම සීමා කළේය. යම් හෙයකින් මෙම සමයේදී නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාව සමග අමනාපයකින් පසු නොවූයේ නම්, දැනට මෙරට ඇති වී තිබෙන ආර්ථික සහ මූල්‍ය අර්බුදයට ඔවුන් බොහෝ සෙයින් උදව් උපකාර කරනු නියතය.
ලෝකයේ බොර තෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල් 105ක් අතරින් නෝර්වේ රාජ්‍යය සිටින්නේ ඉතාමත්ම උච්ච ස්ථානයක වන අතර, එනම් එම රටවල් අතරින් 19 වැනි ස්ථානයෙහි නෝර්වේ රාජ්‍යය වැජඹෙයි. මුලින් ඇති අරාබිකරයේ රටවල් කිහිපයකට පසුව මෙම ස්ථානයෙහි සිටීමට සුදුසුකම් ලබා ඇත. 2021 වසරේදී නෝර්වේ රාජ්‍යයේ බොර තෙල් සංචිතය බැරල් බිලියන 7.9ක් බැව් පැවසෙයි. මෙය මෙටි්‍රක් ටොන් වශයෙන් ගත් කල මෙටි්‍රක් ටොන් බිලියනයකට අධික බැව් පැවසෙයි. මේ අතර 2021 වසරේදී දිනකට නිෂ්පාදනය කරනු ලබන බොර තෙල් ප්‍රමාණය පමණක් බැරල් මිලියන 02ක් (ලක්‍ෂ 20ක්) බැව් සංඛ්‍යා ලේඛන සඳහන් කරයි. එසේම දිනකට වෙනත් විදේශ රටවලට අපනයනය කරනු ලබන බොර තෙල් ප්‍රමාණය බැරල් ලක්‍ෂ 15කට අධිකය. විදෙස් රටවලට බොරතෙල් අපනයනය කරනු ලබන්නේ නැතිනම්, තවත් වසර 69ක කාලයට නෝර්වේ රාජ්‍යයට මෙම බොර තෙල් ප්‍රමාණවත් බැව් පැවසෙයි. එනම් එතරම් සුවිශාල තෙල් නිධි දැනට එම රාජ්‍යය සතුය. මේවාා බොහොමයක් එරට උතුරු මුහුදේ පිහිටා ඇත. නෝර්වේ රාජ්‍යය තුළ දිනකට භාවිතයට ගන්නේ බොර තෙල් බැරල් 2,15,000ක් පමණක් වන අතර, දිනකට විශාල අතිරික්තයක්ද පවතියි.
මේ අතර 2021 වසර වන විටදී නෝර්වේ මහ බැංකුව සතුව ඩොලර් බිලියන 80කට අධික විදේශ මුදල් සංචිතයක්ද ඇත. මේ අනුව ලෝකයේ රටවල් 210ක් පමණ අතරින්, විදේශ සංචිතයන්ට අදාළව ඔවුන් 30 වැනි ස්ථානයෙහි පසුවෙයි. ඒ අතරම නෝර්වේ මහ බැංකුව සතුව 2021 වසර වන විටදී ටොන් 7.8ක රත්තරන් සංචිතයක්ද ඇත. මෙම රත්තරන් සංචිතය නිරන්තරයෙන් භාවිතයට නොගැනෙන එකක් වන අතර, එසේ වන්නේ රටේ සියලු වියදම් සඳහා අවශ්‍ය ධනය ඇති තරම් තිබීම හේතුවෙනි. එම සංචිතය රත්තරන් කුට්ටි සහ කාසි වශයෙන් මහ බැංකුව තුළ තැන්පත් කර ඇත.
කෙසේ හෝ ඇමෙරිකානු ඩොලර් සංචිතය හරහා රටට අවශ්‍ය විවිධ ආනයනයන් පමණක් සිදුකරනු ලබයි. එම විදේශ සංචිතය පවා දිනෙන්, දින ඉහළ යන තත්ත්වයක තිබෙන්නේ එරට නිරන්තරයෙන්ම තම බොර තෙල් විදේශ රටවලට විකුණා විදේශ විනිමය උපයා ගන්නා හෙයිනි. නෝර්වේ රාජ්‍යයේ ඒකපුද්ගල ආදායම අදහාගත නොහැකි තරම් ඉහළ අගයක ඇති අතර, එය පසුගිය 2021 වසරට අදාළව ඩොලර් 67,987ක් වෙයි. මෙහි සුවිශේෂී වගතුග නම්, එය ලෝකයේ සියලු රටවල් අතරින් 04 වැනි ස්ථානයට තිබෙන අගය වීමය.
මේ ආකාරයට බලන විට නෝර්වේ රාජ්‍යයේ වෙසෙන ලක්‍ෂ 55ක සමස්ත ජනගහනයෙන් අති බහුතරය ඉතා උසස් ධනවතුන් ලෙස සැලකෙයි. නෝර්වේ රාජ්‍යය යනු අධිරාජ්‍යයක් මත පාලනය වන රටක් වන අතර, එහෙත් එම රටට ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු තෝරා ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් හරහාය. එසේම අනෙක් සුවිශේෂී පුවත වන්නේ, ලෝකයේ සතුටින් ජීවත් වන මිනිසුන් සිටින ප්‍රධානතම රටවල් 07 අතරටද නෝර්වේ රාජ්‍යය අයත් වීමය. මේ ආකාරයට බලන විට නෝර්වේ යනු අතිශයම වාසනාවන්ත දේශයකි.
මෙවැනි සුවිශේෂී වටපිටාවක් යටතේ හෙළිවන අනෙක් ප්‍රධානතම කරුණක් වන්නේ, නෝර්වේ යනු ලෝකයේ දුප්පත්, සංවර්ධනය වන රටවලට ඉතා උසස් ලෙස උදව් උපකාර කරනු ලබන රටක් වීමය. ඒ අනුව ශ්‍රී ලංකාවටද නෝර්වේ අලුත් නමක් නොවේ. 1952 වසරේදී සිටම ශ්‍රී ලංකාවට මෙම රාජ්‍යය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා තිබුණු බැව් හෙළිවෙයි.
එහෙත් ශ්‍රී ලංකාව තුළ මුලින්ම නෝර්වේ තානාපති කාර්යාලයක් විවෘත වන්නේ 1996 වසරේදීය. ඒ අනුව දැනට වසර 25ක් පුරා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පවත්වා ඇත. ලෝකයේ රටවල් රැසකට උදව් උපකාර කරනු ලබන නෝර්වේ සංවිධානය ලෙස සැලකෙන ‘නොරාඩ්’ (Noard) සංවිධානය (Norwegian Agency for Development Cooperation) 1965 වසරේ සිටම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය සහ තාක්‍ෂණික අයුරින්ද සහයෝගය දක්වා ඇත. මේ අනුව 1965 සිට 2017 වසර දක්වා නෝර්වේජියානු ක්‍රෝනර් මිලියන 5,000කට අධික මුදලක් ශ්‍රී ලංකාවට ලබාදී ඇත. මෙම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1000කට (බිලයන 01ක්) ආසන්නය.
මේ අතර අනෙක් සුවිශේෂී වගතුග ලෙස වාර්තා වන්නේ, නෝර්වේ රාජ්‍යය යනු ලෝකයේ බොහෝ යුදමය අර්බුද ඇති රටවලට සාමය ස්ථාපිත කිරීම සඳහා දරන කැප කිරීමයි. ඔවුන් පසුගිය සමයේ ශ්‍රී ලංකාව සමග සම්බන්ධ වන්නේද එලෙසය. එහෙත් මෙරටදී ඔවුනට හිමිවූයේ ඉතා අවර ගණයේ ප්‍රතිචාරයකි. අන්තවාදී, ජාතිවාදී සිංහල දේශපාලකයන් නිසා එසේ සිදුවිය. මේ නිසා රාජ්‍යතාන්ත්‍රික ලෙසද එම දේශය දැඩි අමනාපයකට පත්විය. එවැනි අතිශය ධනවත් රාජ්‍යයක් මෙම අර්බුදකාරී මොහොතේ සිටියේ නම්, ශ්‍රී ලංකාවට ඉතා උසස් අයුරින් උදව් උපකාර කරනු නියතය. එනම් ඔවුන්ගේ ධනයෙන් සහ තෙල් සම්පතින්ද අපට උදව් උපකාර කරනු නියතය. එහෙත් එවැන්නක් තබා, පසුගියදා මෙරට ප්‍රබල ලෙස ජන අරගල පැවැති කාලය තුළදී තමන්ගේ රටේ වැසියන්ට ශ්‍රී ලංකාවට සංචාරය සඳහා නොයන ලෙසද, නෝර්වේජියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේය. මේ ආකාරයට නෝර්වේ රාජ්‍යය මේ වන විට අපගෙන් බොහෝ දුරස්ථ රූපයක සිටින ආකාරය දක්නට හැකිය. වාර්ගික යුද සමයේදී මෙම ධනවත් දේශය සමග දිගටම යහපත් සබඳතා පැවැතියේ නම්, මෙම අර්බුද සමයේදී ඔවුන් ශ්‍රී ලංකාවට ඉතාමත්ම සාධනීය ආකාරයෙන් උදව් කරනු නියතය. එසේ මිතුදමක් තිබුණේ නම්, නෝර්වේ රාජ්‍යය තමන්ගේ අසීමිත තෙල් සම්පතින් අප රටට උදව් කරනු නියතය. එරට දිනකට තෙල් බැරල් ලක්‍ෂ 02ක අතිරික්තයක්ද ඇති රටක් හෙයින් අනිවාර්යයෙන්ම උදව් ලබා ගැනීමට හැකිවනු ඇත.
කෙසේ හෝ චීනය හා ඉන්දියාව සෑම විටම මෙරටට යම් උදව්වක් කළේ, ශ්‍රී ලංකාවෙන් ‘එකට දහයක්’ බලාපොරොත්තුව ඇතිවය. එහෙත් එකල ශ්‍රී ලංකාවට උදව් කිරීමට නෝර්වේ රාජ්‍යය පැමිණියේ කිසිදු ලෙස ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවේ. කෙසේ හෝ අද වත්මන් රජයේ නායකයන් දමිළ ඩයස්පෝරාවෙන් පවා මූල්‍යමය උදව් ඉල්ලා තිබීම අතිශයම ඛේදනීය තත්ත්වයකි. එය ‘සළුපිළි පැලඳ හෙලුවෙන් සිටිනවා’ වැනි වැඩකි.

ප්‍රියන්ත හෙට්ටිගේ









