කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා කීය.
කොවිඩ් පැතිරීම නිසා මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වයක් ඇතිවී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
විශාල ව්‍යසනකාරී තත්ත්වයක් මතුවී ඇති අවස්ථාවක උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු නැති බවත් උද්ඝෝෂණ නවත්වා රජයේ කොරෝනා පාලන වැඩපිළිවෙළට සහාය දක්වන්නැයි තමා සියලු ගුරුවරුන්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටින බවත් ජයසුමන මහතා පැවැසුවේය .
මංගල උත්සව සහ මූව ආවරණ ඉවත් කර එකට ආහාර ගැනීම වැනි කටයුතු කොවිඩ් පැතිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සෞඛ්‍ය අංශ සොයා ගෙන ඇති බවත් මේ තත්ත්වය නිසා එවැනි ක්‍රියාකාරකම් ගැන වඩාත් සැලකිලිමත් වීමට සිදුවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ජයසුමන මහතා මෙසේ පැවැසුවේ කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදීය.










