මීට දින දෙකකට පමණ පෙර කොවිඩ් 19 වෛරසයට අදාළව තවත් විකෘති ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙන අතර එය මේ වනවිට ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, බ්‍රිතාන්‍ය සහ තවත් යුරෝපා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එම ප්‍රභේදය දැනට ලංකාවේ ව්‍යාප්ත වෙමින් තිබෙන බ්‍රිතාන්‍ය ප්‍රභේදයටත් වඩා තවත් 15%කින් පමණ ප්‍රබල බවත් ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ ආචාර්ය සංජය පෙරේරා අනාවරණය කළේය.
ඒ සම්බන්ධයෙන් අද (08) මාධ්‍ය හමුවේ ආචාර්ය සංජය පෙරේරා මෙසේ අදහස් දැක්වීය.
මේ වන විට ඉන්දියාවේ කොවිඩ් මරණ ඉහළ යාමට මෙම නව වෛරස ප්‍රභේදය බලපා ඇති බවට විශේෂඥයින් මත පළකර තිබෙනවා. ඒ සම්බන්ධ දත්ත රැස්කිරීම මේ වනවිට සිදුවනවා.
මෙය ඉතා සැලකිය යුතු කාරණයක්. ඉන්දුනීසියාව වැනි කොවිඩ් දැඩිව පාලනය කළ රටකටත් එම වෛරසය ඇතුළු වූයේ නම් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන බලධාරීන් වඩා සැලකිලිමත් විය යුතු වනවා.
දැනට පවතින තත්ත්වය හමුවේ එම වෛරසය ශ්‍රී ලංකාවටත් ඇතුළු වුවහොත් එය සෞඛ්‍ය පද්ධතියට කිසි ලෙසකින්වත් දරාගැනීමට හැකි වන එකක් නෑ.
”මෙවැනි කාරණා වලදී රජයට පමණක් සම්පූර්ණ වගකීම ගන්න බැහැ.ජනතාවත් වගකීමෙන් 50%ක් ගන්න ඕනේ. මම කියන්නේ නැහැ රටම ලොක් ඩවුන් කරන්න කියල. රටේ ආර්ථිකයත් එක්ක ඒක එහෙම කරන්න බැහැ. ගුවන් තොටුපොළවල් සම්බන්ධයෙන් වුණත් වහන්න කියනවා නෙවෙයි වැඩපිළිවෙලක් හදන්න වෙයි නැවත. මොකද නව විකෘති ප්‍රභේදය ඉන්දියාවේ පමණක් නෙවෙයි එංගලන්තයේ පවා තිබෙනවා.
ඒ වගේම තමයි දැනට ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවතින වෛරසයට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙන චීනයේ සයිනෝෆාම් එන්නතද ඇතුළුව හොඳ ආරක්ෂාවක් ලබා දෙන බව තහවුරු වෙලා තිබෙන්නේ. දැන් මේ නව වෛරස ප්‍රභේදයට දැනට තිබෙන එන්නත්වල බලපෑම ගැනත් දත්ත රැස්කරමින් තිබෙනවා.”










