සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය දිනෙක පැවැත් වූ යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකදී කියූ කාරණයක් ගැන අපට මේ සතියේ ලියන්නට හිතුණේය. ඒ, ඔහු සජිත්ගේ කෑම පිළිබඳව කියූ කතාවයි. සජිත්ගේ හෝ විජේවීරගේ හෝ වෙනත් දේශපාලකයකුගේ හෝ කාගේ හෝ කෑම බීමෙන් අපට වැඩක් නැත. ඒ අය කන බොන විදිය අපට අදාළම නැත. අදාළව ඇත්තේ ජනතාවට කන්න බොන්න ලැබේද යන කාරණාවය. ජනතාවට කන්න බොන්න ඇත්නම් ඔය කවුරු කෑවත් බීවත් අපට ප්‍රශ්නයක් නැත.
හඳුන්නෙත්ති කියන්නේ අමුතු කතාවකි. පාර්ලිමේන්තු කැන්ටිමේ සියලු දෙනා කමින් බොමින් සාමාන්‍ය පරිදි ඉන්නා අතර සජිත් ප්‍රේමදාස මහත්තයා කෑම කොහෙන්දෝ හෝටලේකින් ගෙනැවිත් කන බව ඔහු කියයි. මිදි වල්ලකුත් රෙඩ්බුල් එකකුත් ඒ අතර තිබුණු බවද හඳුන්නෙත්ති කීවේය. හඳුන්නෙත්ති වැනි දේශපාලකයකු එවැන්නක් කියන එක සදාචාරාත්මකද යන්න අපේ ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් මේ මන්ත්‍රීවරු සහ දේශපාලකයෝ කන බොන තරම ගැන මනින්නට ගියෝතින් තව බොහෝ කරුණු කාරණා හෙළිදරව් වනු ඇත. කෑමෙන් බීමෙන් මිනිස්සු මනින්නට ගියෝතින් ලංකාවේ වෙජිටේරියන් දේශපාලකයෝ හොඳම දේශපාලකයෝ බවට පත්වෙති. ගෝඨාභය රාජපක්ෂ කියන්නේද වෙජිටේරියන් දේශපාලකයෙකි. ලංකාවේ බොහෝ දේශපාලකයෝ වරදවා වටහා ගත් සමහර කාරණා තිබේ. මේ වෙලාවේ රට තියෙන්නේ භයානක අරාජික අර්බුදකාරී තත්ත්වයකය. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යටතේ දේශපාලකයන්ගේ කෑම බීම ගැන හොයන්නට යෑම මොන කොන්ත්‍රාත්තුවක්ද යන්න අපට පැහැදිලි නැත.
වරක් ශ්‍රී ලංකාවේ ඉතා තීරණාත්මක සිදුවීමක් ලෙස උලපනේ වතුයායේදී අත්අඩංගුවට ගන්නා අත්තනායක නම්වූ පුද්ගලයාගේ කතන්දරය සිහිපත් කළ හැකිය. මෙසේ අත්තනායක නමින් පෙනී සිටින්නේ රෝහණ විජේවීර නම් වූ අසහාය පුද්ගලයාය. ඔහු අත්අඩංගුවට ගෙන මරාදැමීමෙන් පසුව අමුතු කතන්දර රජය විසින් මතු කළේය. ඒ, උලපනේ ගෙදර තිබූ පින්තූර හොයාගෙන විජේවීර ගතකළේ සුඛෝපභෝගී ජීවිතයක් බව සමහරු කියා තිබිණි. රජය දිගින් දිගටම කියන්නට උත්සාහ කළේ විජේවීරගේ ජීවිතය විප්ලවවාදී ජීවිතයක් නොවන බවයි. ඒ සඳහා ඔවුන් උදාහරණ ලෙස ගත්තේ විජේවීර දරුවකුගේ උපන්දිනයට කේක් කපනා පින්තූර වැනි ඒවාය. දරුවකුගේ උපන්දිනයට කේක් කපනා විජේවීරගේ සුඛෝපභෝගී ජීවිතය ඉන් මැනගත්තේ කොහොමද යන්න අපට තේරෙන්නේ නැත. දරුවෙක්ගේ ජීවිතයත් මේ විප්ලව ජීවිතයත් එකට පටලවාගැනීම එවක බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කළ ගොන්කමකි. එසේම රෝහණ විජේවීර, ජේ.ආර්. ජයවර්ධන, වාසුදේව නානායක්කාර, හෙක්ටර් කොබ්බෑකඩුව, කොල්වින් ආර්. ද සිල්වා ඇතුළු පිරිස 1982 ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදුන්හ. ඒ භාරදුන්නේ හරියටම ජේ.ආර්.ගේ උපන්දිනය දවසේය. ඒ උපන්දිනය දවසේ මැතිවරණ කාර්යාලය තුළ කේක් ගෙඩියක් කැපුවේය. ඔහු සියලු අපේක්ෂකයන්ට කේක් කෑල්ල බැගින් දුන්නේය. නමුත් විජේවීර කේක් කෑල්ලක් කෑවේ නැත. නමුත් විජේවීර කිසිම දිනෙක මේ කේක් කැපිල්ල හෝ උපන්දින සැමරීම හෝ විවේචනය කළේ නැත. විජේවීර ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නියැළුණේය. නමුත් අද හඳුන්නෙත්තිලා මේ කතා කරන්නේ සජිත්ගේ කෑම බීම ගැනය. සජිත්ගේ කෑම බීමෙන් අපට වැඩක් නැත. රටටද වැඩක් නැත. රටට වැඩක් තියෙන්නේ ජනතාවගේ කෑම බීම ගැන හොයනා දේශපාලකයන්ගෙන්ය. පුද්ගලයෙකුට මඩ ගහන්නට අවශ්‍ය වූ විට ඔහුගේ කෑම බීම, ඇඳුම පැලඳම පාවිච්චි කිරීම ඉතා වැරැදි නිර්ලජ්ජිත දේශපාලනයක් යැයි අපට සිතේ. මෙවැනිම දේශපාලනයක් අපේ රටේ සමහරු අනුර කුමාර දිසානායකට එරෙහිවද සිදුකළේය. අනුරගේ ඇඳුම බ්‍රෑන්ඩඩ් බව කීමෙන් ඔහුට ගහන්න පටන් ගත්තේය. අනුරගේ පුතා නයිට් ක්ලබ් එකක නැටූ බව කියමින් අනුරට ගහන්න පටන් ගත්තේය. අනුරගේ සපත්තු දෙකේ මිල ගණන් කියමින් අනුරට ගහන්න පටන් ගත්තේය. ඒවායෙන් රටට වැඩක් නැත. අනුරගේ පුතාට නයිට් ක්ලබ්වල නටන්න තහනමක් නැත. අනුරගේ පුතා කිසිවෙකුට හානියක් නොකරන්නේ නම් තව කෙනකුට පහර නොදෙන්නේ නම්, බීමතින් රිය අනතුරු සිදු නොකරන්නේ නම් ඔහුට නයිට් ක්ලබ් යන්නට තහනමක් මේ රටේ නිශ්චිතව පනවා නැත. එහෙම නම් අනුරගේ ඇඳුම බ්‍රෑන්ඩඩ් වීම ප්‍රශ්නයක් නැත. අනුර යනු ශ්‍රී ලංකාවේ දේශපාලන කණ්ඩායමක නායකයෙකි. අනුර යනු දේශපාලන පක්ෂ නියෝජිතයන් අතරින් ප්‍රධානියෙකි. අනුර රටේ ප්‍රධාන පෙළේ පුරවැසියෙකි. එහෙම පුරවැසියකුට බ්‍රෑන්ඩඩ් ඇඳුමක් අඳින්නට තහනමක් නැත.
සජිත් ප්‍රේමදාසද එහෙමය. සජිත් යනු විපක්ෂ නායකවරයාය. විපක්ෂ නායකවරයාට හෝටලයකින් ගෙන්වාගෙන කන්නට තහනමක් නැත. විපක්ෂ නායකයාට සල්ලි ගෙවා කෑම ගන්නට තහනමක් නැත. මේ දේශපාලනයේදී අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති පිළිබඳ විවේචනයකි. ප්‍රතිපත්ති පිළිබඳ තර්ක කිරීම්ය.
වරක් මෛත්‍රිපාල සිරිසේන මහතාටද මෙහෙම ගහන්නට පටන් ගත්තේය. ඒ ඔහු ගෙදරින් ගෙනා කෑම එක කනවා යැයි කියාය. ගෙදරින් ගෙනා කෑම එක කන්නට කිසිම තහනමක් මෛත්‍රිට නැත. මෛත්‍රි ජනාධිපති වූ පසු තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කළේද නැත. ඇත්තටම මෛත්‍රිට ගහන්නට අවශ්‍ය නම් ගහන්න තිබුණු තැන් මඟහරවා ගෙන මේ අය මෛත්‍රිට ගහන්න ගත්තේ වැරැදි තැනින් අල්ලලාය. මෙහෙම වැරැදි තැනින් ඇල්ලූ අවස්ථා ලංකාවේ දේශපාලනයේ බොහෝ තැන්වල තිබේ. හරියටම මේ ආකාරයෙන් කන බොන කෑමවලින් දේශපාලකයන් මනින්නට ගියොත් ලංකාවේ හොඳම දේශපාලකයකු ලෙස මර්වින් සිල්වාද හඳුනාගත හැකිය. ඒ, මර්වින් සිල්වා මස් මාළු නොකන නිසාය.
ජීවන පහන් තිළිණ










