රට පුරා නැඟෙන රාජපක්ෂ පාලනය පන්නන විරෝධතාවයන් අතරට ඊයේ (13) පොලොන්නරුව, මනම්පිටිය පාලම මත පැවැත්වූ භික්ෂූන් වහන්සේලාගේ සත්‍යග්‍රහයද එක්ව තිබුණා.
ජනතා පීඩක ආණ්ඩුව වහාම ඉවත් වන ලෙසටත්, ජනතාව මත පැටවා තිබෙන ජීවන බර වහාම අඩු කරන ලෙසටත් බලකරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා සහ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මෙන්ම සාමණේර හිමිවරුන් මෙලෙස පොළොන්නරුව මනම්පිටිය මහවැලි පාලම උඩට පා ගමනින් පැමිණ සත්‍යග්‍රහයේ යෙදී තිබෙනවා.
ජනාධිපති, අගමැති, ප්රමුඛ කැබිනට් මණ්ඩලය මෙන්ම එදා ,මෙදා, පැවති සියලු රජයන් වසර 74 ක සිදු කළ විනාශයට වගකිව යුතු බවයි මෙහිදී පැවසුණේ.
ඒ අතර වත්මන් ආණ්ඩුව ජනතාවගේ ගැටලු හා දුක්කම්කටොලු තේරුම් නොගෙන සුර සැප විඳින බවත්, ජනතාව විශාල පිරිසක් දැඩි ආර්ථික පීඩනයට පත්ව සිටින බවත්, මෙම තත්ත්වය මත ආණ්ඩුව ප්රමුඛ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, ඉල්ලා අස්විය යුතු බවත් සත්‍යග්‍රහයේ යෙදුණු භික්ෂූන් වහන්සේ පැවසුවා. ආණ්ඩුවම ඉල්ලා අස්වූ පසු රට වෙනත් පිරිසිදු පාලනයකට වහාම බාර දෙන ලෙස දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමි පවසා තිබුණේ.
රට හා ජනතාව පත්ව ඇති ආර්ථික පීඩනය නිසා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත වෙහෙර විහාරස්ථාන රැසක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට දානය පවා නොලැබෙන අතර, මෙම තත්ත්වයට වගකිව යුත්තේ වත්මන් රජය බවයි රාහුලාලංකාර නාහිමි කියාසිටියේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරමින් රටේ හැට නව ලක්ෂයක් මෙන්ම මහා සංඝරත්නය ආශිර්වාද සිදු කරමින් ඔහුට මනාපය ලබා දුන්නේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට වුනත් මෙම තත්ත්වය පසෙකලා රාජපක්ෂවරු රටේ සියලු දේපල ඇමරිකාවට, චීනයට, මෙන්ම ඉන්දියානු විකුණා ලංකාව සින්නක්කර පවරා දීමට සැලසුම් කරන බව උන්වහන්සේ සඳහන් කරනවා.
එම නිසා සියලු රාජපක්ෂවරු ආණ්ඩුවෙන් ඉවත් වී ඔවුන්ගේ නිජබිම් වන ඇමරිකාවට යන ලෙසට නාහිමි සඳහන් කළා.










