තමන් ඉදිරිපත් කළේ යැයි කියන කැබිනට් පත්‍රිකාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කළ බවට ඇතැම් මාධ්‍ය පළ කොට ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.
‘Cross Country Pipeline Project නමින් හඳුන්වන නව තෙල් නළ එලීමේ ව්‍යාපෘතියක් මා ආරම්භ කළ බවත් රුපියල් බිලියන 15ක් වැනි දැවැන්ත මුදලක් ඊට නාස්ති කරන හෙයින් ජනාධිපතිතුමා විසින් ඒ ව්‍යාපෘතිය නැවැත්වීමට මට නියෝග කළ බවට එක් පුවත්පතක් වාර්තා කර තිබුණා. මම ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඇමති මණ්ඩලයේ දැඩි විරෝධය හමුවේ ජනාධිපතිතුමා විසින් එකී ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් වාර්තා කර තිබුණා . මේ සියල්ලම බොරු.
තෙල් නල එලීමේ ව්‍යාපෘතිය පිළිබඳ මම ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වීමට නම් මම ඒ පිළිබඳ පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ඕනෑ. මුලින්ම කියන්න ඕනි මෙම ව්‍යාපෘතිය පිළිබඳ මම කිසිම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නෑ. ඒ නිසාම මාගේ පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වෙලත් නෑ. මේ ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ 2019 සැප්තැම්බර් 18 දින කබීර් හෂීම් ඇමතිතුමා. ඒ වගේම ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් බිලියන 9.6ක් මිස බිලියන 15ක් නොවේ. තෙල් නළ එලීමේ ව්‍යාපෘතිය පිළිබඳ ඇමති මණ්ඩල පත්‍රිකාවක් මම කිසිම දිනක ඉදිරිපත් කළේ නෑ. ඒ නිසාම එවැනි පත්‍රිකාවක් ඇමති මණ්ඩලය අත්හිටෙව්වෙත් නෑ. ඒ වගේම කබීර් ඇමතිතුමා ඉදිරිපත් කළ ඇමති මණ්ඩල පත්‍රිකාව අනුව ව්‍යාපෘතියේ වටිනාකම රු බිලියන 9.6ක් මිස බිලියන 15ක් නොවේ. දැන් බොරු තුනයි.
මී ළඟට මේ ව්‍යාපෘතිය නවත්වන්න කියා ජනාධිපතිතුමා මට නියෝග කලාලු. ජනාධිපතිතුමා මේ ව්‍යාපෘතිය නැවැත්වීමට නියෝග කරනවා තබා මේ ව්‍යාපෘතිය පිළිබඳ කිසිම දිනක කිසිම දෙයක් මා සමග කතා කරලා නෑ. ඒ වගේම ඇමති මණ්ඩල තීන්දුවක් ජනාධිපති නියෝගයකින් නවත්වන්න බෑ කියා එතුමා හොඳින්ම දන්නවා.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් නැතිව. ඉංජිනේරු ඇස්තමේන්තුවක් නැතුව. ඒ නිසා මේ ව්‍යාපෘතියට ඉංජිනේරු ඇස්තමේන්තුවක් සැකසීමටත් ව්‍යාපෘතිය ආයතනය තුළින් කිරීමේ ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනයක් කිරීමටත් මම ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තයට උපදෙස් දුන්නා. විදේශීය සමාගම් හරහා කුට්ටිය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අය කලබල වෙලා මාධ්‍ය හරහා බොරු වපුරන බව මෙයින් පැහැදිලියි.
මේ පිළිබඳ බොරු වාර්තා පළ කළ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට සහ මව්රට පුවත්පතට එරෙහිව මම රුපියල් බිලියනය බැගින් ඉල්ලා නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා.’ යනුවෙන් අමාත්‍යවරයා කීය.
කර්තෘ මණ්ඩල සටහන:
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මෙම ප්‍රවෘත්ති සාකච්ජාව පැවැත්වීමෙන් පසු අපද එකී පුවත සම්බන්ධයෙන් යළිත් සොයා බැලීමක නිරත වීමු. එහිදී අපටද තහවුරු වූයේ අදාළ කැබ්නට් පත්‍රිකාව ඉදිරිපත් කොට ඇත්තේ උදය ගම්මන්පිල මහතා විසින් නොව ඉකුත් ආණ්ඩුවේ සිටි අමාත්‍යවරයකු විසින් බවය.
ඒ අනුව උදය ගම්මන්පිල මහතා විසින් අදාළ කැබිනට් ප්‍රතිකාව ඉදිරිපත් කළ බවට එම පුවතේ පළව තිබීම අප අතින් සිදුවූ වරදකි. නැවත සොයා බැලීමේදී අපට තවදුරටත් අනාවරණය වූයේ එම යෝජනාව අදාළ ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට යාමේදී අත්හිටුවා ඇති බවකි. ඒ අනුව මෙම කැබිනට් පත්‍රිකාව උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද්දක් බව අප පුවත්පතේ සහ වෙබ් අඩවියේ පළවීම හේතුවෙන් ඒ මහතාට යම් අපහසුතාවක් සිදුවුණි නම් ඊට සමාව අයද සිටිමු.
එමෙන්ම මාධ්‍ය සදාචාරයට අනුගතව ලබන සතියේදී එහි නිවැරදි කිරීමක් මව්රට පුවත්පතේ පළ කිරීමටද අප සූදානම්ය.










