රට තුළ ඇතිව තිබූ ආර්ථික අර්බුදය නිසා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අරම්භ වුණේ අභියෝග රැසක් මැදිනි. විභාග අයැදුම්කරුවන්ට විභාග මධ්‍යස්ථානවලට යාමටත්, විභාග රාජකාරි සඳහා ගුරුවරුන්ට විභාග මධ්‍යස්ථානවලට යාමටත් ප්‍රවාහන අපහසුතා රැසක් ඇතිවී තිබුණි. විභාග අපේක්ෂකයින්ට සහ විභාග රාජකාරිවල යෙදෙන කාර්ය මණ්ඩයට ප්‍රමුඛතාවක් මත ඉන්ධන ලබා දීම වෙනුවෙන් රජය වැඩපිළිවෙළක් සකස් කළද ඇතැම් පිරිස් ඉන්ධන ඉල්ලා මාර්ග වසාදමමින් රටේ දෛනික කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන් විභාග අපේක්ෂකයින් සහ විභාග කාර්ය මණ්ඩලය විභාග මධ්‍යස්ථාන වෙත යනතුරු සිටියේ හිතේ දෙගිඩියාවෙනි.
ඒ දෙගිඩියාවන් සියල්ල හිතේ දරා ගනිමින් තම ජීවිතයේ තීරණාත්මක කඩඉම පසු කරන්නට සූදානම් වූ සිසු දරුවනුත් ඒ වෙනුවෙන් පහසුකම් සපයන්නට විභාග කාර්ය මණ්ඩලයත් මෙවර සූදානම් වූහ. එලෙස පසුගිය සඳුදා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ විය.
නමුත් පසුගිය අඟහරුවාදා ( 24) දිනය පුත්තලම ශාන්ත ඇන්ඩෲ විභාග මධ්‍යස්ථානයේ විභාග අපේක්ෂකයින්ට නම් එතරම් සුබදායී වාතාවරණයක් තිබුණේ නැත. එදා විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ සිංහල භාෂාව සහ සාහිත්‍ය විෂයත් දෙමළ භාෂාව හා සා හිත්ය විෂයත්ය. එහි පළමු සහ දෙවැනි පත්‍රය උදෑසන 08.30 ට ආරම්භ වී උදෑසන 11.40ට අවසන් වීමට නියමිතව තිබුණි.
නමුත් අවාසනාව ඔවුන් සොයා පැමිණ තිබුණේ ගංවතුරක් ලෙසිනි. පෙරදින රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම ශාන්ත ඇන්ඩෲ විභාග මධ්‍යස්ථානයත් පුත්තලම සහිරා විද්‍යාලයේ විභාග මධයස්ථානයත් ගංවතුරෙන් යට විය. පුත්තලම සහිරා විද්‍යාල විභාග මධ්‍යස්ථානයේ තත්ත්වයට වඩා බරපතළ වූයේ පුත්තලම ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථාන පරිශ්‍රයේ ජල මට්ටම අඩි දෙකක් පමණ ඉහළ ගොස් තිබූ නිසාවෙනි.මේ තත්ත්වය සැළවූ වහාම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 143 වන බලසේනාවේ බලසේනාධිපති බි්රගේඩියර් ෆවුමි කිචිලාන්ට උපදෙස් ලබා දුන්නේ වහාම ක්‍රියාත්මක වී පාසැලේ විදුහල්පතිවරයාත්, විභාග මධ්‍යස්ථාන සම්බන්ධීකාරකවරුන් සම්බන්ධ කරගෙන විභාග අපේක්ෂකයින්ට විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙසයි. එසේම තමන් විසින් ඉඳුරාම අණදෙන අතිරේක ප්‍රහාරක සේනාංකය වන 58වන සේනාංකයේ භට පිරිස්ද එම ස්ථානයට යොමු කිරීමට යුද හමුදාපතිවරයා කටයුතු කළේය. ඒ අනුව එම ස්ථානයට ගිය 143 වන බලසේනාවේ බලසේනාධිපති බි්රගේඩියර් ෆවුමි කිචිලාන්ට අවශ්‍ය වගකිවයුතු බලධාරීන් සමඟ සාකච්ඡා කර ගත යුතු කඩිනම් පියවර සාකච්ඡා කරන ලදී. විභාග මධ්‍යස්ථානයේදී අ.පො.ස (සා/පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට වූ විභාග අපේක්ෂකයින් 156 දෙනෙකු එම ස්ථානයෙන් වහාම ඉවත් කිරීමටත් පැය භාගයකට අඩු කාලයක් තුළ විභාග කටයුතු නැවත ආරම්භ කිරීමටත් ඔවුන්ගේ විභාග කටයුතු නිසි පරිදි සිදුකරගෙන යාමට අවැසි පහසුකම් 143 වන බලසේනාවේ භටපිරිස් 58 වන සේනාංකයේ භටපිරිස්වල සහයෝගය ඇතිව කටයුතු කරන ලදී. ගංවතුර තර්ජනයට විභාග මධ්‍යස්ථානය ලක්වූ බැවින් යුද හමුදා භටපිරිස් එම විද්‍යාල පරිශ්‍රයේ තිබූ මේස, පුටු කඩිනමින් ඉවත් කර අපේක්ෂකයින් 156 දෙනා යුද හමුදා බස් රථ තුනක ආධාරයෙන් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන ලදී.
වසර දහතුනකට පෙර එල්ටීටීඊ ත්රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමට පවා සහභාගි වූයේ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එවකට අණදුන් 58 සේනාංකයයි. එදා තරමින්ම දරුණු සහ අසීරු නොවුණත් මෙය ඉතා වගකීම්සහගත මෙහයුමක් වූයේ සිසුන් 156 දෙනෙකුගේ විභාග කටයුතු ගංවතුර නිසාවෙන් අඩාළ වන්නටද ඉඩ තිබුණි. නමුත් ජාතියේ ආක්ෂකයින් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව එදා මෙදාතුර සිදුකළා මෙන් මහජනතාව අසීරු තත්ත්වයකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම පෙරට ආහ. පුත්තලමේදී එදා ශ්‍රී ලංකා යුද හමුදාව දියත්කළ මනුෂ්‍යත්වයේ මෙහෙයුම යළි යළිත් ලොවට කියා පෑවේ ලොව මානුෂීයම හමුදාව ශ්‍රී ලංකා යුද හමුදාවම බවයි.
දිලංක ගුණතිලක










