අවම වශයෙන් ජනවාරි 06 වන දින සිට වාසුදේව නානායක්කාර අමාත්‍යතුමන් හමුවුනු සියලු දෙනාට ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස අමාත්‍යතුමා ඉල්ලා සිටින බව ඔහුගේ මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා වෛද්‍ය උපදෙස් මත සායනික පරීක්ෂණ සඳහා යොමුකර සිටින බවත්, දැනට රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක නේවාසිකව පසුවන අමාත්‍යතුමා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ජනවාරි මස 09 වන දින පැවති උණ රෝගී තත්ත්වය සහ ශාරීරික අපහසුතාවය හේතුවෙන් වෛද්‍ය විශේෂඥ උපදෙස් මත PCR පරීක්ෂණයකට යොමු වීමෙන් අනතුරුව වාසුදේව අමාත්‍යවරයාට කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇතැයි තහවුරු වී ඇත.
දිවයිනේ නන් දෙසින් ආගමික වතාවත් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා සිදුකරන මහා සංඝරත්නය, පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාට සහ හිතවතුන්ට අමාත්‍යවරයාගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනු ලබන බවද එම නිවේදනයේ දැක්වේ.










