ගුරු හා විදුහල්පති වෘත්තීය සමිතිවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හමුවීමට අවස්ථාව සලසා දීමට මැදිහත් වීමට අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන් එකඟ වූ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු, විශේෂයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය සති කිහිපය තුළදී වෘත්තීය සමිති විසින් ජනාධිපති සහ මුදල් ඇමති හමුවීමක් ඉල්ලා සිටි නමුත් ඒ සදහා අවස්ථාවක් හිමිව නොතිබිණ.
ආගමික නායකයින්, දෙමාපියන් සහ කලාකරුවන් සමඟ අඛණ්ඩව පැවැත්වෙන වෘත්තීය සමිති අරගලය සඳහා සහයෝගය ලබා ගැනීමට සැලසුම් කර ඇති සාකච්ජා මාලාවේ පළමුවැන්න පල්ලේගම හේමරතන හිමි හමුවය.
මෙම හමුව සඳහා සී.ටී.යූ.යේ නියෝජිතයින් සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් සහභාගී වී තිබේ.
කතෝලික, හින්දු සහ ඉස්ලාමීය ආගමික නායකයින් ඇතුළු තවත් පක්ෂ ගණනාවක් සමඟ නුදුරු අනාගතයේ දී සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.
“අපි යාපනය රදගුරු සහ හින්දු පූජකවරුන් කිහිප දෙනෙකු හමුවීමට බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු තවදුරටත් පැවසීය.










