උතුරේ සන්නද්ධ අරගලය ඔඩුදුවන්නට ආසන්න වෙද්දී රජිව් ගාන්ධි “කපටි ආරක්‍ෂකයගේ” චරිතය රඟ දක්වමින් සාම ගිවිසුම ගෙනාවේය. සාම ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු සාම හමුදාවක් උතුරු නැගෙනහිර ස්ථාපනය කෙළේය. එම සාම හමුදාවේ අණදෙන නිලධාරියා ලුතිනන් ජෙනරල් ඒ.එස්. කල්කට්ය. ඔහු ලංකාවේදී තම අත්දැකීම් මෙසේ කියයි.
එවකට (1987) බ්‍රිගේඩියර් සතිශ් නම්බියාර්ගෙන් දුරකතන ඇමතුම ලැබෙන විට මා සිටියේ ලන්ඩනයේ ක්‍රමෝපායන අධ්‍යයන ආයතනයේ පුහුණු සම්මන්ත්‍රණ වැඩසටහනකට සහභාගි වෙමිනි.
එවකට බිගේඩියර් නම්බියාර් සිටියේද ලන්ඩනයේ ඔහුට හිමි රාජකාරි කාර්යාලයේය. ඔහු ඒ පණිවුඩයෙන් මට දන්වා සිටියේ අපේ හමුදා ප්‍රධාන කාර්යාලයට (ඉන්දියාවේ) වහාම දුරකතන ඇමතුමක් දෙන ලෙසටය. ඒ හාම මම මා සිටි ස්ථානයෙන් නික්ම බිගේඩියර් සතිෂ් නම්බියාර්ගේ කාර්යාලයට අවුත් ඔහු කීවාක්ම කෙළෙමු.
මගේ ඇමතුමට ප්‍රතිචාර දැක්වූ හමුදා ලේකම්වරයා පැවසුවේ හමුදා කාර්යමණ්ඩල ප්‍රධානි ජෙනරල් කේ. සුන්දරාජ්ට මා සමග කතාකිරීමට අවශ්‍ය බවයි. ඒ අනුව මම ඒ මොහොතේම ඔහු හා සම්බන්ධ කරනු ලැබූවෙමි.
“ඔබ කොපමණ කාලයක් ලන්ඩනයේ සිටිනවාද?” හමුදා කාර්යමණ්ඩල ප්‍රධානිගේ එකම ප්‍රශ්නය විය.
“ඔබට මා අවශ්‍ය වනතුරු පමණයි” මගේ පිළිතුර විය.
“එහෙනම් හෙට”
එසැණින්ම මා උන් තැනට ගොස් “ගතමනා දෙය නොව, ගතයුත්ත ගෙන” ඉන්දියාවේ ප්‍රධාන කාර්යාලයට රපෝර්තු කළෙමි.
ඒ මා “ලංකාවේ සාමසාධනය උදෙසා ඉන්දියානු සාම සාධක හමුදා ත්‍රාසජනක චාරිකාව” ආරම්භ කළ අන්දමයි.
ඒ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සිටි ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඉතාම දක්‍ෂ එමෙන් කීර්තිමතෙකි. ඔහු ඇම්.ඇන්. ඩික්සිත්ය. එවකට සිටි දේශපාලන රාජ්‍යතාන්ත්‍රික ප්‍රධානි “හාඩිස් සිං පූරි” වර්තමානයේ ඇමැතිවරයෙකි. එවකට ප්‍රධාන ලේකම් වූ ආචාර්ය එස්. ජයිසංකර් මේ වන විට විදේශ ඇමැතිවරයාය.
1987 ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම
ශ්‍රී ලංකාවේ සිංහල ජන ඝනත්වය 1980 තරම වන විට සියයට හැත්තෑ හතරක් තරම් වූ හෙයින් ශ්‍රී ලංකාව“සිංහල බෞද්ධ රාජ්‍යයක්”වූවේය. 18%ක් තරම් වූ ද්‍රවිඩ ජන ඝනත්වය උතුරු සහ නැගෙනහිර පළාත් දෙකම නතුකරගෙන උන්නද දේශපාලන වශයෙන් කොන්කරනු ලැබ පීඩාවට පත් කෙරෙන්නෝ වූහ.
මේ නිසා මේ ප්‍රශ්නය විසඳීම උදෙසා මැදිහත්වන ලෙසට ඉන්දීය දේශපාලනඥයන්ගෙන් කෙරුණු තදබල බලපෑම නිසා ඒ සමයේ භාරත අගමැති රජීව් ගාන්ධිට අත්විඳින්නට සිදුවූ පීඩනයද සුළුපටු නොවිණි.
එකල ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ ජූනියස් රිචඩ් ජයවර්ධනට තුවක්කුව පෙන්නා දෑත පිටුපසට තබා බිත්තියටම හේත්තු කරනු ලැබ ඉන්දු ලංකා සාම ගිවිසුම යැයි හඳුන්වනු ලැබූ ගිවිසුම අස්සන් නොකර සිටින්නට බැරි තත්ත්වයටම භාරත අගමැති රජිව් ගාන්ධි විසින් කොටුකරනු ලැබිණි.
මානුෂීය ආධාර බෙදන මුවාවෙන් ඉන්දීය ගුවන් හමුදාව යාපන අර්ධද්වීපයට “මුහමාලේ මෙහෙයුම” නමින් ගුවනින් පරිප්පු හෙලුවේ“නොකියා කී බියකරු අනතුරු ඇඟවීමකි.
සිංහයාගේ ගෙල හිරකිරීම
ද්‍රවිඩ බහුතරය වැඩි උතුරු සහ නැගෙනහිර යන දෙපළාත එකට“ඈඳීම” (ඒකාබද්ධ කිරීම) ගිවිසුමේ ප්‍රධාන වගන්තිය වූවේය.
මේ දෙපළාත වනාහි වර්ග කිලෝමීටර් 17,000ක භූමි ප්‍රමාණයකි. එමෙන් ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය වූ වර්ග කිලෝ මීටර් හැටපන් දහස් හය සියයෙන් ඉතාම සශ්‍රීක ප්‍රදේශය බවද සඳහන් කිරීමද අවශ්‍යය.
දෙවැන්න එසේ වෙන් කරනු ලබන ප්‍රදේශයේ පවත්නා වෙස්ට් මිිනිස්ටර් පාලන ක්‍රමය අහෝසි කර ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කළ යුතු විය.
ගිවිසුම අසසන් කළ බව සැබැවි. එහෙත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම නම් එතරම් ලෙහෙසි පහසු එකක් නොවන බවද පැහැදිලිව දක්නා ලදී.
මන්ද? එමගින් සමස්ත ජනගහනයෙන් පහෙන් එකක් වූ පිරිසකට රටේ සමස්ත භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණක් නොව රටේ ඉතාම සාරවත් කොටසද බෙදා වෙන් කරදීමට බලකර සිටීමයි.
අත්සන් කළදා පටන්ම ගිවිසුම ක්‍රියාත්මක නොවීමේ ස්වරූපය වර්ධනය වන්නට වූවේය.
ඉන්දියානු වගකීම
“ඉන්දු ලංකා ගිවිසුම ලංකාව අරබයා නිර්මාණය කළ අති දක්‍ෂ රාජ්‍යතාන්ත්‍රික කූටෝපක්‍රමයකි. එහි එක් පැති කඩක් වූවේ ගිවිසුම ක්‍රියාත්මක කරනු ලබනතාක් කාලයක් එම ප්‍රදේශයේ සාමය සුරක්‍ෂිත කිරීම උදෙසා ඉන්දියානු හමුදාව රඳවා තැබීමය.
“ඉන්දියානු සාම සාධක හමුදාව” නිර්මාණය කෙරුණේ ඔන්න ඔය අන්දමිනි.
“සාම හමුදාව සාමය උදෙසා නම්, අප ශ්‍රී ලංකාවේ යුද්ධ කරන්නේ මන්ද?” යන ප්‍රශ්නය සාම හමුදාවේ සෑම අතකින්ම (සෙබළුන්ගෙන්) නැගෙන්නට විය.
හමුදා සෙබළුන්ගේ මේ ප්‍රශ්නය මගේ හිත 1853 “ක්‍රිමියන්“ යුද්ධය දක්වා දිවගියේය.
ක්‍රිමියන් යුද්ධය සඳහා ජෙනරාල්ට අණ දුන්නී බි්‍රතාන්‍යායේ වික්ටෝරියා රැජනය. කළ යුතු මෙහෙය බලගතු රුසියන් හමුදාවට පහරදී ක්‍රිමියාව අත්පත් කර ගැනීමය. එය කළ නොහැකි දෙයක් බව හමුදා නිලයන් පමණක් නොව සුළු සේවකයා පවා දැන සියේය.
ජෙනරාල්වරයා ළෙන්ගතු හමුදාවට මෙසේ කීවේය. “අපට තියෙන්නෙ ඇයි කියන ප්‍රශ්නය අහන්න නෙමෙයි, කියන දේ කරල නහින්නයි” අපට පැටවුණේත් ඒ ටිකමය. තීන්දු ගන්නේ දිල්ලිය. සොල්දාදුවන් ඒ අණට කීකරු විය යුතුය.
සාම හමුදාවේ මෙහෙය සාමය රැකීම වුවත් එය කිසිසේත්ම කළ නොහැක්කක් වූවේය. රජයේ හමුදාවත් එල්ටීටීඊ සන්නද්ධ හමුදාවත් අතර තදබල යුද්ධයක් හේතුවය. එය රජයේ සහාය ලබන සිංහල හමුදාවත් දෙමළ සන්නද්ධ කණ්ඩායමත් අතර සටනකි.
ඉදින් සාම හමුදාවේ මෙහෙය වූයේ සෑම ජන කොට්ඨාසයකගේම සාමය සහ සුරක්‍ෂිතතාව තහවුරු කිරීම උදෙසා යුද්ධ කිරීමටය.
ඒ නිසා උතුර නැගෙනහිර එකට ඈඳීමේ පූර්වාවශ්‍යතාව ඉටුකරනුවස් පැවැත්විය යුතු වූ මැතිවරණය කිසිසේත්ම පැවැත්විය නො හැකි විය. එබැවින් කාර්යමණ්ඩල ප්‍රධානීන්ගේ කොමිටිය“ත්‍රිත්ව සේවා බළකා ආඥා පැණවීමකට” අධිකාරිය ලැබිණි.
නාවික සහ ගුවන් හමුදා සහාය ලැබීම සීමිත වූවේය. එහෙත් මෙහෙය වෙනුවෙන් දායකත්වය සැපයිණි.
ඒ අනුව උතුර නැගෙනහිර සමස්ත ඉන්දියානු සාම සාධක හමුදාවේ පාලනයට නතු විය. එක ඩිවිෂන් එකක් වශයෙන් 1987 තිබූ හමුදා කණ්ඩය 1988 මාර්තුවේ ඩිවිෂන් පහකට වෙන් කෙරිණි.ඒ වන විට සමස්ත සාම හමුදා ශක්තිය (භට පිරිස) හැත්තෑපන් දහසකි.
උතුරු නැගෙනහිර ඡන්දය පැවැත්වීම උදෙසා අවශ්‍ය සුරක්‍ෂිතභාවයෙන් යුතු පරිසරයක් සකස් කිරීම ඉන්දීය සාම හමුදාාව් සංයුතිය වූවේය. උතුරු නැගෙනහිර එකට ඈඳීමේ ක්‍රියාවලියේ පාදම වන මැතිවරණය 1988 දෙසැම්බර් 10 වැනි දින පවත්වා තේරුණු මහ ඇමැතිවරයා එදිනම සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
එසේ දිවුරුම් දීමෙන් පසුව මම (ලුතිනන් ජෙනරාල් ඒ.එස්. කල්කට්) බළකා අණදෙන නිලධාරියා වශයෙන් “මෙහෙයුම අවසන් වැඩිමනත් නියෝග අපේක්‍ෂා කරමි” යැයි ඉන්දියාවට දැනුම් දුනිමි.
දෙරට (ඉන්දියාව සහ ශ්‍රී ලංකාව) අතර දේශපාලනමය ගනුදෙනු කෙරුණේ විදේශ කටයුතු භාර අමාත්‍යාංශයෙනි.
ගිවිසුම පරිදි කටයුතු කිරීම අපහසුවී යථාර්ථය මතුවී ආවේය. උතුර නැගෙනහිර ඒකාබද්ධය ගිනිගොඩකි.අලුත උපන් “බබා” දෙපයින් නැගිටින තුරු ආරක්‍ෂාව සැපයුම ඉන්දියාව විසින් සාම හමුදාවට පවරනු ලැබිණි.
එහි ප්‍රතිඵලය ඉන්දියානු සෙබළුන් එක් දහස් දෙසියයකට දිවි අහිමි වීමය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය අපට (සාම හමුදාවට) සෑම අතකින්ම අවශ්‍ය සහාය දුන්නේය. ඒ නිසා උතුරේ යුද්ධයද හොඳින් ඉදිරියට ගියේය.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවති 1988.01.02 දා තේරීපත්වූ ජනාධිපති ආර්.ප්‍රේමදාස මුලසිටම ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වූ කෙනෙකි. ඔහුට අවශ්‍ය වූයේ අප (සාම හමුදාව) ශ්‍රී ලංකාවෙන් පලවා හැරීමටය.
එපමණක් නොව ජනාධිපතිවරයකු පත්වූ විට සියලු රාජ්‍යතාන්ත්‍රිකයන් කැඳවා විශ්වාසය පළකිරීම රාජකාරියක් වුවත් ඉන්දියානු මහ කොමසාරිස් ඇම්.ඇන්. ඩික්සිත් දැකීම පවා ජනාධිපති ප්‍රතික්‍ෂේප කෙළේය. ඔහුගේ එකම අභිමතාර්ථය වූයේ හැකි ඉක්මනින් ඩික්සිත් වෙනුවට වෙනත් කෙනකු පත් කරවා ගැනීමය. එය එසේම සිදුවිය.
ගිවිසුම බලාත්මක කිරීම සාම හමුදාවට පැවරූ ඉන්දියාව ඉන්පසු “මුණිවත” රකින්නට පටන් ගත්තේය. අපට (සාම හමුදාවට) “ජනාධිපති සරණං ගච්ඡාමි” කියන්නට සිදුවූවේය.
ඔය අතරේ මට හදිසියේම නව මහ කොමසාරිස්වරයාගෙන් ලද දුරකතන ඇමතුමෙන් කියැවුණේ ජනාධිපති ආර්. ප්‍රේමදාසගෙන් මට ලිපියක් එවන බවයි.
එමලිපියේ අන්තර්ගතය සාම හමුදාව පැය විසිහතරක් ඇතුළත ලංකාවෙන් පිටමං විය යුතු බවයි.
ඒ අතරතුරේ මට ජනාධිපති කාර්යාලයෙන් ද දුරකතන පණිවිඩයක් ලැබිණි. එමගින් කියැවුණේ මට දූතයකු අතේ ලිපියක් එවන බවයි.
එවකට මගේ ප්‍රධාන කාර්යාලය තිබුණේ ත්‍රීකුණාමලයේය. එබැවින් මා ඒ රාජ දූතයා හමුවීමට පෞද්ගලිකවම ත්‍රිකුණාමලයේ ගුවන් පථයට යන බව දුරකතන පණිවුඩයට පිළිතුරු වශයෙන් කීවෙමි.
අනතුරුව ඒ හාම අපේ ප්‍රධාන කඳවුර (ඉන්දියාවේ) අමතා අගමැති රජිව් ගාන්ධිගේ උපදේශකවරයා වූ “රොනන් සෙන්” දැනුවත් කළ මා ඊළඟට ගතයුතු ක්‍රියාමාර්ගය ගැන උපදෙස් පැතුවෙමි.
එහෙත් අගමැති උපදේශක පැවසුවේ අගමැති මැතිවරණ කටයුතුවලට ගොස් ඇති බැවින් කිසිවක් කිව නොහැකි බවයි. ගතයුතු ක්‍රියාමාර්ගයක් ගැන තමාට ද යමක් කිව නොහැකි බවයි.
”එසේ නම් කළ යුතු යැයි හැඟෙන දේ මා කරනවා”යැයි මම කීවෙමි.
ඒ අවස්ථාවේ මම ජනාධිපති රාජදූතයා එනතුරු ගුවන් තොටේ රැඳී සිටියෙමි.
ශ්‍රී ලංකාවේ හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ යානයෙන් බැස මා හමුවට එමින් සිටියේය. ඒ වන විටත් අපි දෙදෙනො අතිශය හිතෛෂී මිත්‍රයෝ වීමු. ඇත්ත වශයෙන්ම අපි දෙදෙනො අතට අතදී සුහදත්වයෙන් ශුභ පතා ගතිමු.
ගුවන් පථයේ පොඩිපහේ සක්මනක යෙදී කතාබහ කිරීමට ඔහු කැමැත්තක් දැක්වූවේය. මම ද ඊට දැඩි කැමැත්තක් දැක්වූවෙමි. ඒ කතාවේ දී ඔහු මට පැහැදිලි කළේ “ මටත් මගේ හමුදාවටත් බැරැක්කවලට ගාල්වී සිටින ලෙසත්, එතෙක් සාම හමුදා පාලනයේ පවත්නා උතුරු නැගෙනහිර දෙපළාතම ශ්‍රී ලංකා හමුදා පාලනයට පවරා ගන්නා ලෙසත්ය.
“ඔබ මම නම් ගන්නා ක්‍රියා මාර්ගය කුමක් දැයි” මම ඔහුගෙන් ඇසුවෙමි.
එහෙත් ඔහු ඇසුවේ මා කරන්නේ කුමක් දැයි යන්නය.
මම මගේ ප්‍රධානියාට දී ඇති ප්‍රතිඥාව පරිදි කටයුතු කරන බව මම කීවෙමි. ඒ ශ්‍රවණය කළ හෙතෙම ජනාධිපතිවරයා විසින් නිතුත් කරනු ලැබ තිබූ නියෝග ලිපිය පවා මට නොදී යන්න ගියේය.
මේ දෙබස ඇතුළු අප දෙදෙනාගේ හමුව කවර ආකාරයකින් හෝ කොළඹ ජනාධිපති කාර්යාලයෙන් මාධ්‍යයට ගොස් තිබිණි.
මා කාර්යාලයට යනවාත් සමගම බී.බී.සී. මාධ්‍යවේදී “මාර්ක් ටුලී” ගුවනින් පැමිණ මගේ කාර්යාලයේ උන්නේය. “හා” කියන්නටත් “හුම්” කියන්නටත් බැරි අවස්ථාවකට මම පත්ව සිටියෙමි.
එහෙත් මා එක මතයක දැඩිව එල්බ ගෙන සිටි බව නම් සැබැවි. “මොන ජගතා” ඉදිරියේ වුව ද මගේ රටේ ජාතික කොඩියට අබමල් රේණුවක තරම් අපකීර්තියක් අත් නොවන්නට නොදෙන බව නම් මගේ ලේ මස් ඇට මිදුළු රිහිරිවලට කැවී තුබුණු බවත් මගේ සෙබළුන්ගෙන් එක්අයකුට හෝ සීරීමක් පවා නොවන්නට සහ උපකරණවලට අංශූමාත්‍රයක තරමේ හානියක් කිරීමට ඉඩ නොදෙමියි යන හැඟීම හදපත්ල හාරා ගොස් තිබූබවත් නොකියා බැරිය.
ඒ අවස්ථාව වන විට සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාවම යටත් කිරීමට තරම් ප්‍රමාණවත් සියලු ශක්තිය මාසතු බව මම ප්‍රත්‍යක්‍ෂ කර සිටියෙමි. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාව අපට පහර දුන්නා වී නම් පළමුවෙන්ම අනුරාධපුරය ඇල්ලීමට මම අණදී සිටියෙමි.
ඉන්පසු දෙවැනි පියවර වශයෙන් කොළඹය. මට ඒ සඳහා ගුවන් සහාය අවශ්‍ය වී තිබුණේය. මම මගේ ගුවන් හමුදා ප්‍රධානි “මෙහේරා“ඇමතුවෙමි. ඔහු මගේ පාසල් මිතුරාය. මට වඩා එක පංතියක් ඉහළය. ත්‍රීකුණාමලයත් යාපනයත් ඉලක්ක කර මට ගුවන් සහාය අවශ්‍ය බව කීවෙමි. කැන්බරා සහ හන්ටර් යන ප්‍රහාරක යානා දෙක සැපයීමට හෙතෙම “එකපයින්”කැමැත්ත පළ කෙළේය.
එහෙත් ඒ සූදානමත් සමගම ජනාධිපති ප්‍රේමදාසගේ හැලහොල්මනක් පවා නැතිවිය.
ඒ අතර වාරයේ පැවැති භාරත මැතිවරණයෙන් රජිව් ගාන්ධිගේ ආණ්ඩුව වැටී වී.පී. සිං අගමැති වශයෙන් දිවරුම් දුන්නේය. ඉන්පසු හෙතෙම සාම සාධක හමුදාව ආපසු කැඳවන්නට නියෝග කළේය.
මා ඇතුළු ඉන්දියානු සාම සාධක හමුදාවේ අවසාන සෙබළාත් 1990 මාර්තු 24 වැනි දින ශ්‍රීලංකා භූමියෙන් ඉවත්ව ගියෙමු.
උගත මනා පාඩම
වැදගත් වන්නේ ගැටුමක් ආරම්භ වන්නේ කෙසේද යන්න නොව, අවසන් වන්නේ කෙසේ ද යන්නය.
ගිවිසුම ආත්සාත්කර ගැනීම උදෙසා සාමාන්‍ය වැසියා පත්වන අසහනකාරී පීඩාව ගැන තැකීමක් නොවිණි. බොහෝ ගැටුම්වලට පාදක වු දේශපාලනයම විසඳුමට ද පාදක වූවේමය. රටක වැසියන්ගේ ගැටලුවකට විසඳුම එරටින්ම සොයනු මිස බැහැරින් සෙවිය නොහේ. යමකට ඇතුළු වීමට සැලසුම් සැකසීමට පෙර ඉන් බැහැර වන්නේ කෙසේද යන්න ගැන සැලසුම් සකස් කළ යුතුය.
සිද්ධිමාලාව අරබයා ඉන්දීය විදේශ කටයුතු ලේකම් සේවයෙන් පහ කරනු ලැබිණි. ඊට ටික කලකට පසුව හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කරනු ලැබුවේය.
ජර්මනියේ ප්‍රථම චාන්සලර්වරයා වූ ඔටෝ බිස්මාර්ක්ගේ අසුන ආසන්නයේ කාටත් පෙනෙන්නට පුවරුවක් තිබිණි.
“බොහා් දෙනා අත්දැකීම්වලින් උගනිති. එහෙත් මම අනුන්ගේ අත්දැකීම්වලින් උගනිමි” යන්න එහි සඳහන්වැ තුබුණේය.
චන්ද්‍රසේන මාරසිංහ










