ශ්‍රී ලංකාවේ නේවාසික ඉස්ලාමීය රටවල දූත මණ්ඩල ප්‍රධානීන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුව ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට ඉස්ලාමීය රටවල සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරන බව තමන් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් හමුවේ ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
ඉස්ලාමීය රටවල් නියෝජනය කරන ශ්‍රී ලංකා තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු 15 දෙනෙක් මෙම හමුවට එක්ව සිටියහ.
ඕමානය, පලස්තීනය, කුවේට් රාජ්‍ය, සෞදි ආරාබිය,මලයාසියාව,කටාර්, තුර්කිය, ඉරානය, ලිබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දුනීසියාව සහ ඊජීප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරු සහ මාලදිවයින, බංග්ලාදේශය, පාකිස්ථානය යන රටවල් නියෝජනය කරමින් එම රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉස්ලාමීය රටවල තානාපතිවරු හා මහ කොමසාරිස්වරුන්ගේ හමුව සිදුව ඇත්තේ පසුගිය දිනෙක රාත්‍රී කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී බව වාර්තා වේ.
මෙම සුවිශේෂි හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ ආරාධනාවකට අනුවය.
“පැමිණි සිටි තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමඟ සුහද සාකච්ඡාවක නිරත වීමට අවස්ථාව ලදිමි. කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග පැමිණ සිටි තානාපති හා මහ කොමසාරිස්වරුන්ගේ ඇගයීමට ලක්විය.ඉස්ලාමීය රටවල් සමඟ දැනට පවතින ද්විපාර්ශවික සබඳතා අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් හා ව්‍යාපෘති ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීම සම්බන්ධයෙන් තානාපතිවරු මෙහි දී අදහස් පළ කළහ.වසංගත තත්ත්වය හමුවේ අභියෝග ජයගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා වත්මන් රජය දරන වෙහෙස පිළිබඳව මෙහි දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැහැදිලි කළේය” යනුවෙන් සිය ෆේස් බුක් හි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සටහනක් තබා ඇත.










