රසායනික පොහොර භාවිතය හා ආනයනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය ඉකුත් අප්‍රෙල් 27 වැනිදා ගත් තීරණයෙන් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බැවින් , එම තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එමෙන්ම මෙම පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු ඉකුත් අප්‍රේල් මස 27 වැනිදා අමාත්‍ය මණ්ඩලය සම්මත කරනු ලැබූ යෝජනාව ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත්කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ
සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, සමගි ගොවි ජන පෙරමුණ සංවිධානයේ සභාපති හේමකුමාර නානායක්කාර සහ ලේකම් පී. හැරිසන් යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා , කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් උදිත් කේ. විජේසිංහ, ජාතික පෙහොර ලේකම් කාර්යාලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නීතිපතිවරයා ඇතුළ හත් දෙනෙකු නම්කරනු ලැබ සිටිති.










