“මගේ තාත්තාගේ ජීවිතය මට වටිනවා වගේම, මට අනෙක් හැමෝගෙම ජීවිතත් වටිනවා” මෙහෙම හිතලා ක්‍රියා කළ තරුණයෙක් පිළිබඳ අසන්නට ලැබුණේ පේරාදෙණිය රෝහලේ 18 වැනි වාට්ටුවෙන්. මේ කතාව සමාජ මාධ්‍යයට එක්කළේ නුවන් ගුණසේකර මහතා. බොහෝ දෙනා සමාජ මාධ්‍ය අවභාවිත කරන මෙවන් මොහොතක මෙවැනි වටිනා පණිවුඩයක් සමාජය වෙත මුදාහැරීම පිළිබඳ එතුමාට ස්තුතිවන්න විය යුතුයි.
පසුගියදා කොවිඩ් පිළිබඳ සංවේදී සිද්ධීන් දෙකක් සමාජ මාධ්‍ය කැලඹුවා. මේ සිද්ධීන් දෙකම තරුණ පරපුරට ආදර්ශයක් ගෙන දීමට සමත් වූ සිදුවීම්. එක තරුණයෙක් ජීවිතය ඉල්ලනකොට තවත් එවැනිම තරුණයෙක් ජීවිතවලට පණ දුන්න බවක් එම සමාජ මාධ්‍ය පුවත්වලින් කියැවුණා. එයින් එක් සිද්ධියක් වුණේ නුවන් ගුණසේකර විසින් සමාජ මාධ්‍යයට මුදාහළ පුවතයි. පේරාදෙණිය මහ රෝහලේ 18 වැනි වාට්ටුවේ කොවිඩ් රෝගීන් 60කට ආසන්න ප්‍රමාණයකට තම ජීවිතයද පරදුවට තබා කිසිම මුදලක් අය නොකර සලකන වීර පුතෙක් ගැනයි ඔහු එලෙස සටහන් කර තිබුණේ. ඔහු නමින් පී. පුෂ්පනාදන් (පුෂ්පනාදන් සාමි) නමැති 40 හැවිරිදි දමිළ පුද්ගලයෙක්. ඔහු තම පියාව රැගෙන එන්නේ පියාට කොවිඩ් 19 වැලඳී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන මොහොතක. පුෂ්පනාදන් තම පියා සමග රෝහලට යන්නේ ඔහුගේ ළඟ නතර වී උපස්ථාන කිරීමට. නමුත් මේ අවස්ථාවේ පුෂ්පනාදන්ට කොරෝනා වැලඳී නැතත් මොහු වයෝවෘද්ධ පියාගේ තනියට පැමිණියේ ජීවිත අවදානම ගැනද නොසිතායි.
මේ පුද්ගලයා තමන්ට හැකි අයුරින් වාට්ටුවේ සියලු දෙනාටම උපස්ථාන සිදුකළා. අතපය වාරු නැති අයව රෝද පුටුවෙන් වැසිකිළියට පවා අරන් ගියා. කන්න ටික, බෙහෙත් ටික, තේ ටික, උණුවතුර පවා ළඟට ඔවුන්ට ගෙනැවිත් දුන්නා. වාට්ටු පිරිසිදු කළා. මේ සියලුම දේ කළේ මේ ව්‍යසනයෙන් අපි හැමෝම ගොඩ එන්න ඕන නිසා. ඒ වට්ටුවේ සිටි රෝගීන් මොහුව දැක්කේ මිහිපිට දෙවියෙක් විදිහට. මෙවැනි තරුණයන් අද සමාජයේ දුර්ලභයි.
අපහසුවෙන් හුස්ම හිරකරගෙන ඔක්සිජන් නොමැතිව හුස්ම ඉල්ලන තරුණ පුතෙක් වෙනුවෙන් ජීවිතය යදින අම්මා කෙනෙකුගේ විලාපයක් අනෙක් සිදුවීමෙන් වාර්තා වුණා. තම දරුවා හුස්ම හිරවෙලා ජීවිතය ඉල්ලනවා අම්මා කෙනෙක් බලන් ඉන්නේ කොහොමද? “මීට වඩා දරුණු තත්ත්වයක් තිබේදැයි නොදනිමි යන හැඟීමෙන් එදා වෛද්‍යවරුන් නරකම දෙයට සූදානම් වෙමු… කියා පුන පුනා කිවේ කුමක්දැයි හරියටම වටහාගන්න පුළුවන් දැන්ය. පරිස්සම් වෙමු” යැයි සටහනක් තබමින් මේ විඩියෝව මුදාහැර තිබුණා මේ ලියන මොහොත වන විට රෝහල්වල ඇඳන් ප්‍රමාණය ඉක්මවා ගිහින්. ඇඳන් යට පවා රෝගීන්. දිනකට කොරෝනා මරණ සංඛ්‍යාව 150 ඉක්මවා යනවා. ධනය බලය මුදලට පවා නවත්වන්න පුළුවන් ලෙඩක් නෙවෙයි මේක. දිනෙන් දිනම අපේ ආදරණීයයන් අප අතහැර යනවා අපට බලන් ඉන්න සිදුව තිබෙනවා. වැඩිහිටියන්ට පමණක් නොව අතදරුවාගේ පටන් තරුණ, මහලු සියලු දෙනාට මේ දරුණු වසංගතය සමග සටන් කරන්නට සිදුවෙලා. මේ බව රෝහලකට ගියාම ඇස්පනාපිටම දැකගන්නට ලැබෙනවා. කවුරු කොන් කළත් කොරෝනා නිසා තමන් දස මාසයක් කුසේ තියාගෙන බිහිකළ දරුවාව අම්මා කෙනෙක් තනිකරන්නේ නැහැ.
සමහර පුද්ගලයන් කොරෝනා රෝගියෙක් කියලා දැනගත්තාම හැසිරෙන්නේ හරිම ආත්මාර්ථකාමී විදියට. කොරෝනා හැදුණාම කෙනෙක්ව කොන් කරන්නේ සමාජ රෝගයක් වැලඳිලා වගේ. රෝගියෙක් දිහා බලන්නේ වපර ඇහෙන්. නිරෝධායනය වන ගෙයක් කියලා දැනුණාම ඒ පැත්ත පළාතෙන්වත් යන්නේ නැහැ.
සමහරු කොරෝනා කියලා දැනගත්තාම, මිනිස් වේශයෙන් සිටින යක්ෂයන් වගේ වෙනවා. අපි වටේ ඉන්නා මිනිස් වෙස් ගත්තු දෙවිවරු කවුද යක්ෂයන් කවුද කියලා දැනගන්න පුළුවන්, මේ වසංගතය වැලඳුණාම. කෙනෙක්ව තනිකරන්නේ නැතුව දුක සැප සොයලා මානසිකව ශක්තියක් වෙන්න පුළුවන් නම් ඒ දේ කරන්න. එතකොට ඒ කෙනාට තමන් මේ ලෝකේ තනිවෙලා නෑ කියලා හැඟෙයි.

මෙවැනි ජීවිත බිලිගන්න මොහොතක මනුස්සකම් උතුරා ගිය අවස්ථාවන් පිළිබඳ අසන්නට ලැබීම සතුටට කාරණයක්. මෙවැනි ගුණවත් මිනිසුන් සිටීම කොතරම් නම් ජීවිත ලස්සන කරනවාද? ජීවිතවලට කොතරම් ශක්තියක්ද කියලා හිතෙන්නේ කොරෝනා සමග සටන් කරන අයට විතරයි කියලා මට නම් හැඟෙන්නේ. කොරෝනා හැදිලා රෝහලක තනිවෙලා ඉන්නකොට හරිම අසරණභාවයක් තනිකමක් දැනෙනවා. කොරෝනා වාට්ටුවක දිනයක් දෙකක් ඉන්නකොට දැනෙනවා ජීවිතය මොකද්ද කියන දේ. තමන්ට සලකන්න තමන්ගේ ආදරණීයයන් තමන් ළඟ නැහැ. දුක කියන්න කෙනෙක් නැහැ. අපේ ළඟට කාටවත් එන්නත් බැහැ. මේ ඇඳන්වල ඉන්නේ ජීවිතය ඉල්ලන පිරිසක්. මේ අයට උපස්ථාන කිරීමට ලැබීම ජීවිතයේ භාග්‍යයක්. අසරණකමින් කරකියා ගන්න දෙයක් නැති වෙනකොට සලකන්න ළඟ හිටියේ මේ පුද්ගලයායි. මොහු දැක්ක කෙනකු මතුපිටින් සිතන්නේ රස්තියාදුකාර පෙනුමක් ඇති පුද්ලගලයෙක් වගේ. නමුත් ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගත් පුද්ගලයෙක්. ඔහුගේ හදවත හරි පොහොසත්. ටයි කෝට් ඇඳගත්තු සමහර මිනිසුන් පෙනුමෙන් වැදගත් වුණත් ඔවුන්ගේ හදවත් හරි කර්කශයි. කෙනෙක් අසරණවූ අවස්ථාවේ සැප දුක විමසලා වතුර උගුරක් හරි දෙනවා නම් වචනෙකින් හරි සලකනවා නම් ඔවුන් දෙවිවරු. ඇස්පනාපිට ගිලනුන්ට උපස්ථාන කරන දෙවිවරු.
කොරෝනා ජීවිතවලට මනුස්සකම් අමුනුස්සකම් කියාදුන්නා. බොහෝ දෙනා ඒ ගැන කතාකළා. ඒ කතා අතර වැඩිපුරම අසන්නට දකින්නට ලැබුණේ වෛද්‍යවරුන්, හෙදියන්ගේ සේවය අගය කළ කතා. නමුත් ඔවුන්ගේ සේවය දේවකාරිය පමණක් නොවෙයි කියලා අපට හිතෙන්නේ ඔවුන්ට අමතරව දෙවිවරු වගේ මනුෂ්‍යයන්ද අපි අතර සිටින බව මේ පුෂ්පනාදන් තරුණයාගේ කතාවෙන් වැටහෙනවා. මේ අය ගැන කවුරුත් කතාකරන්නේ නැහැ.
දිනෙන් දින කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යනවා. කොතරම් ධන සම්භාරයක් තිබුණත් මේ ලෙඩෙන් ගැලවෙන්න බැරි බව පසුගිය දිනවලදි අපට දකින්න ලැබුණා. අපේ රටේ ප්‍රබල ව්‍යාපාරිකයන් වෛද්‍යවරුන් ඉහළ තානාන්තර දරන්නන් මියගිය බව අපි ඇස්පනාපිට දැක්කා. මේ සියල්ලන්ගේම මරණ අපට පසක් කළේ පරිස්සම් වෙන්න පරිස්සම් වෙන්න පරිස්සම් වෙන්න කියන කාරණාවයි.
බුදුරජාණන් වහන්සේ පවා ගිලනුන්ට උපස්ථාන කිරීම මහත් සේ අගය කළා. මේ පුද්ගලයාද ගිලනුන්ට උපස්ථාන කළ දෙවියෙක් වගේ. තමන්ගේ පියා අසාධ්‍ය වී ඔස්සිජන් යන්ත්‍රයෙන් හුස්ම යදින අවස්ථාවකදී පවා ඔහු වාට්ටුවේ අනෙකුත් රෝගීන් සියලු දෙනාටම උපස්ථාන කිරීම කොයිතරම් උතුම්ද? සෑම රෝගියෙකුටම ආදරෙන් කරුණාවෙන් සැලකූ, මිනිසත්කමේ ගුණ සුවඳ වැපිරූ මෙවන් පුතුන් තව තවත් බිහිවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. පරාර්ථකාමී මිනිසුන් ලෝකය ලස්සන කරනවා කියන කතාව සනාථ කරන්න මේ උදාහරණය හොඳටම ප්‍රමාණවත්.
නිලන්ති රේණුකා










