මුළු ලෝකයක්ම ශ්‍රී ලංකාව කෙරෙහි අවධානයට යොමු කරමින් 2019 අප්‍රේල් 21 වෙනිදා එල්ලවුණු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය අද වන විට බොහෝ දෙනා හදුන්වන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය ලෙසිනි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා ඉන්දියානු බුද්ධි අංශවලින් අනතුරු පවා ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම හේතුවෙන් පැවැති යහපාලන ආණ්ඩුව පවා බිඳ වැටීමට මුල් විය. වැරදුණු තැන් සොයන්නට එවකට සිටි ජනාධිපති ත්‍රී පුද්ගල කමිටුවක් පවා මුලින් පත්කරනු ලැබීය. එම කමිටුව නම් කෙරෙන්නේ මලල්ගොඩ කමිටුව ලෙසිනි. අනතුරුව එම කමිටුවට අභියෝග කරමින් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පවා පත්කරනු ලැබීය. මළල්ගොඩ කමිටුවත්, තේරීම්කාරක සභාවත් කෙරෙහි ජනතා විශ්වාසය එතරම් නොවීය. ඒ නිසාම මෛත්‍රීපාල ජනාධිපතිවරයාට සිදුවන්නේ පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත්කරන්නටය. එවකට අභියාචනාධිකරණ විනිසුරුවරයෙක්ව සිටි ජනක්ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල එම කොමිසම ක්‍රියාත්මක වන්නේ 2019 සැත්තැම්බර් මාසයේ සිටය. වැඩිකල් නොයා රටේ ජනතාවගේ විශ්වාසයක්ද කොමිසම කෙරෙහි යොමුවන්නට විය. ඒ බව මෙරට කතෝලික ජනතාවගේ නායකයා වන මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් විටෙන් විට කරන ලද ප්‍රකාශවලින්ද තහවුරු විය. උන් වහන්සේ දිගින් දිගටම ඉල්ලා සිටියේ සාධාරණයක්ය. ඒ මෙම ප්‍රහාරය පිටුපස සිටින සැබෑ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන ලෙසටය.
එය හිතන තරම් පහසු කටයුත්තක් නොවීය. ජනතාව විශ්වාස කළේ කොමිසම සත්‍ය හෙළිකරනු ඇතැයි කියාය. ඒ වෙනුවෙන් කොමිසම දිවා-රෑ නොබලා වෙහෙසක් ගත් බවක්ද ජනතාවට පෙනී ගියේ මැදියම් රැය පහව යන තුරුද සාක්ෂි විමසීම් සිදුවනු දැකීමෙනි. මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ මෙම කොමිසම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාද ඉදිරියට පත්වත්වාගෙන යන්නේ පාස්කු කොමිසම හුදෙක් දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන තවත් එක් කොමිසමක් නොවූ බැවිනි. විටෙන් විට කොමිසමේ කාලය පවා දීර්ඝ කරනු ලබන්නේත් අවශ්‍ය පහසුකම් කොමිසමට ලබාදෙන්නේත් එබැවිනි. සිව්වරක්ම කාලය දීර්ඝ වෙමින් වසරකට වැඩි කාලයක් තිස්සේ සාක්ෂි විභාග කළ කොමිසමේ කාලය අවසන් වන්නේ අද (31) දවසිනි. මේ කාලය තුළ කොමිසමේ පොලිස් විමර්ශකයන් පුද්ගලයින් 1588 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් පාස්කු ප්‍රහාරයේ සැඟවුණු තොරතුරු හෙළිකර ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය. පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්දුමරුදු නිවසක් තුළදී බෝම්බ පුපුරවාගෙන සියදිවි හානිකරගත් බව කියැවුණු මරාගෙන මැරුණු බෝම්බකරුවෙකුගේ බිරිද වන සාරා නැමැත්තිය එම පිපිරුමෙන් මියගොස් නැති බව හෙළිකර ගන්නේද කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය විසිනි. කියැවෙන ආකාරයට අනුව ඇය දැන් සිටින්නේ යැයි කියන්නේ ඉන්දියාවේය.
එසේම සිංහල බෞද්ධ කාන්තාවන් වඳභාවයට පත්කළේ යැයි චෝදනා එල්ලවුණු කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ෂාෆි සහබ්දීන් සම්බන්ධයෙන්ද කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කළේය. එහෙත් එම පරීක්ෂණය අවසන් කරන්නට ඉඩක් නොලැබෙන්නේ කොමිසමේ කාලය අවසන් වූ බැවිනි. ෂාෆි සහබ්දීන්ගෙන් කොමිසමේ පොලිස් විමර්ශන අංශය විසින් ප්‍රකාශ පවා සටහන් කර ගත්තද ඔහුගෙන් කොමිසම සාක්ෂි විමසීමක් කළේ නැත. එහෙත් ඔහුව අත්අඩංගුවට ගැනීමට මුල්වුණු එවකට කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි කිත්සිරි ජයලත්ගෙන් සහ පොලිස් අධිකාරී දිසානායකගෙන් නම් කොමිසම සාක්ෂි ලබා ගත්තේය. මේ අකාරයට කොමිසම විසින් ලබාගෙන ඇති සාක්ෂි ප්‍රමාණය 457කි.
අවසාන සාක්ෂිය පාස්කු ප්‍රහාරය සිදුවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගෙනි. බන්ධනාගාරගතව සිටින ඔහුගෙන් කොමිසම සාක්ෂි ලබා ගන්නේ කොළඹ ජාතික රෝහලේ 42වැනි වාට්ටුවේ විශේෂ කාමරයක සිටය. ඒ ඔහු හෘද රෝගී තත්වයකට රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටින බැවිනි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු විමර්ශන සිදුවූයේ ශානි අබේසේකරගේ අධීක්ෂණයෙනි. එබැවින් ඔහුගේ සාක්ෂිය ඉතා වැදගත් සාක්ෂියකි. ඒ නිසාම කොයි කාගේත් විශේෂ අවධානයක් ඔහුගේ සාක්ෂියට යොමු විය. ශානි අබේසේකර සිය සාක්ෂි ලබාදීම අවසන් කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. ඒ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු බව කියන සහරාන්ව මෙහෙයැවූයේ කවුරුන්දැයි අදටත් අභිරහසක් බව සඳහන් කරමිනි. ශානි අබේසේකර පවසන්නේ පාස්කු ප්‍රහාරයට අයි.එස්. සම්බන්ධයක් ඝෘජුව ඇතැයි විමර්ශනවලින් අනාවරණය නොවූ බවකි.
“ප්‍රශ්නාර්ථ ගොඩාක් තියෙනවා. එකක් ලෝකයේ කිසිම ත්‍රස්ත ප්‍රහාරයකදී ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියගිහින් නැහැ. නායකයා කරන්නේ අනුගාමිකයන් ප්‍රහාරය සඳහා මෙහෙයවීමක්. අනුගාමිකයන් තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මැරෙන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් සහරාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස මියයෑම. මොකද අපේ විමර්ශනවලදී මේ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ලෙස හඳුනාගත්තේ සහරාන්ව. ඒක නිසා වෙනත් අදෘශ්‍යමාන හස්තයක් තිබුණාද, කිසියම් කෙනෙක් හෝ පාර්ශ්වයක් සහරාන්වත් මෙහෙව්වාද? කියන එක මටත් ප්‍රශ්නයක්,” ශානි අබේසේකර සිය සාක්ෂිය අවසන් කරන්නේ එසේය.
මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මෙන්ම සමස්ත කතෝලික ජනතාව පාස්කු කොමිසම හරහා බලාපොරොත්තු වූයේද සහරාන් පිටුපස සිටි බලවේගය කවුරුන්දැයි අනාවරණය කර ඒ අය නීතිය ඉදිරියට ගෙන ඒවි යැයි කියාය. කොමිසම මෙතෙක් කාලයක් වෙහෙසුණේද ඒ අරමුණ වෙනුවෙනි. කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයද සහරාන් පිටුපස තිබුණු බලවේගයන් හඳුනා ගන්නට දැඩි වෙහෙසක් ගත්තේය. ඒ උත්සහය කොතරම් සාර්ථක වී දැයි දැනගන්නට හැකිවන්නේ කොමිසන් සභා වාර්තාවෙන් පමණි. මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවා කොමිසම කෙරෙහි දැඩි බලාපොරොත්තු සහගතව සිටියේ එකී අභිරහස කොමිසම විසින් විසඳනු ඇතැයි කියාය. ඒ එම ප්‍රහාර මාලාවෙන් මිය ගිය වැඩි දෙනෙක් කතෝලික ජනතාව වූ බැවිනි. උන් වහන්සේ වරෙක සංවේදී වෙමිනුත් තවත් වරෙක රැඩිකල් වෙමිනුත් ඉල්ලා සිටියේ සාධාරණයයි. කොමිසම හමුවේද උණ්වහන්සේ සාක්ෂි ලබාදෙමින් ඉල්ලා සිටියේද එම සාධාරණයයි. උන් වහන්සේද බලා සිටින්නේ හෙට දිනයේ කොමිසන් සභා වාර්තාව මගින් සාධාරණය ඉටුවී ඇති අයුරු දකින්නටය.
මේ අතර මහර බන්ධනාගාරයේ ගැටුම සිදුවන විට එහි ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර පාලන අධිකාරිය තීරණය කළේය. ඒ කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් බාහිර අමුත්තන්ගෙන් බන්ධනාගාර රැඳවූවන්ට ආහාර ලබාදීම අත්හිටුවා තිබියදී ඔහු විසින් රැඳවූවෙක්ට ආහාර පාර්සලයක් ලබාදීමට අවසර ලබාදීම හා එම ආහාර පාර්සලයේ ජංගම දුරකථන දෙකක් තිබී සොයා ගැනීම මුල්කරගෙනය. මහර බන්ධනාගාරයේ ගැටුම සිදුවන විට එහි අධිකාරීවරයා ලෙසද සේවයේ නිරතව සිටියේ ඔහුය. ගැටුම සිදුවන විට ඔහු බන්ධනාගාර පරීශ්‍රෙය් රැදී සිට නැති බවටද තොරතුරු විමර්ශනවලින් හෙළිවී තිබුණි. එහෙත් ඔහු මුල් අවස්ථාවේදී ප්‍රකාශ කර තිබුණේ ගැටුම හටගන්නා විට ඔහු බන්ධනාගාර පරිශ්‍රයේ රැඳී සිටි බවය. ඒ සම්බන්ධයෙන්ද ඔහු සම්බන්ධයෙන් යම් විමර්ශනයක් බන්ධනාගාර බලධාරීන් විසින් පවත්වමින් තිබුණි. එසේම බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනවලින් හෙළිවූ ඇතැම් කරුණු මුල්කර ගනිමින් ඔහු ඇතුලු නිලධාරීන් කණ්ඩායමකටම ස්ථාන මාරුවීම්ද ලැබී තිබුණේය. ඒ අනුව ජගත් වීරසිංහට ස්ථාන මාරුවීම ලැබෙන්නේ බන්ධනාගාර මූලස්ථානයේ පුහුණු පාසල වෙතය. වැඩ තහනමට ඔහු ලක්වන්නේ එහි සේවයේ නිරතව සිටියදීය. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රදවා සිටින දකුණේ පාතාල ප්‍රබලයෙක් වන පොඩි ලැසී නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් හෙළිකරන තොරතුරක් මත වැඩි කල් නොගොස් බන්ධනාගාරයේ ඉහළ නිලධාරීයෙක් අත්අඩංගුවට පත්වනු ඇත. ඒ අම්බලන්ගොඩ කුලීගොඩ දී වෙඩි තබා ඝාතනය කෙරුණු තිළිණ රුවන් ජයරත්න නම් වූ බන්ධනාගාර ජේලර්වරයාගේ ඝාතනය සම්බන්ධයෙනි. බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වූ තිලිණ ජයරත්න ඝාතනය වන විට පොඩි ලැසී සිටින්නේ ගාල්ල බන්ධනාගාරයේ රඳවාය. එම ඝාතනය ඔහු විසින් කරවනු ලබන්නේ බන්ධනාගාරයේ සිට දුරකතනයෙන් සිය ගෝලයින් මෙහෙයවාය. එම ඝාතනයෙන් දින කිහිපයකට පසු වෙඩික්කරුවාව ඩුබායි රටට පැන්නවීමටද ලැසියා වග බලාගෙන තිබුණේය. ලැසියා යොදා එම ඝාතනය කරවූයේ යැයි එකල කියැවුණේ බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකි. ඒ එම උසස් නිලධාරියාගේ දූෂණ ක්‍රියා ප්‍රධාන ජේලර් තිළිණ රුවන් හෙළිකිරීම හේතුවෙන් පළිගැනීමක් ලෙසටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින පොඩි ලැසියාගෙන් ඒ ගැන කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ඔහු සියල්ල වමාරා ඇත්තේ මරණ බිය දැනෙන්නට ගත් නිසාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයින් මේ වන විට සිටින්නේ පොඩි ලැසියා හෙළිකළ අදාල බන්ධනාගාර නිලධාරියාට එරෙහිව ඇති සාක්ෂි රැස්කරමිණි. ඔහුව අත්අඩංගුවට ගැනෙන්නේ අනතුරුවය.
රුවන් වෙඩිවර්ධන










