කොවිඩ් 19 අවදානම හේතුවෙන් පසුගිය 2020 වසරේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට ඉඩ කඩක් අපේ රටේ ජනතාවට ලැබුණේ නැත. ඒ හේතුවෙන්දෝ මේ වසරේ අලුත් අවුරුද්ද සැමරීමට වෙනදාටත් වඩා වැඩි උනන්දුවක් ජනතාව තුළ ඇති වූ තිබුණු ආකාරය දැක ගත හැකි විය. එම උනන්දුව කෙතරම් බලවත් වීද යත්, පාස්කු ප්‍රහාරය සිදුවූ 2019 වසරේ අප්‍රේල් 21 වැනිදාට පසු කොළඹ නගරයේ වැඩිම රථ වාහන තදබදය දක්නට ලැබුණේ පසුගිය අප්‍රේල් 09 වැනි දිනය. රෙදි පිළි සඳහා ප්‍රසිද්ධ මහරගම පමුණුව ප්‍රදේශය අප්‍රේල් මාසයේ මුල් දින කිහිපයේම ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි. සැබවින්ම පසුගිය සිංහල හින්දු අවුරුද සමයේදී බොහෝ දෙනෙකු හැසිරුණේ රට තුළ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති ආකාරයෙනි. වසරකට අධික කාලයක් ලෝකයම වෙළාගෙන තිබුණු කොවිඩ් 19 වසංගතයේ අවදානම කිසිවෙකු මායිම් නොකළ බවක්ද දැක ගත හැකි විය.
අලුත් අවුරුදු සමයෙන් පසු රට තුළ කොවිඩ් අවදානම නැවත වරක් හිස එසවිය හැකි බවට බොහෝ දෙනා අනතුරු ඇඟවූවද කිසිවෙකුට එහි බරපතළක් දැනුණේද නැත. නමුත් දැන් ඒ අනාවැකි සත්‍ය වෙමින් ඇත. රට තුළ බරපතළ කොවිඩ් අවදානමක් නිර්මාණය වෙමින් ඇති බවක් පෙනෙන්නට ඇත.
ඒ බව පැහැදිලිව තහවුරු වන්නේ පසුගිය දින කිහිපයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ සලකා බැලීමේදීය. පසුගිය අප්‍රේල් 19 වැනිදා පමණක් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 604 දෙනෙකු වාර්තා විය. ඒ පසුගිය මාර්තු මාසයට පසු මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණනය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව පසුගිය 20 වැනිදා දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 367 දෙනකු වාර්තා වී තිබිණි. ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ ගණන 97,472 දක්වා ඉහළ ගොස් තිබුණු අතර පසුගිය 21 වැනිදා වන විට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන දැක්වුණේ 620ක් ලෙසිනි.
සංඛ්‍යාත්මක අතින් ඉතාම අවදානම් තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබුණද, ජනතාව තුළ ඒ පිළිබඳ නිසි වැටහීමක් නොමැති වීම මත එහි බරපතළ බව තවත් වැඩි වී ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරතිබුණේ මේ හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉන්දියාව හා සමාන වීමටද ඉඩ ඇති බවය. එමෙන්ම කොළඹ, යාපනය, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවල මේ වන විට දැඩි අවදානමක් මතු වී ඇති බවද සඳහන් කළ රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වන විට පහළ දමා ඇති දෛනික පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් 10,000 දක්වාවත් ඉහළ දැමිය යුතු බවය.
මේ අතර මාධ්‍යයට අදහස් දැක්වූ කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාද සඳහන් කළේ ඉදිරි දින කිහිපය ඉතාම තීරණාත්මක වනු ඇති බවය. ඉදිරි දින කිහිපයේදී මුව ආවරණ පැලඳීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවද පෙන්වා දුන් හමුදාපතිවරයා මුව ආවරණ නොමැතිව එළියට නොඑන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය. එමෙන්ම එහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනට පවතින තත්ත්වය මත එක්වරම රෝගීන් ප්‍රමාණය වැඩි වුවහොත් ඉදිරියේදී රට විවෘතව තැබීම පවා අවදානම් වනු ඇති බවය. රෝගීන් ප්‍රමාණය එකවරම වැඩිවුවහොත් එම ප්‍රදේශ නිසැකවම හුදෙකළා කිරීමට කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
කොවිඩ් ආසාදිතයන් වැඩිවීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද අදහස් දක්වා තිබුණු අතර එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් කිරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය. තරුණ ප්‍රජාවට කොවිඩ් ආසාදනය වීම බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා ඒ හේතුවෙන් වෙනදා නොතිබුණු ප්‍රභේදයක් රට තුළට පැමිණ ඇද්දැයි සැකයක් නිර්මාණය වී ඇති බවද සඳහන් කළේය. ඒ බව සොයා බැලීම සඳහා මේ වන විට පරීක්ෂණද ආරම්භ කර ඇත.
මෙවර කොවිඩ් 19 වෛරසයේ පැතිරී යාම පිළිබඳව අප තවදුරටත් විමසිලමත් විය යුත්තේ එය ලෝකය පුරා පැතිර ගොස් ඇති ආකාරය දෙස බැලීමේදීය. වෛරසය ඉතා සීග්‍රයෙන් පැතිරී යාම හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ දිල්ලි අගනුවර සතියක කාලයකට වසා දමා ඇත. ඒ පසුගිය ඉරිදා දිනයේදී පමණක් එරටින් කොවිඩ් ආසාදිතයින් 224,462ක් වාර්තා වීමත් සමඟිනි. ඉන්දියාවේ වැඩිම ජනගහනය ජීවත් වන ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයද මේ වන විට කොවිඩ් අවදානම හමුවේ දැඩි පීඩාවකට පත් වී ඇත.
කොවිඩ් වසංගතයේ පළමු රැල්ලෙන් එතරම් පීඩා නොවිඳි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට පසුගිය අප්‍රේල් මාසයේදී ඇරඹි දෙවැනි රැල්ලෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත. මේ වන විට එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 191,000 ඉක්මවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත් එරට අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරන්නේ එම ප්‍රමාණය ඊට වඩා බොහෝ සෙයින් වැඩිවිය හැකි බවය.
ඉන්දියාවේ පමණක් නොව තවත් රටවල බොහොමයකට නැවත වරක් කොවිඩ් වෛරසයේ බලපෑම ඉතා තදින් දැනෙන බවක් පෙනෙන්නට ඇත. කැනඩාවේ දෛනික මරණ සංඛ්‍යාව මේ වන විට 1000 ඉක්මවන තත්ත්වයකට පත් වී ඇති අතර ඒ හේතුවෙන් එරට ඇතුළත සහ පිටත ගුවන් ගමන් තහනම් කර ඇත.
කාලයක් පුරා කොවිඩ් අවදානමට තදින් ගොදුරු වූ බ්‍රසීලයේ දෛනික මරණ සංඛ්‍යාව මේ වන විට වාර්තා වන්නේ 4100ක් ලෙසිනි. එක්සත් රාජධානිය නැවත වරක් මාසයක කාල සීමාවක් සඳහා වසා දැමීමට එරට රජය තීරණය කර ඇත. ජර්මනිය සති 4ක කාලයකට අගුළු දමා ඇති අතර ප්‍රංශය සති 2ක කාලයක් සඳහා අගුළු දමා ඇත. කොවිඩ් අවදානම පිළිබඳ අදහස් දක්වමින් ස්පාඤ්ඤ රජයද රටවාසීන්ට අනතුරු අඟවා ඇත්තේ කොයි මොහොතක හෝ රට තුළ හදිසි නීතිය පැනවීමට ඉඩකඩ ඇති බවටය. ටැන්සානියාවද සම්පූර්ණයෙන්ම අවහිර කර ඇති අතර සවුදි අරාබියේද ගුවන් ගමන් සීමා කර ඇත.
ලෝකයේ තත්ත්වය ඒ ආකාරයෙන් බරපතළ වද්දී නැවත වරක් මෙරට කොවිඩ් වැළැක්වීම පිළිබඳ නීති රීති තද කිරීමට කොවිඩ් වැළැක්වීම පිළිබඳ විශේෂ කාර්යසාධන බලකාය තීරණය කළේය. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම කමිටුව නිවේදනය කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ඒ සඳහා තීන්දු 09ක් ගැනීමට කටයුතු කර ඇති බවය.
පෙනී යන ආකාරයට තත්ත්වය ඉතාමත් බරපතළය. ඉදිරි සති දෙක තුන තුළදී මේ තත්ත්වය තවත් බැරෑරුම් වනු ඇති බව නිසැකය. ශ්‍රීලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අප කළ විමසීමකදී අදහස් දැක්වූ වෛද්‍ය මහාචාර්ය නාමල් ලියනගේ මහතා සඳහන් කළේ රජය කටයුතු කළ ආකාරය පමණක් නොව ජනතාවගේ හැසිරීමද මේ තත්ත්වය මේ ආකාරයෙන් වැඩිවීමට හේතු වූ බවය.
“ඇත්තටම මේ තත්ත්වය ඇති වෙන්න හේතු කිහිපයක්ම බලපෑවා. පළමු කාරණය තමයි අපේ රටේ මිනිසුන්ට කොවිඩ් කියන එක ගානක් නැති වුණා. පසුගිය අලුත් අවුරුදු සමයේදී බොහෝ දෙනා ඒ විදියට තමයි හැසිරුණේ. කොරෝනා කියන එකෙන් ඇති වැඩක් නැහැ කියන මතය තමයි ජනතාව තුළ ඇති වෙලා තිබුණේ. මේ අවුරුද්දේ අලුත් අවුරුදු උත්සව තිබුණු විදිය දැකලා ඇත්තටම මම පුදුම වුණා. ඒ අවස්ථාවල කවුරුත් සමාජ දුරස්ථභාවය රැක ගන්නවා අපි දැක්කේ නැහැ.
ඊළඟ කාරණය තමයි පරීක්ෂණ අඩු වීම. මම දන්න විදියට අලුත් අවුරුද්දට කලින් අපේ රටේ දිනකට කරන පරීක්ෂණ සංඛ්‍යාව 3000ට විතර අඩු වුණා. පරීක්ෂණ අඩු වීම හරහා ආසාදිතයන් හමුවෙන එක අඩු වුණා. කොවිඩ් පිළිබඳ ජනතාවගේ තිබුණු අවධානය අඩු වෙන්න ඒකත් බලපෑවා. මොකද මිනිස්සු කාලයක් පුරා ලොකු පීඩනයක හිටියේ. ලැබුණු අවස්ථාවෙන් ඒක පිට කළා. ඒවට කිසිම අවහිරතා තිබුණේ නැහැ. කාර්යාලවලත් බොහෝ දුරට සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වුණේ නැහැ. අනිත් දේ තමයි එන්නත් කිරීම. ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ලංකාවේ එන්නත් කිරීම සිදුවෙලා තියෙන්නේ ඉතාම අඩුවෙන්. මේ සියලු කරුණු කාරණා තමයි මේ තත්ත්වය ඇති වෙන්න බලපෑවේ.”
වෛද්‍යවරයා අදහස් දැක්වූයේ එසේය.
මේ කරුණු කෙතරම් සත්‍ය දැයි ඔබට ඔබ හා සසඳා බැලිය හැක. හිතට එකඟව කතා කළහොත් මේ තරම් බරපතළ තත්ත්වයක් රට තුළ නැවත ඇති වීමට ඔබ අප සියලු දෙනා වග කිව යුතු යැයි එවිට ඔබට තේරුම් යනු ඇත. දැන් වුණු දේ සිදු වී අවසන්ය. නමුත් ඉදිරිය වෙනුවෙන් තවදුරටත් ආරක්ෂා වීමට අපට අවස්ථාව ඇත. දැන් එළැඹ ඇත්තේ තීරණාත්මක ඒ මොහොතය.
චන්දන පොන්නම්පෙරුම










