කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩි. එච් රෝහලේ ප්රතිකාර ලබමින් සිටි මාලඹේ, ගෝනවත්ත ප්රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් ඊයේ (03) මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 86 ,94 අඹුසැමි යුවළ සහ වයස අවුරුදු 82 කාන්තාවක්ය.
මියගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්රීවරයෙක් වන අතර ඔහුගේ බිරිඳ විශ්රාමික හෙදියකි.
මියගිය අනෙක් වයෝවෘද්ධ කාන්තාව මියගිය අඹු-සැමි යුවළගේ දියණියගේ සැමියාගේ මව බව පොලීසිය කියයි.
ඉකුත් 22 දින මොවුන් තිදෙනා අයි ඩි එච් රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර පසුගිය 03 වනදා ඔවුන් තිදෙනාම මියගොස් තිබිණි.
මියගිය අඹුසැමි යුවළගේ දියණිය හා ඇයගේ සැමියා මෙන්ම පුතණුවන් ද කොරෝනා වෛරසය ආසාදිතව මුල්ලේරියාව රෝහලේ ප්රතිකාර ලබන බව පොලිසිය කියයි.
මියගිය තිදෙනාගේ අවසන් කටයුතු මුල්ලේරියාව ආදාහනාගාරයේ දී සිදුකර තිබූ බව පොලිසිය කියයි.










