සන්නිවේදනය කියලා කියන්නේ අද වෙනකොට ලෝකෙට නැතිවම බැරි දෙයක්. ලෝකය පුරාම මිනිසුන් විවිධ මාධ්‍ය ඔස්සේ සන්නිවේදනය කරනවා. ඒ අතර අද වෙනකොට සන්නිවේදනය ව්‍යාපාරයක් බවට පත්වෙලා ඉවරයි. හැබැයි ඒක අද වෙච්ච දෙයක් නෙමෙයි. ලෝකයේ සන්නිවේදනය පිළිබඳ තීරණාත්මක අවධි දෙකක් ගැන සන්නිවේදන පර්යේෂකයෝ සඳහන් කරනවා. ඉන් එකක් කාර්මික විප්ලවය. අනෙක පළමුවැනි සහ දෙවැනි ලෝක යුද්ධ. මේ සමයෙ තමයි සන්නිවේදනය අද මේ තියෙන තැන දක්වා දියුණු වෙන්නට බලපාන ලද බොහෝ විශේෂ දේ සිදුවෙන්නෙ. විශේෂයෙන්ම අද වෙනකොට භාවිත වන සන්නිවේදන උපකරණ විශාල ප්‍රමාණයක් මූලික අදියර වශයෙන් නිර්මාණය වෙන්නේ මේ කාලේ. ඒත් ඒ කාලේ ගැන සඳහන් කරන සන්නිවේදන පර්යේෂකයෝ කියන කාරණාවක් තමයි බොහෝ විට සන්නිවේදනය ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන්ගේ අතකොළුවක් බවට පත්වුණු බව. මේ තත්ත්වය ඉතා නරක අතට හැරෙන බව 1982 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානයත් හඳුනාගෙන තිබෙනවා.
ඒ නිසාම ඔවුන් ගෘන්වල්ට් ප්‍රකාශනය නමැති විශේෂ ප්‍රකාශනයක් ඔස්සේ සඳහන් කරනවා ලංකාව ඇතුළු නම් කළ රටවලට සන්නිවේදනය පිළිබඳ අධ්‍යාපනය පෙර පාසල් අවධියේ සිටම ලබාදිය යුතුයි කියලා. ඔවුන් එහෙම කියන්නේ ලංකාව ඇතුළු ඒ රටවල සන්නිවේදන ආයතන ඉතා ඉක්මනින් පිස්සු කෙළින්නට නියමිත බව ඉවෙන් වගේ දැනිලා.
හැබැයි යුනෙස්කෝ සංවිධානය 1982 කිව්වට ඒ කියපු දේ අහන්න කලබල වුණේ නෑ. ලංකාවේ සන්නිවේදන අධ්‍යාපනය පටන් ගන්නේ 2006 අවුරුද්දේ. ඒ මුලින්ම 10 වසරට. 2007දී 11 වසරටත්, 2008 දී 12 වසරටත් හඳුන්වා දෙන මේ සන්නිවේදනය පිළිබඳ අධ්‍යාපනය අද වෙනකොට නම් ඉතා සරුවට කෙරීගෙන යනවා. ඒත් තවමත් සන්නිවේදන ආයතන වැඩකරන විදිය අපට තේරුම්ගන්නවත් බෑ. සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය විෂය ඉගෙනගත් අයට විතරක් නෙවෙයි ඒ ගැන හාංකවිසියක්වත් නොදන්නා මිනිසුන්ටත් තේරෙන අවම සදාචාරය කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒක විෂයකින් හෝ ආගමිකයන් ඉගැන්විය යුතු නැති දෙයක්. ඒකම මනුස්සයෙක් වෙලා ඉපදුනාට පස්සේ මනුස්සයා සහජයෙන්ම දැනගන්න දෙයක්. ඒ නිසා මේ වෙනකොට ලංකාවේ මාධ්‍ය ආයතන වැඩකරන විදිය හරිද වැරැදිද කියන එක කරන්න ඔබ සන්නිවේදනය පිළිබඳ විශේෂවේදී දැනුමක් තියෙන පුද්ගලයකු වියයුතු නෑ. ඒත් එදා 1982 අවුරුද්දේ UNESCO සංවිධානය කියපු දේ අද වෙනකොට හරියටම දැනෙන්නෙ සාත්තරයක් කිව්ව වගේ.
මොකද අද වෙනකොට මාධ්‍ය ආයතන රට බරපතළ විපතකට පත් කරලා ඉවරයි. ඒ තමන්ගේ ව්‍යාපාරය ලාභ ඉපැයීමේ පරමාර්ථය පමණක් අද පදනම් කරගත් එකක් බව රටට කියාපාමින්. ඒත් අවාසනාවකට අපේ රටේ ජීවත්වන බොහෝ දෙනකුට ඒක තේරෙන්නෙ නෑ .හුඟක් හිතන්නේ තමන් කැමැති දේශපාලන කණ්ඩායමකට සහාය දැක්වූ පමණින් ඒ මාධ්‍ය ආයතනය ගෞරවනීය මාධ්‍ය සේවයක් කරගෙන යනවා කියලා. ඒ නිසා අප රටේ බොහෝ දෙනෙක් තමන් කැමැති දේශපාලන පක්ෂය පදනම් කරගෙන තමන් කැමැති නාලිකාවක් මේ වෙනකොට තෝරාගෙන ඉවරයි. තමන් අකැමැති දේශපාලන දර්ශනයට බරපතළ ලෙස පහර එල්ලකරන නාළිකාව, ඒ නාළිකාවෙන් කැපීපෙනෙන සන්නිවේදකයෝ ඉතාම විශිෂ්ට මිනිස්සු කියලා හිතන්න අපි තීරණය කරලා ඉවරයි. ඒ බව ඉතාම හොඳින් අවබෝධ කරගත්ත මාධ්‍ය ආයතනවල හිමිකාරයෝ සහ මාධ්‍ය ආයතනවල සන්නිවේදකයෝ අද වෙනකොට තමන්ගේ ලැජ්ජා බය දෙක පවා පැත්තක තියලා මහ පොළොව නුහුලන තරමේ බොරු ප්‍රචාර කරමින් ඉන්නවා.
එහෙම කරන්නෙ නෑ කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් ඔබට උදාහරණ කීපයක් කියන්නම්.
ඉන් එකක් වෙන්නෙ 2015 අවුරුද්දෙ ඉතාම තීරණාත්මක දවසක් වන ජනවාරි මාසෙ ජනාධිපතිවරණය දා. ලංකාවෙ ප්‍රධානතම රාජ්‍ය නාලිකාවක දහවල් ප්‍රවෘත්ති විකාශය අතරතුරේ ඔවුන් කියනවා සජිත් ප්‍රේමදාස මහතා එදා බලයේ සිටි පිල සමග එකතු වීමට තීරණය කළා කියලා. මේ ජනාධිපතිවරණය වෙලාවෙ කරපු වරදට දඬුවමක් ලැබුණත් ඒක ක්‍රියාත්මක වෙන්නෙ ඊළග වතාවෙ කලින් බලය තිබුණු අයට බලය ලැබෙන කල් විතරයි. ඊට පස්සෙ ඔහු ආපහු වැඩට එන්නෙ තමන්ගෙ රට ජාතිය වෙනුවෙන් මරාගෙන මැරෙන්න ගිය අභීත සෙන්පතියෙක් වගේ. ඒ නිසා හෙටත් සිය දිවි පරදුවට තියලා ලැජ්ජාව බය පැත්තකින් දාලා මේ වගේ බොරු කියන්න සන්නිවේදකයො බය නැතිව වැඩ කරනවා.
මීටත් වඩා අදහන්න බැරි බොරුවක් කියපු නාලිකාවක් තියෙනවා. එයාලා සම්මාන පිට සම්මාන ගන්නවා. කිසිම විදියකින් වරද නිවැරදි නොකරගන්න තරමට ඔවුන් ලැජ්ජා නැතිකම ලොකුයි කියලයි අපිට නම් හිතෙන්නෙ.
මේ කට්ටිය තමයි ‘කැලණි නයා’ නාට්‍යය සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය දැරුවෙ. කටට දිවට නොගෑවී බොරු කියපු පට්ට කපටි සෙට් එකක් පෙන්වමින් මේ අය හොද්දට ලුණු ඇඹුල් රම්පෙ කරපිංච කාරිය එකතු කළා.
ඒ අය විලිසංගෙ නැතිව ‘බ්‍රේකින් නිවුස්’වලින් නිතරම කිව්වා නයා ගැන. මේ නයා සම්බන්ධ ප්‍රවෘත්තිය සාමාන්‍ය මනුස්සයෙක්ට පවා විශ්වාස කරන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි.
“වතුර දෙබෑ කරගෙන නයෙක් ආවා…”
“ඒ නාගයා කටින් කරඬුවක් අරගෙන ආවා…”
වගේ පට්ට අසත්‍ය මේ මිනිස්සු කිසිම ප්‍රශ්නකිරීමකින් තොරව පිළිගත්තා වගේම ඒ ගැන ලැජ්ජා බය නැතිව රටටම කිව්වා. මිනිස්සු හැම වෙලාවකම වගේ දාන විශේෂණ පදයත් එක්ක මේ කතාව පිළිගත්තා.
“ tv එකෙත් කිව්වෙ. බොරු වෙන්න බෑ” කියලා. ඒත් මහ පොළොවෙ කවදාවත් ඇත්ත වෙන්න බැරි සුරංගනා කතාවක් රටේ ප්‍රධානතම රූපවාහි නාලිකාවක බ්‍රේකින් නිවුස්වලට කියන තැනට අපේ රටේ මාධ්‍ය පහත්ම අඩියට වැටුණා.
ඒ අතර මේ වගේම තවත් සුරංගනා කතාවක් ඒ නාලිකාවම රටට කිව්වා. ඒ තමයි පැණි ගෙනා දේව දූතයාගේ කතාව. ඒකෙන් වෙච්ච හානිය කලින් එකට වැඩිය ඉතාම වැඩියි. රටේ මිනිසුන්ව ගොනාට අන්දන එක දේශපාලනයත් එක්ක කොහොම වෙතත් ලෙඩක් දුකක් එක්ක කරන එක අතිශය පහත් වැඩක්. ඒ මට්ටමටත් මේ සමහර මාධ්‍ය ආයතන වැටුණා. ඒක එහෙම වුණේ කාගෙ වුවමනාවටද කියන එක ගැන නිශ්චිත අදහසක් අපිට නැති වුණත්, කාගෙ හෝ වුවමනාවකට ඒක එහෙම වෙච්ච හැටි නම් අපි පැහැදිලිවම දැක්කා. ලෝකයේ ඕනෑම රටක මාධ්‍ය ආයතනයක් යම් කිසි බෙහෙතක් ගැන කරුණු කාරණා වාර්තා කරනවා නම් එහිදී පවත්වාගෙන යායුතු සදාචාරාත්මක මට්ටමක් තියෙනවා. ඒත් ඒක ගැනවත් නොහිතන තරමට මේ ආයතනවල ලොකු පුටුවල ඉන්න අය ‘මාධ්‍ය’ කියන එක දෙකේ කොලේට දාලා තියෙන විදිය දැක්කම මාධ්‍යවේදීන් විදියට අපට දැනෙන්නෙ ලැජ්ජාව මුසු කලකිරීමක්.
හැබැයි ඒ සියල්ලම ඉක්මවා යන විදියෙ අප්‍රසන්න හැඟීමක් අපට තව විදියකට දැනෙමින් තියෙනවා. ඒ ප්‍රධානතම නාලිකාවල කොවිඩ් සම්බන්ධයෙන් වාර්තා කරන විදිය දැක්කම. මුල් කාළේ බොහොමයක් නාලිකා කලේ තමන්ට ඕනෑ ඕනෑ විදියට මිනිසුන්ට පෙන්නපු එක. ලෙඩ වුණු මිනිස්සු වගේම නිරෝධායනයට පිටත් වෙලා යන අයවත් කෙළින්ම ගිහිල්ලා වීඩියෝ කළා. ඔවුන්ව එක්ක ගෙන ගියෙ පොලීසිය නැත්නම් ඡ්‍යෂලා වෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නෙ. එහෙම නැත්නම් ඔවුන්ට මේ නිශ්චිත ඉසව්ව දැනගන්න ලැබෙන්නෙ නෑ. ඒ වෙලාවෙ තමන්ව රූපගත කරන්න එපා කියලා කෙළින්ම කියන්න තරම් මේ මිනිසුන්ට හයියක් තිබ්බෙ නෑ. මොකද ඔවුන් උන්නෙ ඉතාම බරපතළ මානසික අර්බුදයකට මුහුණ දීලා. එහෙම තත්ත්වයක් තියාගෙන මේ වගේ දේවල් ගැන අවධානය යොමුකරන්න ඔවුන්ට පුළුවන්කමක් නෑ. ඒත් මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට මේ ගැන අවම දැනුමක් හෝ තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද ලෝකයේ කිසිම මාධ්‍ය රීතියක ‘රෝගීන්ව හෝ රෝගීන්ව හඳුනාගත හැකි මට්ටමේ සාධක’ රූපගත කරන්න හෝ ඒවා විකාශය කරන්න කියලා සඳහන් වෙලා ඇති කියලා අපි හිතන්නෙ නෑ. ඒත් අපේ රටේ මාධ්‍ය ආයතන කිසිම ලැජ්ජාවකින් බයකින් තොරව ඒක කළා. මාස්ක් රහිතව හිටපු මිනිසුන්ව හතර දෙනෙක්ව ඇවිල්ලා උස්සාගෙන යන වෙලාවෙත් ඒක රූපගත කරලා මාධ්‍ය ආයතනවලට දෙන්න කටයුතු කරලා තිබුණා.
මේ විදියට එකින් එක විස්තර කරන්න ගියොත් මේ වගේ සිදුවීම් සිය දහස් ගාණක් තියෙනවා. බාර්වල පෝලිමේ ඉන්න මිනිසුන්ව වීඩියෝ කරලා පෙන්නලා මාධ්‍ය ආයතන ගත්ත ආතල් එක, රටේ ලොකු පුටුවල ඉන්න එවුන්ගෙ තුට්ටු දෙකේ වැඩ විවේචනය කරලා ගත්ත නම් කොච්චර හොඳඳ කියලා අපට නං හිතෙන්නෙ. මොකද සමහර වෙලාවට පොලීසිය කරන්න ඕනෙ රාජකාරිය අද කරන්නෙ සමහරක් එඩ නාලිකා. මුහුදෙදි ගිනිගත්ත නැවට අදාළ සිදුවීමේදිත් සැකකාරයො අත්තඩංගුවට ගන්න පාවිච්චි කරන්නෙ මාධ්‍ය ආයතන විසින් පටිගත කරන ලද රූප රාමු. ඒ විදියට ගත්තම පොලීසිය කරන්න ඕනෙ වැඩෙත් කරන්නෙ ලංකාවෙ මාධ්‍ය ආයතන නම්, ලංකාවෙ මාධ්‍ය වගකීම කරන්න භාරදෙන්නෙ කාටද?
ජීවන පහන් තිළිණ










