කලාව. කලාව කිව්ව ගමන් අපට දැනෙන්නේ සුන්දර හැඟීමක්. කලාකරුවො, නළුවො, නිළියො, කවියො, ගී පද රචකයො මේ හැමෝටම තියෙන්නේ සුන්දර හදවත් කියලයි අපට හිතෙන්නේ. නළුවන්ට නිළියන්ට තියෙන්නේ ලස්සන මූණු. ලස්සන හැසිරීම්. ඒගොල්ලො ආදරය කරනවා, සමහර තැන්වල වෛර කරනවා. හැබැයි ඒ වෛර කරන්නේ බොරුවට බව අපි දන්නවා. ගහගන්නවා. සමහරු මාර වීරයො. රට දැය ජාතිය සමය වෙනුවෙන් ඔවුන් ඉදිරිපත් වෙන හැටි අපට පේනවා.
ඒ සුන්දර මූණු පිටිපස්සේ ඒ දැවැන්ත පෞරුෂය පිටිපස්සේ ඔබ හොයන ඇත්තම කලාකාරයා ඉන්නවද? කලාකාරයා නෙවෙයි ඇත්තම මනුෂ්‍යයා ඉන්නවද? අපට ඕනෙ මනුෂ්‍යයොනෙ. හුඟක් හිඟ මනුෂ්‍යයො. විවිධ චරිත නිරූපණය කරන මිනිස්සු මේ සමාජයෙ ඕනෙ තරම් ඉන්නවා. දොස්තර මහත්තුරු, ඉන්ජිනේරුවො, නීතිඥවරු, මාධ්‍යවේදියො, ගුරුවරු, ග්‍රාමසේවක මහත්තුරු, සැපයුම් නිලධාරියො, ඇමැතිලා, මන්ත්‍රීලා, කාර් රේස් පදින කට්ටිය, හඳට යන අය, ශ්‍රේෂ්ඨ ගණිතඥයො අපේ රටේ ඕනෙ තරම් ඉන්නවා. ඒ අය අතර මිනීමරුවොත් ඉන්නවා. කප්පම්කාරයොත් ඉන්නවා. එතනෝල්කාරයොත් ඉන්නවා. මාල කඩන අයත් ඉන්නවා. මේ සියලු දෙනා අතරෙ අපි හොයන්නේ මිනිස්සුන්ව. මිනිස්සූ සීයක් දෙසීයක් හොයාගන්න පුළුවන් නම් මේ රට මේ තියෙන තැනින් ගොඩගන්න පුළුවන් කියලයි සමහරුන්ගෙ අදහස. එහෙම නම් මේ කලාකාරයො අතර ඇතිනෙ ඔය කියන මිනිස්සු. ඔය කියන සුන්දර මූණු අස්සෙ ඇතිනෙ මනුස්සකම්. ඇත්තටම එහෙමද? කලාවෙ වීරයො මහ පොළොවෙත් වීරයොද? කලාවෙ දුෂ්ටයො මහ පොළොවෙත් දුෂ්ටයොද? කලාවෙ වීරයො මහ පොළොවෙ දුෂ්ටයො වෙලා, කලාවෙ දුෂ්ටයො මහ පොළොවෙ වීරයො වෙන්නෙ නැද්ද? කලාවෙ සුන්දර නළු නිළියො මහ පොළොවෙ අසුන්දර මිනිස්සු වෙනවද නැද්ද? අපි ඒ ගැන හොයන්න තීරණය කළා.
1970 විතර වෙනකොට තමයි ලංකාවෙ කලාව දේශපාලනික වශයෙන් බෙදෙන්න පටන්ගන්නේ. ඒ බෙදිල්ල බොබී ජයවර්ධන, ස්ටැන්ලි පෙරේරා වගේ අයගෙ මූලිකත්වයෙන් පටන් අරගත්තු කලා හවුලත් එක්ක සිද්ධ වුණා කියලයි අපට හිතෙන්නේ. ඒක වැරැදි නම් නිවැරැදි කරන්න පුළුවන්. මේ බොබී ජයවර්ධනලගෙ, ස්ටැන්ලි පෙරේරාලගෙ වාමාංශික හවුලත් එක්ක දේශපාලනික වශයෙන් නළු නිළියො බෙදෙන්න පටන් අරගන්නවා. මෙතෙක් කලාකරුවන්ට තිබුණේ මැතිවරණය දවසට ගිහිල්ලා ඡන්දෙ දාලා ඇවිල්ලා ඒ මනාපය අනුව හැදුණු දේශපාලනික රාමුවක් මිසක් දේශපාලන කණ්ඩායම්වලට ඔවුන් බෙදිලා හිටියෙ නෑ. හැබැයි පස්සේ ඔවුන් දේශපාලනික වශයෙන් බෙදෙන්න පටන් ගත්තා. විජය කුමාරතුංගගේ දේශපාලන පිවිසුමත් එක්ක තමයි මේ දේශපාලනික ඉර ගහලා ‘අපි කොළ’ ‘එයාලා නිල්’ නැත්නම් ‘අපි වාමාංශික’ ‘එයාලා දක්ෂිණාංශික’ කියලා වෙන් වෙන්න පටන් අරගත්තෙ කියලයි අපේ විශ්වාසය. විජය කටානෙන් ශ්‍රීලනිපයෙන් මැතිවරණයට එනවා. ශ්‍රීලනිපයෙන් මැතිවරණයට එනවත් එක්කම ප්‍රධාන වශයෙන් කණ්ඩායම් දෙකක් විදියට මේගොල්ලො බෙදෙනවා. හැබැයි මේ බෙදිල්ල කොයි තරම් නරක විදියට වුණාද කියලා කියන්නේ විජයත් එක්ක චිත්‍රපටවලදී සෙනෙහසින් හිටපු, ආදරය කරපු, යාළුවා විදියට රඟපාපු, එකට අත් අල්ලගෙන හිටපු, කරට අත දාගෙන හිටපු ගොඩක් දෙනෙක් විජයට විරුද්ධව වේදිකාවට ගොඩවෙනවා. විජයත් එක්ක හිටගන්නේ කලංසූරියලා, කොස්තලා, සූනීතා කෝන්ගහගේලා, ධර්මසේන පතිරාජලා, වසන්ත ඔබේසේකරලා වගේ කට්ටිය. රවීන්ද්‍ර, සනත්, මාලනී මේ විජයත් එක්ක ඉතාම පැහැදිලිව ආදරය කරපු අය. සමහරු පෙම්වතියො, සමහරු යාළුවො. හැබැයි මේ පෙම්වතියො යාළුවො විජයව අතහැරලා දාලා කොළ පාට වේදිකාවට ගොඩ වෙනවා. කලංසූරියලා, විමල් කුමාර ද කොස්තලා, සුනීතා කෝන්ගහගේලා, වසන්ත ඔබේසේකරලා, ධර්මසේන පතිරාජලා විජයත් එක්ක නිල් පාට වේදිකාවේ ඉන්නවා. රවීන්ද්‍ර, සනත්, මාලනීලා විජයට එරෙහිව යූ.ඇන්.පී. වේදිකාවෙ ඉන්නවා. ගාමිණීත් මේ වෙලාවෙ පැහැදිලි යූ.ඇන්.පී. දේශපාලනයක් කරනවා. මේ විදියට ගත්තාම කොළ පිලේ එක පිලක්, නිල් පිලේ තව පිලක්. පිල් දෙකක් විදියට බෙදෙනවා.
නළු නිළියන්ගෙ බෙදිල්ල ඉතා නරක විදියට පෙනිච්ච තැනක් තමයි විජය සිරගත වුණු අවස්ථාව. විජය සිරගත වුණු අවස්ථාවෙදි විජයත් එක්ක එකට සිටි හුඟ දෙනෙක් විජය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. හැබැයි විජයට විපක්ෂව පැහැදිලි යූ.ඇන්.පී. දේශපාලනයක් කරපු ගාමිණී ෆොන්සේකා විතරක් විජය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටිනවා. ඔහු ඒ අවස්ථාවේදී විවිධ අයත් එක්ක සාකච්ඡා කරනවා. බේරගන්න විවිධ ව්‍යාපෘති දියත් කරන්න උත්සාහ කරනවා. මේ සියල්ලත් එක්ක විජය කියනවා ‘මම හිරේදි අසීමිතව දුක් වින්දා. හැබැයි මට දුක ඒ කිසිවක් ගැන නෙවෙයි. මට ගොඩක්ම දුක මගේ සහෝදර කලාකරුවො මම හිරගේ ඇතුළේ ඉන්නකොට මට ඇහෙන්න කැම්බල් එකේ පිට්ටනියට ඇවිල්ලා මට බැණපු එක ගැන’ කියලා. හැබැයි ්යගඍග ජෝතිපාල කියලා තිබුණා ‘මල්ලි උඹ ඔතන ඉන්නකොට මට කැම්බල් එකේ කතා කරන්න බෑ. ඒ නිසා මම ආවේ නෑ’ කියලා. මේ වෙනකොට නළු නිළි සංගම්වල විජයලා, රවීන්ද්‍රලා, ගාමිණීලා ප්රබලව පෙනී හිටපු කාලයක්. මේ රවීන්ද්රලාවත්, එයත් එක්ක එකට හිටපු අනෙක් අයවත් ඒ වෙලාවෙ ඔහුව නිදහස් කරගැනීමේ සටහනට එන්නෙ නෑ.

දැන් අද වෙනකොට රන්ජන් රාමනායක හිරේ ගිහිල්ලා. හැබැයි රන්ජන් හිරේ ගියා කියලත් ඒ විදියම තමයි. රන්ජන් හිරේ යනකොට මේ ආණ්ඩුවෙ ප්‍රබල චරිත නිරූපණය කරනවා රවීන්ද්‍රලා, මාලනීලා වගේ අය. නමුත් මේ වතාවෙත් ඔහු වෙනුවෙන් කී දෙනෙක් ඉදිරිපත් වෙනවද? රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, වසන්ති චතුරාණි. ඒ වගේම අද වෙනකොට ටෙලිනාට්‍ය කලාකරුවො පිරිසකුත් මේකට එකතු වෙලා තියෙනවා. විජයලගෙ කාලෙ චිත්‍රපට කලාකරුවො, චිත්‍රපට නළු නිළියො විතරයි හිටියෙ. ශ්‍රියන්තලා, ජැක්සන්ලා මේ සියලු දෙනාත් බොහොම ප්‍රබල චරිත ලංකාවෙ නිරූපණය කරන අය. ඔවුන් බැරි වෙලා හරි රන්ජන්ගේ සිද්ධිය වෙනුවෙන් රන්ජන් එක්ක පෙළගැහුණා නම් රටේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. අපි රන්ජන් නිවැරැදියි හෝ විජය නිවැරැදියි හෝ කියලා කියනවා නෙවෙයි. ඔවුන්ට අධිකරණය ලබාදුන් දඬුවම සම්බන්ධව තර්ක කිරීමක් අපට නෑ. මේ කලාකරුවන් සම්බන්ධව අපට කතාවක් තියෙනවා. රන්ජන් වෙනුවෙන් මේ වතාවෙ පෙනීසිටියෙ දිල්හානි අශෝකමාලා, කමල් අද්දරආරච්ච, ඒ වගේම තිරය පිටුපස පැහැදිලිව රන්ජන්ගෙ තරගකරුවෙක් බවට පත්වෙමින් සහ රන්ජන්ගෙ තරහකාරයෙක් විදියට හැමෝම දැනගෙන හිටිය අර්ජුන් කමලනාතුත් රන්ජන් වෙනුවෙන් ප්රවෘත්ති සාකච්ඡාවලට සහභාගි වුණා.
මේ සියල්ල ඇතුළේ ඉතා සුවිශේෂ චරිතයක් ඉන්නවා. ඒ තමයි ගීතා කුමාරසිංහ. ගීතා කුමාරසිංහ එදා විජයත් එක්කත් හිටියා, අද රන්ජන් වෙනුවෙනුත් පෙනී ඉන්නවා. එදා විජයත් එක්ක ගීතා හිටියේ ගීතා විජයගෙ පාර්ශ්වය නැත්නම් විජයගෙ පිලේ කෙනෙක් විදියට. ගීතා එදත් ශ්රීලනිපය නියෝජනය කරමින්, අදත් ශ්රීලනිපය නිදහස් කරමින්, නැත්නම් ශ්‍රීලනිපයට ආසන්න කණ්ඩායම නියෝජනය කරමින් දේශපාලනයේ නියැළිලා ඉන්න කෙනෙක්. ගීතා අදත් පාට පක්ෂ භේදවලින් තොරව රන්ජන් නිදහස් කරගැනීමේ සටහනට පැහැදිලිව ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම පසුගිය කාලෙ රජ කතාවකින් කරළියට ආපු දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ චරිතය නිරූපණය කරපු උද්දික ප්‍රේමරත්න. උද්දික නළුවෙක් වගේම දේශපාලකයකු විදියටත් දැන් ඉදිරියෙන් ඉන්න කෙනෙක්. ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත්වුණා. හැබැයි තිරය පිටුපස, තිරය ඉදිරිපිට, අඩුම තරමින් පාර්ලිමේන්තුවෙදිවත් උද්දිකලා රන්ජන් වෙනුවෙන් හඬ නඟන බවක් පේන්න නෑ. ඒ විදියට ගත්තාම අදත් එදා වගේම තමයි. මේක දෛවෝපගත සිදුවීමක් වගේ විජයගෙ ඥාතියා වෙච්ච රන්ජන්ටම අත්විඳින්න වෙච්ච සිදුවීමක්. එදා විජය වෙනුවෙන් කලාකාරයො හිටගත්තෙ නෑ වගේම, අද රන්ජන් වෙනුවෙනුත් බහුතර කලාකරුවො හිටගන්නේ නෑ. කලාකරුවො තමන්ගෙ දේශපාලනික කාරණාවල නියැළෙමින් තමන්ට දේශපාලනයෙන් ලැබෙන පඬුරු පාක්කුඩම්, තාන්න මාන්න ගැන සතුටින්, ඒ ඒ අයට අවශ්‍ය විදියට තුටු පඬුරු පුදකරමින් වැඩ කටයුතු කරනවා කියලයි අපට නම් පෙනෙන්න තියෙන්නේ.
තිරයේ ඉන්න විසිතුරු මූණු ලස්සන සිරුරු දැවැන්ත පෞරුෂය මේ සියල්ලම දේශපාලනය ඉදිරියේ දියවිලා විනාශ වෙලා යනවද කියලා අපට හිතෙනවා. හැබැයි එහෙම හිතද්දී හරියට දුක හිතෙනවා.
ඉන්දියාවෙ විවිධ අවස්ථාවලදී මේ වගේ සිද්ධිවලට කිසිම හේතුවක් නිසා පාට පක්ෂ භේදවලින් තොරව මිනිස්සු කලාකරුවො තමන්ගෙ කණ්ඩායමත් එක්ක හිටගත්තා. ශාරුක් ඛාන්ගෙ පුතාට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවෙ ශාරුක් ඛාන් එක්ක සියලුම නළු නිළියො ටික එකට එකා වගේ හිටියා. සන්ජේ දත්ගෙ සිද්ධියෙදිත් එහෙමයි. මේ හැමෝම තමන්ගෙ කලා කණ්ඩායම වෙනුවෙන් තමයි පෙනී ඉන්නේ. ඔවුන් ඒ වෙලාවට තමන්ගෙ පාට, පක්ෂය, වගේම ඉන්දියාවෙ දැඩිව තියෙන කුල භේදය පවා අමතක කරලා දානවා. හැබැයි ඉන්දියාවෙ එහෙම වුණාට ලංකාවෙ එහෙම වෙන්නේ නෑ.
ජීවන පහන් තිළිණ










