උදා වූ 2021 වසරේදී ශ්‍රී ලංකා 20-20 ජාතික කණ්ඩායමේ නිත්‍ය නායකත්වය දසුන් ශානකට හිමි වීමේ වැඩි ඉඩකඩක් පවතින බව දැනගන්නට ඇත.
මේ වන විට 20-20 ජාතික කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගය.
අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගි වූයේ 2020 වසරේ මාර්තු මාසයේදී වන අතර එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තරග දෙකෙන්ම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.
ඉන් අනතුරුව මේ දක්වා කිසිදු ආකාරයක ක්‍රිකට් තරගාවලියක් සඳහා ලසිත් මාලිංග සහභාගි වී නැති නමුත් පසුගියදා පැවැති එල්. පී. එල්. තරගාවලියේදී දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ නායකයා ලෙස කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට දසුන් ශානක සමත් විය.
මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට ආසන්නයේ සිටීමත්, අනාගත ආයෝජනයක් වන දසුන් ශානක විශිට දක්ෂතා පෙන්වමින් සිටීමත් මත ඉදිරියේදී 20-20 නායකත්වය ඔහුට හිමි වීමේ වැඩි ඉඩක් නිර්මාණය වී තිබෙන නමුත් ලසිත් මාලිංග සතු දේශපාලන හිතවත්කම් මත මේ තීරණය වෙනස් විය හැකි බවක්ද දැන ගන්නට ඇත.
මීට පෙර පසුගිය 2019 වසරේදී පාකිස්තානය සමඟ එරටදී පැවැති 20-20 තරගාවලියේ නායකයා ලෙසද දසුන් ශානක කටයුතු කළ අතර තරග තුනකින් යුතු වූ එම තරගාවලියේ සියලුම තරග ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.










