මිල පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් පෙනී ගොස් තිබෙන බව මේ වසරේ හත්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් අද (14) මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.
“රටේ වර්ධන වේගය 2022 වසරේ දී ඉහළ මට්ටමකට ගෙන යෑමට හැකි වේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. නැවත වරක් වර්ධනයට යෑමේ ලෝක ප්‍රවණතාවක් ද පෙන්නුම් කරනවා. ඒත් සමඟම මිල පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් ද අපට පෙනී ගොස් තිබෙනවා.ඛනිජ තෙල්, ගෑස්, කෑම වර්ග, ආහාර බෝග, යනාදියේ මිල වැඩි වීමක් ද අපි දැක්කා. ඒ නිසා ඒවායේ ප්‍රතිවිපාකවලට අපේ රටටත් මුහුණ දීමට සිදුවන ආකාරය අපි දැක්කා. උද්ධමනය මැදි තනි ඉලක්කයක පවත්වාගෙන යෑම අපේ ඉලක්කය වී තිබෙනවා. පසුගිය කාලයේ දී මිල ගණන් ඉක්මනින් වැඩි වීම නිසා එම ඉලක්කයට ගමන් කිරීම තරමක් දුෂ්කර වී තිබෙනවා. ඒ වුණත් ඉදිරි කාලයේ දී අපි එම ඉලක්කයට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.
එමෙන්ම GSP+ සහන නොලැබුණත් ආර්ථික අභියෝගවලට මුහුණ දිය හැකි බවද මහබැංකු අධිපතිවරයා කියා සිටියේය.










