පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට සහ රට මුහුණ දෙන බහුවිධ අභියෝගවලට විසඳුම් සෙවීමට සර්ව පාක්ෂික සමුලුවක් කැදවන ලෙස ආණ්ඩු සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පාර්ශ්වකරු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉල්ලීමක් කොට ඇත.
පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ශ්‍රීලනිප සමස්ත ලංකා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණවලට එළඹ ඇත.
එහිදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් කරුණු 15කින් යුත් ලේඛනයක්ද සම්මත කරගෙන තිබේ.
ජනතාවට තම ඡන්ද බලය භාවිත කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා පළාත් පාලන මැතිවරණය නොපමාව පැවැත්විය යුතු බව එහි එක් යෝජනාවකි.
දේශපාලන මතභේද සහ න්‍යාය පත්‍ර පසෙක දමා පත්කළ යුතු යෝජිත සර්ව පාක්ෂික සමුලුවේදී රට මුහුණ දී ඇති බහුවිධ අර්බුද සාකච්ඡා කර සාර්ථක ලෙස කළමනාකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙම කමිටුවට නියමිත කාල රාමුවකට අනුව කටයුතු කළ හැකි අතර අර්බුද සඳහා කෙටි හා මධ්‍ය කාලීන විසඳුම් සකස් කළ හැකිය.
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වසරක කාලයක් තුළ සම්පාදනය කරන ලෙස ද එම පක්ෂය ඉල්ලා තිබේ.
වත්මන් ආර්ථික අර්බුදය කොවිඩ් 19 වසංගතය නිසා ඇති වූවක් නොවන බවත් එය වහාම විසදිය යුතු බවත් ශ්‍රීලනිපයේ ස්ථාවරය වී තිබේ.
නීතියේ ආධිපත්‍යය පිළිබඳ මහජන විශ්වාසය ගොඩනැගීමට සහ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහා පියවර ගත යුතු බව ද එම පක්ෂය යෝජනා කර ඇත.










