• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රස කර කමු අපි යාපනයේ කෑම…

March 30, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
රස කර කමු අපි යාපනයේ කෑම…
Share on WhatsAppShare on Facebook

උතුරු පෙනිසියුලාවේ සංචාරය කරන්නකු නම් අනිවාර්යයෙන්ම රසවිඳිය යුතු ආහාර වට්ටෝරුවකි. මන්ද ඒවාහී වූ ආවේණික රසය නම් දකුණේ පිසින ආහාර බොහෝමයකට වඩා වෙනස්වන නිසාවෙනි.

උතුරු අර්ධද්වීපයේ බැලූ බැලූ අත තල් රුක් ගොමුය. යාල් වැසියන්ගේ ශක්තියද එයමය. බොහෝ විට ආහාර රටාවද ගොඩනැඟී ඇත්තේ දකුණේ අපේ කොස්, දෙල්, පොලොස් මෙන් තල් ශාකය මුල්කරගෙනය. මන්ද ඔවුන් තල් ගසේ ශීර්ෂයේ සිට මූලාග්‍රය දක්වාම ප්‍රයෝජන බොහෝ ලබාගන්නා බැවිනි. තල් මල කපාගෙන එහි වූ යුෂයෙන් තල් හකුරු, තල් පැණි, සූකිරි, විනාකිරි මෙන්ම තල් රා නිපදවීමට නම් අර්ධද්වීපයේ ග්‍රාමීය වැසියන් රුසියන්ය.

තල් ගසේ හැදෙන කළු පැහැ කුරුම්බා ගෙඩියක් හා සමාන වූ තල් ගෙඩිය පැහීමට මත්තෙන් නොන්ගුය. ග්‍රීස්මයේ විඩාව නිවාගැනීමට කදිම පානය මේ නොන්ගුය. ඒ 9 නුවර – යාපනය ප්‍රධාන මාර්ගය ඔස්සේ යාපනය දෙසට ගමන්කරන්නෙකුට නම් මඟ දෙපස ගොඩගසා විකුණන මේ නොන්ගු ‍රසවිඳිය හැක. මේ නොන්ගු පානයේ ලවණ සංයුතිය ඉහළය. නොන්ගු හොඳින් පැසී ඉදුණු කල්හී, ගෙඩිය ලෙලිගසා මධ්‍යයේ වූ පල්පය වෙන් කරගත් කල හුදෙක්ම තල් පලතුරු බීම පානය, ජෑම්, පාම් ක්‍රෂ්, පල්පය හා යෝගට් නිෂ්පාදනය සඳහා යොදාගත හැකිය. ගස්වල පැහී බිමට වැටෙන මේ තල් ගෙඩිවල වූ සුවඳත් රසයත් නිසා මෙය ගවයන්ගේ ප්‍රියතම ආහාරයකි. මේ පල්පය නොහොත් ලාටු පැදුරක තට්ටු පරිදි ගල්වා අව්වේ වේලා තල් පිනාටු සකසා ගනියි. මෙය පාල් කන්ජි නොහොත් කැඳ සමග කදිමය.

පනම්කායි පනියාර් නොහොත් ‍යාපනේ තල් කැවුම්

සිංහල කැවුමට දෙවැනි නොවන යාපනයේ වූ රසවත් අතුරුපසකි. ඉදුණු තල් ගෙඩිය ලෙලිගසා එහි වූ කහපාට පල්පය වෙන්කර එය පෙරණයක් භාවිතයෙන් පෙරා දියරමය සාරය වෙන්කර ගනී. උකුවන සේ හොඳින් පැසවා/රත්කර පසුව සහල් පිටි එක්කර සීනි හෝ තල් හකුරු මිශ්‍රකර කැවුම් සාදාගන්නා අන්දමටම ගැඹුරු තෙලේ බැදගනියි. තල් කැවුම් මෙන්ම තල් පිටි තල් හකුරු සමග මිශ්‍ර කර සකසා ගන්නා අග්ගලාද, තට්ටු වඩේ හෙවත් තල් පිටි, කව්පි, මිරිස්, කරපිංචා එක්කළ වඩයක් නම් හවසකට හොඳ තේ කහට කෝප්පයක් සමග රසවිඳිය යුතුමය.

තල් අල යනු ශුෂ්ක බිමේ රන් කහවනුය. වියළා සකසාගත් අල නම් පනම් කිලන්ගුය. පිටිකළ තල් අල පිට්ටුවකට කියාපු ඒවාය. සහල් පිටි පිට්ටු වෙනුවට යාපනේ ඇත්තේ බොහෝ විට කුරක්කන් පිට්ටු හෝ ඕඩියල් පිට්ටු හෙවත් තල් පිටිවලින් තැනූ පිට්ටුය. එළු මස් ව්‍යංජනයක් සමග හෝ කකුළුවන්, දැල්ලන් එක්කළ මුහුදු මාළු ව්‍යංජනයක් සමග නම් ඕඩියල් පිට්ටුවක රසවිඳීම කදිමය. මුහුදු මාළු, දැල්ලන්, කකුළුවන් එක්කළ සූපයකට තල් පිටි, සියඹලා, මෑකරල් ආදී අර්ධද්වීපයේ පහසුවෙන්ම සොයාගත හැකි එළවළු දෙක තුනක් එක්කළ කල ඒ නම් ඕඩියල් කූල්‍ය. ඕඩියල් කූල් පිළිගන්වන්නේද තල් කොළයක් නමා සකස්කළ ‘තඩ්ඩුවොම්’ හෝ ‘පුලා’ නම් ගොටුවකය.

ජූලි මාසයේ විශේෂයෙන් සමරන උත්සවයක් නම් ආඩි පිරප්පු මංගල්‍යයයි. ජූලි මාසය දමිළ බසින් ‘ආඩි’ ලෙස හඳුන්වයි. මේ මාසය ආරම්භයේ රසබැලිය හැකි අර්ධද්වීපයේ අවේණික ආහාර වට්ටෝරුව නම් ‘ආඩි කූල්’ය. දෙමළ දින දර්ශනයේ ජූලි පළමු දිනය ‘ආඩි’ ලෙස හැඳින්වේ. එය දළ වශයෙන් ගෝලීය දින දර්ශනයේ ජූලි 15ට අනුරූප වේ. ‘ආඩි පිරප්පු’ හෝ ආඩි මාසයේ උපත යනුවෙන් හැඳින්වෙන මෙම දිනයේ යාපනයේ හින්දු බැතිමතුන් සාමාන්‍යයෙන් උදේ ආහාරය සඳහා ‘ආඩි කූල්’ නමින් විශේෂ කෑමක් පිළියෙල කරයි.

සහල් පිටි (අරිසි මා) උණු ජලය හා මිශ්‍රකර හොඳින් පදම්කර කුඩා බෝල ලෙස සකසා වාෂ්පයෙන් තම්බා ගනී. නැවුම් මැටි වළඳක් ගෙන එයට පොල් කිරි එක්කර හැඳිගාන අතරතුර ’පනම් කට්ටි’ නැත්නම් තල් හකුරු එක්කර, හාල් පිටිත්, මුං ඇටත් එක්කර ද්‍රාවණය උකුකරගෙන සකසාගත් වාෂ්පයෙන් තැම්බූ කුඩා සහල් පිටි බෝල එකතු කරගනී. රසය හොඳින් ඉස්මතු කරගැනීමට නැවුම් පොල් කැබැලි එක්කිරීමටත් ඔවුන් පුරුදු වී සිටී.

ආඩි කූල්වලටත් සුවිශේෂ කතාවක් ඇත. ලංකාවේ කෘෂිකර්මාන්තය මෝසම් වර්ෂාව සමග හාවෙන්නකි.

හිරු පොළොවට ළංවී ගමන් කරන කාලසීමාව යල කන්නය ලෙසත් ඉතිරි කාලසීමාව මහ කන්නය ලෙසත් හඳුන්වයි. ඊසානදිග මෝසම් වර්ෂාව මහ කන්නයට අයත් වන දෙසැම්බර් සිට පෙබරවාරි කාලසීමාවේ ලැබේ. නිරිතදිග මෝසම් වර්ෂාව අප්‍රේල් සිට අගෝස්තු කාලසීමාවේ ලැබේ. දෙසැම්බර් ඇරඹෙන මේ අධික වර්ෂාව නිසා කුඹුරු ඉඩම් අස්වද්දා ලබාගන්නා අග්‍රඵලය යොදාගෙන ජනවාරි මාසයේ හින්දු භක්තිකයන් තෛපෝන්ගල් උත්සවය සමරයි.

වර්ෂය ගෙවීයත්ම සහල් හිඟ කාලය උදාවෙයි. දැන්නම් වෙනත් අනුභෝග වන ධාන්‍ය ආදිය ආහාරවලට එකතු කරගත යුතුයි. එය සංකේතවත් කරන්නේ මේ ආඩි පිරප්පු පූජාවත් සමගය. තවත් අයෙක්ට අනුව මේ ඇරඹෙන්නේ සූර්යයා ‍රශ්මි විහිදුවාලන බොහෝ ඌෂ්ණාධික සමයයි. මේ භෝජනවලින් ශරීර උෂ්ණත්වය පාලනය කිරීමට හොඳම පානය ආඩි කූල් බව කියවෙයි. ධාන්‍ය වර්ග එක්කර ආඩි පිරප්පු වෙනුවෙන් තනන්නේ ආඩි කූල්ය.

උතුරේ ළමා ළපටින්ගේ පෝෂණ අතිරේකයක් ලෙස ත්‍රිපෝෂවලට සමානව පාම්පෝෂ හඳුන්වා දී ඇත. තවද තල් පිටි මුසුකළ කේක්, කුකීස්, මාෂ්මෙලෝස් හා චොක්ලට් පවා මේ වන විට වෙළෙඳපොළේ ඉතා ජනප්‍රියය.

තල් කොළය විසිතුරු කූඩ, වට්ටි, පෙට්ටි සෑදීමට අපූරු අමුද්‍රව්‍යයකි. අර්ධද්වීපයේ බොහෝ නිවාස පවා වටකර ඇත්තේ මේ අපූරු තල් කොළවලින්‍ය. තල් ගසේ මුලද ඉවත හෙළිය නොහැක. එයින් කොසු, බුරුසු, පාපිස්නා, බුමුතුරුණු නිෂ්පාදනය කෙරේ. එනම් යාල් වැසියන්ගේ ආර්ථිකය ශක්තිමත් කරනවා සේම සෞඛ්‍යවත් ආහාර රටාවකට මේ තල් ගස ශක්තිය ලබා දේ.

යාල් අර්ධද්වීපයේ තවත් සුලබ දසුනක් නම් සීනු හඬ නගමින් ඔබමොබ යන කිරි ගවයන්‍ හා එළු රංචුය. හින්දු භක්තිකයන් ගවයා දේවත්වයෙන් සලකන්නේද ශිව දෙවියන් මුල්කරගෙනය. බාල මහලු කොයි කාගේත් ගතේ ශක්තිය තවත් වැඩිකරන්නේ මේ එළකිරිය. තවද රංචු පිටින් තණබිම්වල නිදහසේ කල් මරන එළු රංචුය. ඔවුන්ගේ කිරිද තල් හකුරු කෑල්ලක් කටේ ඔබාගෙන එකට දෙකට කටට හලාගත හැක්කේ ශරීරයට නව ජවයක් එක්කිරීමටය.

අක්කර ගණනින් අස්වැද්දූ කුඹුරු ඉඩම්‍ය. මෝසම් වර්ෂාවෙන් තෙමෙන කාෂ්ටක පොළොව එක්ක පොරබදන ගොවි රජුන්ගේ ශක්තියෙන් සාරවත්ව වැඩෙන කුඹුරු අස්වද්දවා ලැබෙන අග්‍ර කොටස දෙවියන්ට පුදන සිංහල අලුත් සහල් මංගල්‍යය හා සමාන වූ හින්දු සංස්කෘතියේ අපූරුතම අංගය වන තෛපෝන්ගල් සැමරීම ජනවාරියේ සිදුකරයි. සිංහල කිරිබත හා සමාන වූ පෝන්ගල් අනිවාර්යයෙන් පිසින ආහාරයකි. නැවුම් සහල්, එළකිරි, හකුරු/සක්කර, මුං, කජු, ගී, එනසාල් හා වියළි මිදි එක්කර සාදා ගනී. උත්සව සමයේ පෝන්ගල් සමග මෝතගම් කදිමය. මෝතගම් හකුරු, මුංඇට හා පොල් පිරවූ පසුව තරමක් ඝන පිටි මිශ්‍රණයකින් ආවරණය කර කට්ලට් එකක ප්‍රමාණයෙන් යුතු වාෂ්පයෙන් තැම්බූ ඒවාය. එහි හැඩය ත්‍රිකෝණාකාර පැටිස් එකක් හා සමාන වූ විට කොලුකටෙයි ලෙස හඳුන්වයි. කොයි කා අතරත් ජනප්‍රිය අනෙක් අතුරුපස විශේෂය මුරුක්කු වර්ග වේ. ඒවා විවිධාකාරයෙන් ලබාගත හැකිය. පේදුරුතුඩුව ආශ්‍රිතව නිෂ්පාදනය කරන පරතුරෙයි වඩේ නොහොත් එක් ආකාරයක මුරුක්කු යාපනයේ ඉතා ප්‍රචලිතය. පරිප්පු වඩේ හා උලුඳු වඩේද ආහාරවලට එක්කරගැනීම උතුරේ දමිළ ප්‍රජාවගේ පුරුද්දක් බවට පත්වී ඇත. ඔවුන් සකසන වඩේ කරියද නිර්මාංශ ආහාර රටාවකට හුරු වූ උදවිය අතර ඉතාමත් ප්‍රසිද්ධය.

ඉතා ප්‍රණීතව සැකසෙන රාසවල්ලි කිලන්ගු නොහොත් දම් අල අතුරුපස නම් තම්බාගත් අලවලට, පොල්කිරි, සීනි, ලුණු එක්කර හොඳින් පදම්කර සකසාගනී. මෙයත් අර්ධද්වීපයේ වැසියන්ගේ ප්‍රියතම ආහාරයකි. ඒවා රුධිර පීඩනය, සීනි මට්ටම පාලනය කරවයි.

දේශීය වී වගාව ආශ්‍රිතව හමුවන දික් වී, සුවඳැල්, පච්චපෙරුමාල්, සුදු හීනටි, මඩතවාලු හැරුණු කොට යාපනයේ ප්‍රසිද්ධ නම් පූනගරී මොට්ටකරුප්පන් හා පෙරියවෙල්ලායිය. මොට්ටකරුප්පන් නම් යාපනයේ ආහාර වේලක වරදින්නේ නැත. තරමක් විශාල දුඹුරු පැහැයට හුරු සහල් විශේෂයක් වන මෙහි කෙඳි අන්තර්ගත වීම නිසා දියවැඩියා රෝගීන් අතර ජනප්‍රියය.

අර්ධද්වීපයේ සෑම නිවෙසකම අඟහරුවාදා හා සිකුරාදා දිනයන්හි මස් මාංශ පිළියෙල කරන්නේ නැත. මන්ද හින්දු භක්තිකයන් නවග්‍රහ වන්දනාව සිදුකරන නිසාවෙනි. සතියේ දින වන සඳුදාහි චන්ද්‍රයාත්, අඟහරුවාදා අඟහරු ග්‍රහයාත්, බදාදා බුධත්, බ්‍රහස්පතින්දා බ්‍රහස්පතිත්, සිකුරාදා සිකුරුත්, සෙනසුරාදා සෙනසුරුත්, ඉරිදා සූර්යයාත් වන්දනා කරන හින්දු බැතිමතුන් විශ්වාස කරන්නේ චන්ද්‍රයා සෞම්‍ය සේම තමන්වද සෞම්‍ය කරවන බවයි. අඟහරු විවාහ ජීවිතය හා පවුල් ජීවිතය කෙරෙහිත්, බුධ බුද්ධියද, බ්‍රහස්පති අධ්‍යාපනය කෙරෙහිද විශ්ව ශක්තීන් මෙහෙයවන බවයි. සිකුරු නම් දිවියට සතුට, සෞභාග්‍යය, මිල මුදල් අප වෙත ළඟා කිරීමට කටයුතු කරයි. එසේ හෙයින් අඟහරුවාදා හා සිකුරාදා මස් මාංශ අනුභව නොකිරීම යෝග්‍ය යැයි ඔවුන්ගේ විශ්වාසයයි.

මීට එහා ගිය යමක් වඩමාරච්ච් කියන ප්‍රදේශයෙන් සැලවුණි. ඔවුන් සෑම අඟහරුවාදාවකම ශක්ති හා මුරුගන් දෙවියන් උදෙසා පූජා පවත්වයි. සෙනසුරාදා ශනි දෙවියන් උදෙසාද, ඉරිදා විෂ්ණු දෙවියන්ටද, සිකුරාදා සියලු දෙවිවරුන් සඳහාද පූජා පවත්වයි. එම නිසා වඩා වැසියන් (වඩමාරච්චි වැසියන්) සිකුරාදා මස් මාංශවලින් වැළකී සිටී.

පිසගන්නා බත්ද විවිධ ආකාරයෙන් පිළිගැන්වීමට යාල් අර්ධද්වීපයේ වැසියෝ පුරුදු වී සිටිති. සියඹලා මුසුකර පරිප්පු හා එළවළු එක්කරමින් ඇඹුල් රසට ‘කුලිසාරම්’ පිසියි. එළුමස් හෝ කුකුළු මස් එක්කර බිරියානි ලෙස සකසාගෙන සලාද සමග අනුභව කරති.

යාපනයේ උදවියගේද ආගන්තුක සත්කාර ඉහළය. අඟහරුවාදාවක යාපනේ නිවෙසකට ගොඩවැදුණහොත් කෙසෙල් කොළේකට බත් සමග ව්‍යංජන කීපයක්, තයිර්/මුදවාපු කිරි, වාලෙක්කායි පෝරියල් නැතහොත් කෙසෙල් පෙති බැදුමක් සමග ලුණුවල බහාලන ලද මිරිස් කරලක්, පපඩමක්, ලුණු දෙහි, රසම් කෝප්පයක් වරදින්නේ නැත. රසම් පානය කිරීම හෝ බත් සමග මිශ්‍ර කිරීම තෝරාගත හැකිය. රසම්වල ඖෂධීය වටිනාකමක් ඇති අතර එමගින් ආහාර දිරවීමේදී ආමාශයේ මෙන්ම කුඩා බඩවැල්හි යුෂ ශ්‍රාවය උත්තේජනය කරවයි. ප්‍රධාන ආහාර වේලෙන් පසුව රසම් පානය කළ හැකිය. ව්‍යංජන අතර මුරුංගා, වම්බටු, මෑකරල්, කඩල හොද්දක්, දේශීය අල විශේෂයක් වන කරෙනෙකිලන්ගු/කිඩාරම් අල කුලම්බු හා පලාවර්ගයක් වරදින්නේ නැත. සුදු කිඩාරම් නම් යාපනේ දිස්ත්‍රික්කයේ වගාකරන සර්ප විෂ නැසීමේ ඉහළ ගුණයක් සහිත ශරීරයේ උෂ්ණ ගතිය පාලනය කරගත හැකි, අර්ශස් රෝගීන්ට වඩා සුදුසු පාත්තරයක් සමාන වූ අල විශේෂයකි.

අප්‍රේල් මාසයේ කොහොඹ ගස් මල්වලින් පිරී යයි. රොන් ගැනීමට බිඟුන් පොරබදයි. මේ මල් වියලූ කල කොහොඹ වඩේ සකසාගත හැකිය. මෙය බඩේ තුවාල, කෑම අරුචිය, බඩේ පණුවන් විනාශ කිරීමට කදිම ඖෂධයයි. වේළාගත් කොහොඹ මල්, උඳු පිටි, සූදුරු, මහදුරු, ගම්මිරිස්, කරපිංචා, වියළි මිරිස් කරල් කීපයක් හා ලියාගත් ලූනු සමග මිශ්‍රකර කොහොඹ වඩ සකසා ගත හැකිය.
යාපනයේ වැසියන්ගේ රස නහර එළුමස් ව්‍යංජනයට හා රතු හාලේ බතට හුරුවී ඇත. මස් කැබලි හොඳින් මහදුරු, එනසාල්, සූදුරු, කරාබුනැටි, කොත්තමල්ලි, සුදුලූනු, ඉඟුරු, කහ, කරපිංචා සහ කුරුඳු සමග මිශ්‍ර කරන කල රසවත් සංයෝගයකි. එළු මස් භෝජනයෙන් පසුව අත්ල හොඳින් නාසය දෙසට යොමු කළහොත් කුළුබඩුවල සුවඳ නාස්පුඩුවල පිරී ඉතිරී යන්නේ නැවතත් ඛේට ග්‍රන්ථීන් උත්තේජනය කරවමින්‍ය.

පුට්ටු හෙවත් පිට්ටු යාපනයේ උදේ ආහාරය සහ රාත්‍රී ආහාරය යන දෙකටම ජනප්‍රිය ආහාරයක් වන අතර සාම්ප්‍රදායිකව උණබම්බුවල තැම්බීම සිදුකරයි. තරමක් දිග උණ බම්බුවක් කපු රෙද්දකින් ආවරණය කර බම්බුව උතුරන වතුර භාජනයක් මත තබා පිට්ටු තැම්බීම සිදුකරයි. ඔඩියල් (වියලූ තල් පිටි) භාවිතයෙන් පිසින ලද සාමාන්‍ය පිට්ටු, නිවිති භාවිතයෙන් පිසින කීර පිට්ටු, කුරක්කන් පිට්ටු හා හාල් පිට්ටු යාපනයේ වැසියන් අතර ජනප්‍රිය වේ. මුරුංගා කුලම්බු හෝ සියඹලා මත පදනම් වූ දැල්ලන්, ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් වැනි මුහුදු ආහාර සමග හෝ එළුමස් කරියක් සමග පිට්ටු රස නහර පිනවයි.

දෝසා නොහොත් තෝසේ නම් ප්ලේන් දෝසා, ගී දෝසා හා මසාල දෝසා ලෙස වර්ග කීපයකි. යාපනයේ මේ දෝසා හැඳින්වෙන්නේ තොසායි යනුවෙනි. මෙම දෝසා සෑදීම සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ උලුඳු සහ සහල්ය. මෙම අමුද්‍රව්‍ය දෙක පසුව පිටි ගුළියකට සාදා පැසවීමට ඉතිරි කර සැහැල්ලුවෙන් පැසුණු පිටි ගුළිය සුන්දර වටකුරු දෝසා බවට පත්කරනු ඇත. පොල් සම්බෝල හා එළවළු යොදා සැකසූ කුලම්බු සමග ප්‍රණීතය. යාපනය සංචාරය කරන්නකුට නම් මේ දෝසා රස බැලීමට කඩයකට ගොඩවීම ඉතා පහසුය.

යාපනය මුහුදු ආහාර අතර ඉතා ජනප්‍රියම ස්ථානයක් කකුළුවන් කරියට හිමිවේ. මුහුදු වෙරළ ආශ්‍රිත වූ ධීවර ගම්මානවල මෙන්ම නාගරික පරිසරයේද නැවුම් කුළුබඩු එක්කාසු කරමින් මුරුංගා කොළ වැනි අපූරු අමුද්‍රව්‍ය භාවිත කරමින් යාල්පානමටම ආවේණික වූ කරි පවුඩර් යොදා තනන කකුළුවන් ව්‍යංජනයද බත් සමග හෝ පිට්ටු සමග රසවිඳිය යුතුය.

නිර්මාංශ ආහාර රටාවකට හුරු වූ උදවියට පෙනිසියුලාව පුරා ව්‍යාප්ත වූ හෙළ බොජුන් හා සමාන වූ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව හා ඒකාබද්ධ වූ ව්‍යාපෘතියක් වන අම්මාච්චි නම් වූ ස්ථානවලින් ඉතා සුළු මුදලකට ප්‍රණීත සෞඛ්‍යාරක්ෂිත ලෙස තෝස, පිට්ටු, ඉට්ලි, වඩ, කැඳ වර්ග, කූල් වර්ග මිලදීගත හැකිය. යාපනයේ නගරයේ මෙන්ම නල්ලූර් අවටද දේශීය විදේශීය සංචාරකයන් අතර ඉතා ප්‍රසිද්ධ වෙළෙඳසල් මෙන්ම සංචාරක හෝටල් පවතී.

ඔය අතරින් යාපනේ සංචාරය කරන්නකු මඟ නොහැරිය යුතු ස්ථානය නම් රියෝ අයිස්ක්‍රීම්ය. රස ගණනාවකින් පිළිගන්වන රියෝ අයිස්ක්‍රීම් නම් ඔබට තවත් වෙනස් අත්දැකීමක් එක්කරන්නේ ග්‍රීස්මයේ විඩාව නිවමින්ය.

එසේ නම් සංස්කෘතියේ විචිත්‍රවත්වයන් අපූරු ආකාරයෙන් විඳීමටත්, වරළේ සුදෝසුදු මල් මාලා දවටමින්, නළලේ පොට්ටුවක් තබා, නැහැයේ කරාබුවක් දමාගෙන විටෙක දමිළ තරුණියකගේ සුන්දරත්වය තමා තුළින් දැකබලා ගන්න හෝ රත්තරන් පාට බෝඩරේ තියෙන සුදු පාට වේට්ටියක් ඇඳගෙන දමිළ තරුණයකුගේ ඇති පෞරුෂය තමා තුළින් දැක බලාගන්න යාල් අර්ධද්වීපයට ගොඩවැදිය යුතුය.

උඩරට සුද්දා වැවූ කරාබූ, සාදික්කා එනසාල් ආදී කුළුබඩුවලින් රස ගැන්වූ කකුළුවන්, ඉස්සන්, දැල්ලන් සමග ඕඩියල් පිට්ටුවක්, කුරක්කන් ඉඳිආප්ප, තෝස, වඩ මෙන්ම ධාන්‍ය යොදා සැකසූ මෝතගම්, කොලුකටෙයි, පනම්කායි පනියාර්, කේසරි ආදී වූ රසවත් විවිධත්වයෙන් යුතු භෝජන රසවිඳින්න සහෝදරත්වයේ පාලම් අප තැනිය යුතුමය. සංචාරයක ඉසව්වන් සොයා වඩමාරච්ච්, තේන්මරච්ච්, වලිකාම්මහි මඟ දිගට සංචාරය කරන්නට නම් එන්න යාල්දේවියෙන් කාෂ්ටක ‍යැයි කියන නමුත්, බවබෝගයෙන් පල බරවූ යාල්පානම් වෙත…

විදුනි බස්නායක

SendShareShare
Previous Post

හිසේ ගිනි ඇවිළෙතේ පසේ බුදුවරු නැතේ ඇසේ තෙත ඇත සිතේ පිසින්නේ කවුරුදෝ…

Next Post

අපේ උන්ගෙ වීරයා මිනිසුන්ගෙ මාරයා…

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයට, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.