වෝන් කියන්නේ ලෝකෙ බිහිවුණු විශිෂ්ටතම ක්‍රීඩකයෙක්. ඒ ගැන සැකයක් සංකාවක් නෑ. හැමෝම ඒක පිළිගන්නවා. සංසන්දනාත්මකව බැලීමක් නෙමේ. ඔහු කොහොමටත් වීරයෙක්. වෝන්ගෙ වාර්තා දිහා බැලුවම ඒක පැහැදිලියි.
මේ වෝන් සහ මුරලි ගැන ෆේස්බුකියෙ තිබුණු එක්තරා සටහනක්.
‘හොඳම කෙනා මුරලි නොවෙන්නටත් ඉඩ තිබුණා. ඔහුට අභියෝගයක් වෙන්න ප්‍රබල ප්‍රතිවාදියකු නොමැති වූයේ නම්, කොටින්ම මුරලිව ඉස්මතු වෙන්න වෝන් අනෙක් පැත්තෙන් දීපු කරට කර සටන, අභියෝගය සෑහෙන්න උපකාරයක් වුණා.
මුරලි සහ වෝන් ටෙස්ට් කඩුලු 500 කරට කර හඹා ගියපු හැටි, කර්ට්නි වෝල්ෂ්ගෙ ලෝක වාර්තාව හඹා ගිය හැටි, කඩුලු 600, 700 කරට කර හඹාගියපු හැටි ඒ කාලෙ ක්‍රිකට් බලපු හැමෝටම අමතක නොවන සිද්ධීන්.
ඒ කාලෙ ඔස්ටේ්රලියානු කණ්ඩායම කියන්නෙම ලංකාවෙ ෆෑන්ස්ලා හිත ඇතුළින් ගෞරවයක් තිබ්බා වගේම ග්‍රවුන්ඩ් එකේදි අපේ උන්ට වචනවලින් පවා ඇටෑක් කරපු නිසා ආදරණීය වෛරයකුත් තිබ්බ කණ්ඩායමක්.
පොන්ටින්, බෙවන්, හේඩ්න්, ගිල් ක්‍රිස්ට්, සයිමන්ඩ්ස්, හොග්, බ්‍රෙට් ලී, මැක්ග්‍රාත් වගේ ලෙජන්ඩ්ලා සෙට් එකක් මැද්දේ ෂේන් වෝනුත් හිටියා කියන්නෙ සුපිරිම ඔසී ටීම් එකක්. ඔය ඔසී ලෙජන්ඩ්ලා සෙට් එකට අර කිව්ව වගේ අපේ ෆෑන්ස්ලගෙ හිත ඇතුළෙ ගෞරවයක් තිබ්බා.
එයිනුත් වෝන් කියන්නෙ වෙනම ලෙවල් එකක්. ග්‍රවුන්ඩ් එකේදි, ජයග්‍රහණය පිපාසයෙන් තරග කරපු හෙනම සටන්කාමී චරිතයක්. මේ වගේ චරිතයක් ආපහු බිහි නොවේවි.
මුරලිගෙ සටන්කාමී ප්රතිවාදියාණෙනි සුබ ගමන්….’
අපේ රටේ මිනිස්සු වෝන් අකමැති වෙන්න හේතුව මුරලිට කැමැති වීම. ඒ වගේම වෝන් ඔස්ටේ්රලියාවෙ වීම. මුරලි අපේ වීම. ක්‍රිකට් ලෝකෙ අපිට හිටපු ප්රබලතම තරගකාරයා ඉන්දියාව වුණත් අපිට ඔස්ටේ්රලියාව එක්ක තිබ්බෙ වෙනමම ගේමක්. ඒක නිකම්ම ගේම් එකක් නෙමේ. සාමාන්‍යයෙන් ඔස්ටේ්රලියාවෙ ක්‍රීඩකයො වෙනස්. එයාල ක්‍රිකට් තරගයක් වෙනස් කරන්න ඕනෑ වුණාම බෝලෙන් බැට් එකෙන් නෙමේ, කටින් ගහන්න පටන් ගන්නවා. ඒක ඉවසගෙන ගේමක් ගහගන්න ආසියාතික ක්‍රීඩකයන්ට අපහසුයි. ඒ පීඩාව ලංකාවෙ ක්රීකඩකයන්ට එනකොට අපිටත් ඔස්ටේ්රලියාවෙ ක්‍රීඩකයන්ව පෙන්නන්න බැරිව ගියා. වෝන්, ගිල් ක්‍රිස්ට් වගේ අය හිටිය ඒ පෙන්නන්න බැරි ලැයිස්තුවෙ උඩින්ම. මොකද වෝන්ලා ඉස්සරහ අපේ උන් නිතරම අසරණ වෙනවා අපි දැකලා තියෙනවා. ඒකට හේතු කීපයක්ම තියෙනවා. ඔස්ටේ්රලියාවෙ තණ තීරු හදන්නෙ එයාලට ඕන විදියට. හැබැයි ලංකාව ඔස්ටේ්රලියාවට ගිය වෙලාවට එයාල පිච්එක හදන්නෙ වෝන්ට නෙමේ. එයාලා පිච් එක හදන්නෙ මැක්ග්‍රාත්ට. එයාල ස්පිනර්ස් විකට් හදන්නෙ නෑ. මුරලි වැඩ දැම්මා නම් දැම්මෙ ඒ විකට්වල.
කොහොමටත් වෝන් කියන්නෙ කුකුල් කේන්ති කාරයා. පිට්ටනිය මැද්දෙ ඕනෑම වෙලාවක ගේමක් ඉල්ලන්න ලෑස්ති වෙලා ඉන්නෙ. ඒ නිසාම වෙන්න ඇති වෝන් අපිත් එක්කත් කීප වතාවක්ම පැටලෙන්නෙ. වෝන් ක්‍රීඩාකරපු අන්තිම ටී-20 තරගාවලිවලත් එහෙමයි. සාමාන්‍යයෙන් ක්‍රිකට්වල මොන ගේම්කාරයෙක් වුණත් ශරීරයෙ වැදෙන විදියට ගැටුමක් දුරදිග යවාගන්නෙ නෑ. ඒත් වෝන්ට ඒවා අදාළ වුණේ නෑ. බිග් බෑෂ්වලදි මාලන් සැමුවෙල්ස්ගෙ ටී ෂර්ට් එකෙන් අල්ලලා ඇදලා අරගෙන දාගත්ත අවුල තවමත් මිනිස්සු අතර ප්‍රසිද්ධයි. එදා වෝන්ට එරෙහිව කොන්ද පණ ඇති විදියට හැසිරෙන්න ඔස්ටේ්රලියානු විනිසුරන්ටවත් පුළුවන් වෙන්නෙ නෑ. වෝන් කියන්නෙ ඒ තරමටම හිතුවක්කාරයෙක්.
කොහොම වුණත් පිට්ටනියෙ වෝන්ට හිටපු ප්රබලතම තරගකාරයා මුරලි. අපි මුරලි සහ වෝන් පට්ට තරගකාරයො, පිට්ටනියෙන් පිට තරහකාරයො කියා හිතාගෙන හිටියට ඇත්තටම එහෙමද? මුරලි සහ වෝන් ජන්මාන්තර තරහකාරයො කියල. ඇත්තටම එහෙමද? මුරලි සහ වෝන් පිට්ටනියෙන් පිටතත් තරහ කාරයොද තාමත් මුරලිටයි වෝන්ටයි අමනාපයක් තියෙනවද? එහෙම නැත්නම් ඔස්ටේ්රලියාවෙ ක්‍රීඩකයො අපේ උන් එක්ක වගේම අපේ රටත් එක්කත් තරහද?
මේ වෝන්ගෙ මරණයත් එක්ක මුරලි ඒ ගැන තියන සටහන.
‘අපි දෙන්නම එකම කාලෙක පිටියට පිවිසුණේ. සුනාමි විපතේදී අපේ ජනතාවට ඔහු ලොකු සේවයක් කළා. අපි දෙන්නම ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසුණේ එකම කාලයක. අපි දෙන්නා කෙරෙහි මුළු ලෝකයම ක්‍රිකට් රසිකයන් දැඩි විමසිල්ලෙන් හිටියේ. අපි දෙන්නගෙන් දක්ෂ කවුද කියන එක ගැන.
අවුරුදු 52වැනි අඩු වයසකදි ෂේන් වෝන් ජිවිතයෙන් සමුගැනීම ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු පාඩුවක්.
ෂේන් වෝන්ට වඩා අවුරුදු තුනක් මම වයසින් අඩු නිසා මට ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුට වඩා වැඩිය කාලයක් රැඳී සිටීමට හැකි වුණා.
ඒ නිසා තමයි මට ඔහුගේ වාර්තා බිඳ හෙළමින් වාර්තාවක් තැබීමට හැකි වුණේ. සුනාමි ව්‍යසනය වේලාවේ මම ඔස්ටේ්රලියාවේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළා. ඒ වේලාවේ ෂේන් වෝන් මගෙන් ඇහුවා මොනවද ලංකාවට මගෙන් වෙන්න ඕනෙ කියලා. මගේ ඉල්ලීමකට ලංකාවට ආපු ෂේන් වෝන් සීනිගම ප්‍රදේශයේ සුනාමි ව්‍යසනයෙන් ආපදාවට ලක්වූ ජනතාවට සහනාධාර සහ නිවාස හදලා දෙන්න විශාල වශයෙන් කැපවීම් කළා.
ඔස්ටේ්රලියාවේ ජනතාවත් අපිට උදව් කළා. ෂේන් වෝන්ගේ අභාවය මටත් ශ්‍රී ලංකාවේ සියලු දෙනාට දැඩි කනගාටුවක් තියෙනවා.’
ඒත් ඇත්තම කතාව මේක. සුනාමිය එන කොට අපේ කට්ටිය ඉන්නෙ ඔස්ටේ්රලියාවෙ. අපේ රට බරපතළ විදියට විනාශ වෙනවා. සමහර ක්‍රීඩකයන්ගෙ ගේදොර පවා විනාශ වෙනවා. ඒ වෙලාවෙ කොන්දේසි විරහිතව අපේ පිහිටට එන්නෙ වෝන්. අපේ පට්ට තරහකාරයා වෙච්ච වෝන්. අපිට පෙන්නන්න බැරි එකා වෝන්. ඇත්තටම කියනවා නම් වෝන් අපිට සුනාමි වෙලාවෙ කොන්දේසි විරහිතව කරපු උපකාර තරම් උපකාර අපේ ක්රිකටර්ස්ලාවත් කරලා නැතිව ඇති. ඒ නිසා වෝන් එක්ක තිබ්බ තරහ මරහා ඉවර වෙන්නම ඕනෙ. අර්ජුන ලෝක කුසලාන ෆයිනල් එකේ වෝන්ට ගහපු හය වගේ ඒවා මතක් වෙනකොට වෙනමම ආතල් එකක් එන එක ඇත්ත. ඒත් අපිට වෝන් කියන්නෙ විශිෂ්ට මනුස්සයෙක් කියන එක අමතක කරන්න බෑ.
ඒ වගේම වෝන්ටත් අපේ ක්‍රීඩා ලෝළීන් කොච්චර ආදරේ කළාද කියන එක පැහැදිලි වෙන්නෙ ඔහු යන්න ගියාට පස්සෙ.
වෝන්ගෙ මරණයත් එක්ක සමහර ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් ෆේස්බුක් සටහන් තියා තිබ්බා මුරලිට වඩා වෝන් දක්ෂයෙක් කියලා. සමහර අය වෝන් වෙනුවෙන් ප්‍රොෆයිල් පින්තූර වෙනස් කරලා තිබුණා. මිනිස්සු නොකියා හිටියට වෝන්ට අසීමිතව ආදරය කරලා. ඒත් අද වෝන් නෑ. ක්‍රිකට් පිට්ටනියෙ කුකුල් කේන්තිකාරයා නෑ. ඔහු අපිට අන්තිමට මුණ ගැහෙන්නෙ විස්තර විචාරකයෙක් විදියට. කොහොම නමුත්, ෂේන් වෝන් කියන්නෙම ලෝක ක්‍රිකට් පුරාවෘත්තයක්. ඒ නිසාම වෙන්න ඇති මුළු ලෝකෙම වෝන්ට මේතරම්ම ආදරේ කරන්නෙ.
සුබ ගමන් වෝන්….
ස්තුතියි අපේ පුංචි කාලෙ ලස්සන කළාට. තරහ වුණාට සමාවෙන්න. අපි වෝන්ට ආදරෙයි….
ජීවන පහන් තිළිණ










