ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (13) දිනයේදී සුවිශේෂී නඩු තීන්දුවක් ලබා දී තිබේ.
ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාළ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමිනි.
ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කල අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත්කල අතර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට නියෝග කර තිබේ.
මෙසේ ඉවත් කර ඇත්තේ පොදුජන පෙරමුණෙන් තරග කළ ඩී.එම්. හර්ෂක ප්‍රිය දිසානායක මහතාගේ අසුනය.
මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් අනාගතයේ අපේක්ෂකයන් ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීමට නොපෙළඹෙනු ඇති බවත්, යම් හෙයකින් එසේ කෙරුවද ඕනෑම මොහොතක ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කිරීමට ඉඩකඩ සැලසෙනු ඇති බවත්, එපමණක් නොව අපේක්ෂක වියදම් සීමාකිරීමේ නීති සම්පාදනයේ අවශ්‍යතාවය හා මැතිවරණයකදී සමබිමක අවශ්‍යතාවය නැවත වරක් අවධාරණය වී ඇති බවත් විශ්ලේෂකයන්ගේ මතය වී ඇත.
එමෙන්ම මෙම ජයග්‍රහණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට හැකිවූයේ තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම හේතුවෙනි.









