පාර්ලිමේන්තුව යනු රටේ ඇති උත්තරීතරම ස්ථානයකි. එබැවින් ඒ තුළ කටයුතු කළ යුත්තේ ඉතාම ආදර්ශමත් ආකාරයෙනි. එසේ වුවද, අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ දෙනකුගෙන් එම ආදර්ශය ලැබේදැයි යන්න වසර ගණනාවක් පුරා ඇති ගැටලුවකි. එකිනෙකා විවේචනය කර ගැනීම, පෞද්ගලික කාරණාවන් ඈඳා ගනිමින් මඩ ගසා ගැනීම වැනි සිද්ධීන් අපේ පාර්ලිමේන්තුවට ආගන්තුක ඒවා නොවේ. එමෙන්ම ඒ බොහෝ සිදුවීම් ඒ අවස්ථාවෙන් පසු මැඩපත් වී යාමද සුලබ කාරණාවකි. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය ඊට එහා දුර දිග ගිය එකක් වීම විශේෂත්වයකි. ඒ එම ප්‍රකාශය කාන්තා පාර්ශ්වයට අපහාසයක් වූ බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරියන් කතානායකවරයාට පැමිණිලි කිරීමත් සමඟිනි. කුට්ටිආරච්චි මහතා අදාළ ප්‍රකාශය සිදු කළේ අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයට එක් වෙමිනි. එළවළු වර්ග කිහිපයක නම් ඈඳා ගනිමින් කුට්ටිආරචචි මහතා සිදු කළ ප්‍රකාශය කාන්තා පාර්ශ්වයට අනියමින් එල්ල කළ අසභ්‍ය අපහාසයක්වන බව බොහෝ දෙනාගේ අදහස විය.
“දැන් රෝහිණී කවිරත්න ලැජ්ජා නැතිව අහනවා පොළේ ගියාද, වම්බටු කීයද, ගහල කීයද, පලා කීයද කියලා අහනවා. මේ පැත්තේ මන්ත්‍රීවරයෙක්ගෙන් ඇහුවා, වම්බටු ගත්තද, ගහල ගත්තද, පලා ගත්තද කියලා. වම්බටු, ගහල, පලා ගත්තද කියලා රෝහිණී කවිරත්න අපෙන් අහනවා. ගිහින් අහන්න සජිත් මහත්තයාගේ නෝනාගෙන්. ඕක අපෙන් අහන්නේ ඇයි.”
තිස්ස කුට්ටිආරච්චි මහතා සිදු කළ ප්‍රකාශය එසේය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ සමඟි ජන බලවේගයේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය ඒ හරහා තම වරප්‍රසාද කඩ වූ බවට ප්‍රකාශ කළ අතර සභාවේ නොමැති කෙනකුගේ නමද සඳහන් කරමින් කාන්තා පාර්ශ්වයට අපහාස සිදු කළ බවද සඳහන් කළේය. ඒ සමඟම ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සභාපතිනී රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කතානායකවරයාට ලිපියක් යොමු කළ අතර එහිදී කාන්තා හිංසනය සම්බන්ධයෙන් ඉතා දීර්ඝව කරුණු දැක්වීමට ඇය කටයුතු කර තිබිණි.
තිස්ස කුට්ටිආරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් සිය ලිපිය යොමු කළ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර තිබුණේ මීට පෙර අවස්ථාවලද වාචික හිංසනයන් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සිදුවී ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක යහපත් පූර්වාදර්ශයක් නොවන බවත්ය.
එසේම නීති සම්පාදනයට දායක වන මහජන නියෝජිතවරියන් කාන්තාවක් වීම තුළ එම ස්ථානය තුළදීම හිංසනයට ලක්වන්නේ නම් එමගින් පෙන්නුම් කරනුයේ සමස්ත සමාජයකට පරිහානිය බව පෙන්වාදී තිබූ රාජ්‍ය අමාත්‍යවරිය ගෘහස්ථ, පොදු මගී සේවා, මහමග සහ වෘත්තීය ස්ථානයේදී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන හිංසනයන් පිළිබඳව සාකච්ඡා කෙරෙන, එවැනි දෑ වැළැක්වීමට කටයුතු කරන උත්තරීතර ආයතනයක මන්ත්‍රීවරියන්ට එරෙහි වාචික හිංසනය සිදුවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සභ්‍යත්වය අගයන කිසිවකු අනුමත නොකරන්නක් බවය.
එබැවින් එය පැහැදිලිවම කාන්තාව රටේ තීරණාත්මක දේශපාලනමය මැදිහත්වීම්වල නිරත වීම අධෛර්යය කරන්නක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැතැයි රාජ්‍ය අමාත්‍යවරිය සිය ලිපිය තුළ වැඩිදුරටත් පෙන්වා දී තිබිණි.
මෙහිදී මෙම කරුණු කථානායකවරයාගේ විශේෂ අවධානයට ලක්කරමින් ඇය සඳහන් කර තිබුණේ වාචික අපයෝජන, තර්ජනය කිරීම, අපහාස කිරීම, විවේචනය කිරීම, හාස්‍යයට උපහාසයට ලක් කිරීම බහුල වශයෙන් දැකිය හැකි අතර එය උත්තරීතර පාර්ලිමේන්තුව තුළද සිදුවීම කනගාටුදායක තත්ත්වයක් බවය.
එබැවින් කාන්තාවන්ගේ දේශපාලන සහභාගිත්වය අවම මට්ටමක පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරියන් 12 දෙනාගේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ නිකුත් කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමට කථානායකතුමාගේ කාරුණික අවධානය යොමුකරන ලෙස පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය ලෙස අමාත්‍යවරිය එම ලිපියෙන් ඉල්ලා තිබිණි.
මේ සම්බන්ධයෙන් පළමුව සභාවෙන් සමාව අයැද සිටියේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාය. කුට්ටිආරච්චි මහතාගේ ප්‍රකාශය හරහා කාන්තා පාර්ශ්වයට අපහාසයක් සිදු වී ඇත්නම් තමන් ඒ පිළිබඳව සමාව ගන්නා බව ප්‍රකාශ කළ කතානායකවරයා, අදාළ ලිපිය පිළිබඳ තම තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේ ඒ පිළිබඳව සමාව ගන්නා ලෙස තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාට නියෝග කරන බවය. එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ එවැනි ප්‍රකාශ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ආණ්ඩු පක්ෂ සංවිධාකවරයාට සහ විපක්ෂයේ සංවිධායකවරයාට දැනුම් දෙන බවද කතානායකවරයා සඳහන් කළේය.
නමුත් ප්‍රශ්නය තවත් දුර දිග ගියේ තමන් සිදු කළ අසභ්‍ය ප්‍රකාශය කුමක්දැයි තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රශ්න කිරීමත් සමඟිනි. තමන් සිදු කළේ විපක්ෂය විවේචනය කිරීම පමණක් බව සඳහන් කළ කුට්ටිආරච්චි මහතා ඉල්ලා සිටියේ තමන් සිදු කළ අසභ්‍ය ප්‍රකාශය කුමක්දැයි ප්‍රකාශ කරන ලෙසටය. එවැන්නක් සිදුව ඇත්නම් සමාව ගන්නා ලෙස කතානායකවරයා ඒ අවස්ථාවේද මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටි නමුත් එය ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරයා දිගින් දිගටම අදහස් දැක්වූයේ තමන් සිදු කළ අසභ්‍ය ප්‍රකාශය කුමක්දැයි ප්‍රශ්න කරමිනි.
“මම කියපු අසභ්‍ය වචනය මට කියන්න. මම වල් නැහැ. අහන අය වල් උනාට මට කරන්න දෙයක් නැහැ කතානායකතුමනි. මගේ අතින් කාන්තාවට ඇත්තටම අපහාසයක් සිදු වුණා නම් තමයි මම සමාව ඉල්ලන්න ඕනෑ. හැබැයි පොළේ එළවළු විකුණන වෙළෙන්දෙක් මම කියපු එළවළු විකුණන විදිය මට කියන්න. මම කිව්වේ යහපත් සිතින්. කාන්තාවන්ව මම අපහසුතාවයට පත් කළේ නැහැ. කාන්තාවන්ව අපහසුතාවයට පත් කර ගන්නේ කාන්තාවන් විසින්මයි. මම බටු ගැන කිව්වාම කොහොමද කාන්තාවන්ට අපහාසයක් වෙන්නේ. මම වට්ටක්කා ගැන කිව්වම කොහොමද කාන්තාවන්ට අපහාසයක් වෙන්නේ. මට මේක තේරෙන්නේ නැහැ.”
කුට්ටිආරච්චි මහතා අදහස් දැක්වූයේ එසේය.
ඒ අවස්ථාවේ නැඟී සිටි සමඟි ජන බලවේගයේ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ එම වචන තුන නැවත ප්‍රකාශ කිරීම ලැජ්ජා සහගත දෙයක් වන බවය.
අනතුරුව නැවත වරක් එම සිද්ධිය සම්බන්ධයෙන් රෝහිණී කවිරත්න මහත්මිය අදහස් දැක්වීය.
“නැවත වතාවක් මගේ වරප්‍රසාද අහිමි වීමක් මෙතැන සිද්ධ වෙනවා කියලා මම හිතනවා. මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිතුමියත් පිළිගන්නවා මෙය වක්‍රෝතියෙන් කාන්තාවන්ට කරපු අපහාසයක් විදියට. වක්‍රෝතියෙන් කාන්තාවන්ට අපහාසයක්, ලිංගික හිංසනයක් සිද්ධ වෙනවා කියලා ඔබතුමාත් පිළිගන්නවා. ඒ ප්‍රකාශය නැවත වතාවක් කරන්න කියලා අභියෝග කිරීම හරහා ඒ දේමයි නැවතත් සිද්ධ වෙන්නේ. ඒ අවස්ථාවේ කතානායක පුටුවේ හිටිය මන්ත්‍රීතුමා හැසිරුණු විදිය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම ඔබතුමාටත් ස්ථාවර නියෝග යටතේ මේකට මීට වඩා දැඩි තීන්දුවක් ගන්න හැකියාව තියෙනවා. මම අහනවා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙන්, ඔබතුමාට දියණියක් ඉන්නවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ මැතිනිය ඉස්සරහා මේ ප්‍රකාශය දාලා අහන්න දෙන්න පුළුවන්ද කියලා මම අහනවා. ඒ වගේම එතුමාගේ අම්මයි, බිරිඳයි ඉස්සරහා මේක දාලා අහන්න කියලා මම ඉල්ලා සිටිනවා.”
ඒ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ අදහස්ය.
තිස්ස කුට්ටිආරච්චි මහතා එම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේ මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේ අජිත් රාජපක්ෂ මහතාය. ඒ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ තමන්ට ඒ අවස්ථාවේ එය නිසියාකාරව නොඇසුණු බවය.
කෙසේ නමුත් මේ සිද්ධියට පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ ඉහළ ප්‍රතිචාරයක් හිමිව තිබිණි. ඒ හරහා බොහෝ දෙනෙක් තිස්ස කුට්ටිආරච්චි මහතා විවේචනය කර තිබුණු අතර ඒ සඳහා ඒ මහතාගේ බිරිඳගේ ඡායාරූප පවා යොදා ගෙන තිබිණි. නමුත් කුට්ටිආරච්චි මහතා සිදු කළ ක්‍රියාවකට ඒ මහතාගේ බිරිඳ ඈඳා ගැනීමද එක් අතකින් කාන්තා හිංසනයක් වන බවද අමතක කළ යුතු නැත.
චන්දන පොන්නම්පෙරුම










