දීප්තිමත් සියලු
මඳ සිනහවන් පසුපස
ඝන කළුවරක් ගිමන් හැර
නිදමින් සිටිනු ඇත
බැබළෙන්නාවූ
සියලු ඇඳුම් පසුපස
හිල් දරාගත් කඩමාල්ලයක්
කිළිටිවී ගොස් ඇත
විසිරී වැටෙන්නාවූ සියලු වදන් පසුපස
දැඩි නිශ්ශබ්දතාවක දිවක්
හයියෙන් හයියෙන්
දොඩවමින් සිටී
මෙය නම් ශෝකයමය. ෂර්මිලා විනෝතිනී නම් කිවිඳිය අනුභූතිය කරගත් ශෝකයමය.
කුඩලිගම, මහගමසේකර යන කවියෝද දිටිමි. මාර්ටින් වික්‍රමසිංහයන් කුමාරතුංග මුනිදාසයන් යන හෙළයේ මහා ගත්කරුවන් දිටිමි. නමුත් උතුරු කොනේ සැඟවී ගිය ජෙයබාලන්ගේ, චේරන්ගේ, වෙට්ටිචෙල්විගේ, තමිල්නදී, තාට්චායනී, සාන්තන්, මැලරන්නෙයි හා දීපචෙල්ලන්ගේ කෙටිකතා, නවකතා හා කාව්‍යකරණයේ යෙදුණු සාහිත්‍යවේදීන් නොදිටිමි.
කවිය නම් ගැඹුරින් අතීතය, වර්තමානය හා අනාගතය යන තුන්කල්හි හැඟීම් දැනීම් හා ඔදවැඩුණු සියුම් තැන් අසීමාන්තිකව ස්පර්ශ කළ හැකි ප්‍රකාශන මාධ්‍යයකි. එවන් ප්‍රකාශන මාධ්‍යයකින් තම ජීවිතයේ විවිධ අවස්ථා හා ගෙතුණු කතාවන් නොහොත් අනුභූතීන් මුල්කරගෙන වාර්තාමය සටහන්වලින් ඔබ්බට ගොස් සත් සමුද්‍රයන් පවා තරණය කිරීමට සමත් විවිධ භාෂාවන්ගෙන් පරිවර්තනයට ලක්වීමට තරම් උසස් වූ කාව්‍යකරණය තම අවියක් කරගත් දෙස් විදෙස්හි සම්මානයට පාත්‍ර වූ උතුරු කොනේ ආදරණීය හිතවතිය නමින් ශර්මිලා විනෝතිනී තිරුනාවකරුසුය.
මහවැලිය ලක් මවගේ ධරණීතලගේ සෑම බිම් අඟලක් නෑරම සාරවත් කරමින් සිවුකොන පුරා ගලාගිය නමුදු අසමානතාව ඉස්මතු කරමින් උතුරු රට නොගලා ගෝකන්නයෙන් දියඹට එක්වීමට ආත්මාර්ථකාමී වූවා සේම සම්පත් බෙදාදීමේ හැකියාව අල්ප වූ ධනය, බලය හා බලලෝභී සිතින් චාටු බස් දොඩවන චපල රජුන් හා ඇමැතීන් අභිමුඛව ගොළු වූ ජාතියක් දෙස නිසොල්මන්ව බලා සිටි දශක තුනක අඳුරු මතකයන් හදවතේ දොරගුළු ලාගෙන නව ලොවක් කරා පියමනින පරාර්ථකාමී බවේ තරුණ සංකේතය නොහොත් 2017 වර්ෂයේ ජාතික සාහිත්‍ය උළෙලේදී දෙමළ අංශය නියෝජනය කරමින් ඉදිරිපත්කළ ‘මොට්ටෛ පනමරමුම් මුහමාලෛ කාට්ට්‍රම්’ නමැති කෙටි කතා සංග්‍රහයේ වූ එක් කෙටි කතාවකට හොඳම ලේඛිකාවට හිමි සම්මානය හිමිකරගත් තරුණ ලේඛිකාවයි.
එම ග්‍රන්ථයේ වූ ‘නීංග පෝංග රාසා’ නොහොත් ජී.ජී. ආනන්ද මහතා පරිවර්තනය කළ ‘ඔයා යන්න රාසා’ කෙටිකතාවේ වූ එක් පරිච්ඡේදයක් මෙසේ උපුටා දක්වමි.
‘වලිකාමම් දෙස සිට තේන්මරච්චි එතෙර වීමට වූ නාවට්කුලි පාලම හරහා ගමන්කරන ඒ කෙටි කාලය තුළ මරණ බිය දරාගෙන, එකිනෙකා හා ගැටෙමින්, තෙරෙපෙමින්, පැටලෙමින් ගිය ඒ මහා ජන රාශිය තුළ සුසුම් හෙළන මහල්ලෝද, පෑගීම් හා තෙරපීම් නිසා මහා හඬින් විලාප තැබූ ළමයින්ද, ‘මම මුලින් මම මුලින්’ යැයි හඬගා කියමින් ප්‍රාණය රැකගැනීමට අරගල කරන අයවලුන්ගේ හා ඒ වන විටත් අහසේ කැරකුණු ප්‍රාණය පානය කරන්නට යත්ත දරන යානාවල ඝෝෂාවත්, ඒ නපුරු යානාවලට බියපත් වූ අයවලුන්ගේ ළතෝනියත් එකට එක් වීමෙන් ඒ පාලම මතින් දෝංකාර දුන්නේ මිනිසුන්ගේ උණුසුම් සුසුම්ය.
ඉරු තැළුණු රළු කටෝර පොළොව එක්කාසු කරමින් සරුසාර නිල්ල ගැසුණු හරිත බිමක් කිරීමට වැහි ලිහිණියකු වෙනුවෙන් අහස්කුස දෙස බලා හූල්ලන අයවලුන්ට සැනසුම් සුසුමක් එක්කාසු කරන්න තරම් මහවැලිය නදිය කුරිරු වූවද ජීවිතයේ සාර්ථකත්වයේ මංපෙත් විවර කරගැනීමට කොපමණ බාධා පැමිණියද තම ධෛර්යය, කැපවීම හා උත්සාහය තරම් යමක් නැති බව මනාව ඔප්පු කළ මේ සාහිත්‍යවේදිනිය උපත ලබන්නේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනාගරීවලට නුදුරු වේරවිල් නැමැති අතිදුෂ්කර ග්‍රාමයේය. තම පියාණන්ට හා මෑණියන්ට ඉතා ළෙන්ගතු වූ පවුලේ වැඩිමහල් දියණිය වූ ඈ නිවෙසට බොහෝ සෙයින් බැඳුණු අයෙක් විය.
ඈ විසින් දමිළ බසින් රචිත පසුව සිංහල, ඉංග්‍රීසි, මලයාලම් හා ප්‍රංශ ආදී භාෂා කීපයකටම පරිවර්තනය වූ ‘නිවස’ නම කවිය මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
සියලු කුරුල්ලන්ටම අවශ්‍ය
අවසානයේදී
පියාපත් වියළවන්නට කූඩුවක්.
කුඩා ගසක අත්තක්,
පාළු ගෙදරක වහලේ මුල්ලක්,
හරිත පැහැය අහිමි වූ ගසක බෙණයක්,
උfiා්ගිමත් ගුවන් පාලමක් යට යම් පැත්තක්
එය කුමක්වුවද
කොහේවුවද
කුරුල්ලාගේ අවශ්‍යතාව
කුඩා කූඩුවක්…
උක්ත කවිය ඉබ්නූ අසුමත් මහතා සිංහලයට පරිවර්තනය කරන ලද්දකී. නිවෙස තම ප්‍රස්තුතය කරගනිමින් ගෙත්තම් කළ මේ කාව්‍යයේ හුදෙක්ම ගැබ්වී ඇත්තේ යුද්ධය නිසා පවුලෙන් දුරස්වූ ඈ නිවෙස තම දෘෂ්ටියෙන් විචාරය කර ඇති අන්දමයි. බොහෝ සෙයින් අත්දැකීම් පාදක කරගනිමින් රචනා කරන ලද ඇගේ කවි ඉතා සියුම්ව පාඨක හදවත් තුළ සංවේගය උපදවමින් ඔවුන්ව ආමන්ත්‍රණය කිරීමටත් පාඨකයා තුළ චමත්කාරයක් දැනවීමටත් සමත් වී ඇති අන්දම නම් අපූරුය.
‘තිබූ තැනක සොරසතුරන් ගත නොහෙනා, උගතමනා ශිල්පයමයි මතු රැකෙනා’ යන පද්‍යය හුදෙක් පසක් කරමින් අභියෝග මත්තේ මූලික අධ්‍යාපනයට ඈ අත්පොත් තබන්නේ වේරවිල් හින්දු විද්‍යාලයෙන් වන අතර දශක තුනක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සිවුවැනි වසරේදී වේරවිල් සිට තම මවගේ සොහොයුරිය විසූ චාවකච්චේරි නුනාවිල් අමිර්තාම්බිගෛ විද්‍යාලයට ඇතුළුවී අටවැනි වසර දක්වාත් අධ්‍යාපනය හදාරන අතරතුර නැවතත් වේරවිල්වලට නුදුරු මවගේ මුල් ග්‍රාමය වූ මන්නාරම ඉලුප්පකඩවෙයි මහා විද්‍යාලයට ඇතුළුවීමට සිදුවී ඇත්තේ නැවතත් වාර්ගික අර්බුදයේ සේයාවන් බුර බුරා පැනනැඟීම නිසාවෙන්ය. මේ කාලපරිච්ඡේදයේ එක් අවස්ථාවක් සිහිපත් කරන ඈ පවසන්නේ පාසලේ සංගීත විෂයට ගුරුවරයකු නැතිකල වේරවිල් නිවෙසේ සිට කිලෝමීටර් හතකට එහා වූ සංගීත ආචාර්යවරයකුගේ නිවෙසට ෆුට් සයිකලයට උපරිම ජවයක් දෙමින් ගිනි කාෂ්ටක අව්වේ සංගීතය විෂය හැදෑරීමට ගිය අන්දමත් ගොම්මනේම නැවත කිලෝමීටර් හතක් ඒමට ගත් වෙහෙසකර කාර්යයේ අසීරු බවය.
ඇය නම් පරිකල්පනය කිරීමේ හැකියාව උපරිමයෙන් ලබා ඇත. මන්ද ඇගේ අත්දැකීම් සාහිත්‍ය නිර්මාණ වී හමාරය. සංකල්ප රූප මවමින් පද අමුණන කවි පසිඳුරන් පිනවීමට තරම් සමත්ය. භාව නිරූපණයද උසස්ය. විටෙක ඇය ජීවිතය මෙසේ විග්‍රහ කරන්නීය.
‘ජීවිතය’
ජීවත්වීමට අයත් වෑයම්
අවසන් වූ බව
දැනුණු මොහොතක
ඉගිල්ලී යන්නට ඇති
පියාපත් කෙටි කරගෙන
මහා ගිරිකුළු අස්සේ
බඩගා එන
කුඩා කුරුමිණියකු මෙන්
නැගී එන විටදී
පෙනුණි
කුඩා කඳුවලට එපිටින්
විසල් එළිමහනක්
ඇය සොයා ඇත්තේම අවකාශය ඇති විසල් එළිමහනක්‍ය. මන්ද එවක වනපෙත් අතරින් රිංගා ආ සුළඟ පවා අඳුරු බියකරු බවක් ගැබ්වී තිබිණි. මන්ද කුඩා සිඟිත්තියක ලෙස නිවෙසේ ඉදිරි උළු අස්සේ ඇන තියාගෙන අම්මා සිටුවූ මල් ගස් අතරින් තඹ පින්තාරු කළ බෙලෙක් කෝප්පයකින් කිරි බොන ඈට පෙනුණේ මහ කලබලයෙන් එහා මෙහා යන සෙබළුන්ය. අහස් ගැබ පිසගෙන මහා හඬින් යන්නා වූ අහස් යාත්‍රාත්, ඒවාහි දෝංකාරයත්ය. වෙඩි හඬින් බියවී අත්පා හකුළුවාගෙන අකුරු කළ හැටි ඔවුන්ට මතකය. ඔවුන් සතු ආයුධය වූයේම විශ්වාසයයි. ඇගේ පළමු කාව්‍ය සංග්‍රහයේ පළමු කවියේ මෙසේ ඇය පාඨකයා අමතන්නීය.
‘නුපුරුදු ගසක් යට
නුපුරුදු ග්‍රහලෝක වැසියන් සේ
තවත් කොපමණ’කාලයකට ද?’
කෙසේ හෝ ඈ ද්විතීයික අධ්‍යාපනය හමාර කිරීමට සාමාන්‍ය’පෙළ සඳහා යොදාගන්නේ මුල් ගමවූ වේරවිල්හි පිහිටි වේරවිල් හින්දු විද්‍යාලයයි. කොතෙක් බාධා ශක්තීන් හීන කළද නිදහස් වීමට ඇති එකම මඟ නම් අධ්‍යාපනයමය. පසුව උසස් පෙළ සඳහා ඇය ඇතුළත් වූයේ මන්නාරමේ පිහිටි සිත්තිවිනාගයර් හින්දු විද්‍යාලයටයි. පාසල් ගණනාවකින් අධ්‍යාපනය නිමාකරන ඇය මන්නාරම දිස්ත්‍රික්කයේ ඉහළම දක්ෂතා දක්වමින් යාපනය විශ්වවිද්‍යාලයට ඇතුළුවී මූලික උපාධියත් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී’සිය පශ්චාත් උපාධියත් හදාරන්නේ අධ්‍යාපනයට කිසිදු සීමාවන් නොමැති බවක් පසක් කරමින්ය.
2016 වසරේ පළවූ ඇගේ පළමු කවි පොත නම් ‘ඉරප්පාඩිගලින් නාට්කුරිප්පු’ නොහොත් නයිටිංගේල් කුරුල්ලාගේ දිනපොතයි. පසුව 2020 වර්ෂයේදී ඇගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය ලෙස ‘මගලින් වාසම්’ හෙවත් ‘දියණියකගේ සුවඳ’ ප්‍රකාශයට පත්විය. එමෙන්ම ඇගේ නිර්මාණ ජීවනදි, පොක්කිසම්, මන්නල්, කල්ගී, ආනන්දවිගඩන්, කාක්කෛසිරහිනිලේ, පූවරසි සහ කතෛසොල්ලි යන දේශීය සහ විදේශීය සඟරා, වෙබ්අඩවි සහ පුවත්පත්වලද බොහෝ සෙයින් පළවූයේ ඈ පන්හිඳ අවියක් කරගත් තරුණ සාහිත්‍ය නිර්මාණශිල්පිනියක් වූවා නිසා විය හැකිය. ‘මලරුම් මන්නාර්’ නොහොත් පිබිදෙන මන්නාරම නමැති වාර්තාමය චිත්‍රපටයක්ද ඇය අධ්‍යක්ෂණය කළේ මන්නාරම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී ලෙස කටයුතු කරන සමයේය. සිනමාකරණය කෙරෙහි දැඩි ප්‍රියතාවක් දැක්වූ ඇය සිනමාකරණයේ තවත් පියවරක් තබන්නේ 2021 වසරේ ළමා මානසේ සියුම් තැන් ස්පර්ශ කරමින් ‘ඔරු ඔරු පොළුදුම්’ නමැති කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි.
සාහිත්‍යකරණයේ ඉදිරි පියවරක් තබන ඈ 2022 වර්ෂයේ දමිළ සාහිත්‍යකරුවන් ගණනාවකගේ කෙටිකතා එකතුවකින් සම්පාදනය කළ ‘සමාන අසමානයේ’ ග්‍රන්ථය වෙනුවෙන් ඇයද තම දායකත්වය එක් කරන්නේ ඇගේ කෙටිකතා සිංහල පාඨකයාටද සමීප කිරීමට වාසනාවන්ත වෙමින්ය.
මේ වන විට ඉදිරි පියවරක් වශයෙන් ඇගේ කෙටිකතා එකතුව වන ‘මොට්ටෛ පනමරමුම් මුහමාලෛ කාට්ට්‍රම්’ කෘතිය සිංහලයට පරිවර්තනය වෙමින් පවතින අතර ඉදිරි මාසය තුළදී එළිදැක්වීමේ අපේක්ෂාවෙන් පසුවන්නීය.
පහත පරිවර්තන කාව්‍යයද දශක ගණනාවක ඇගේ අත්දැකීම් එක්කොට ව්‍යංගාර්ථයෙන් පාඨකයා අමතන්නේ හුදෙක්ම මේ භූමියේ ශේෂවූ එකම ප්‍රාණය ඇය යැයි කීමටය.
‘ශෝකය’
දශක ඉක්මවූ ශෝකය
නොසිඳුණු කන්දේ පොකුණු මෙන්
වැහිරී වැටෙන කම්මුලෙහි පිලිස්සෙයි
ඇතුළත දිවෙන රුධිරය
බඩගිනි කැලේ වෘකයකුගේ
දඩයම් බැල්ම යැයි
රුධිර කැබැලි
එහා මෙහා වනමින් සොලවති
පොංගල් දින බෙරයට නටන
වේදනා බරිත දෙපා මෙන්
කිසියම් හෝ දිනක
මෙහි සිටි
එක්තරා ජීවිතයක් ගැන
දවසක් දා අත්තම්මා කියනු
අසා ඇත්තෙමි
එහි ශේෂ ජීවිතයක්
තවමත් මෙහි
ඉතිරිව තිබෙන බව
අද දැනගන්නා විට
‘කෝ මගේ පොළව?’
‘කෝ මගේ නිවස?‘
‘කෝ මගේ ළිඳ?’ යි
ඊයේ වනතුරු මුමුණමින් සිටි
අත්තා මෙහි නොමැත…
ඉතින් කිවිඳියනි ඔබට ජය…
නවලොව තනන්නට…

විදුනි බස්නායක










