මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ නීතියට පටහැනි ආකාරයෙන් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සිදුවන්නේ දැයි සොයා බලා මේ මස 09 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.
මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ සිදුවන නීති විරෝධී ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් අද (03) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කෙරුණි.
එම පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එය සලකා බැලීම සඳහා මාර්තු මස 30 වනදා කැඳවන ලෙසද විනිසුරු මඬුල්ල නියම කළේය.
එම පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම් හා සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බව සඳහන් කළේය.










