ලබන වසරේදි ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම නඟාසිටුවීමේ දැවැන්ත පෙරළිය සඳහා “ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” වැඩසටහන සමඟ උපරිම කැපවීමෙන් එක්වන්නැයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා දකුණු පළාත් දේශපාලන නායකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
අද (14) දින රුහුණු විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවති 2021 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ “ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහනේ දකුණු පළාත් කමිටු සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
වත්මන් රජය බලයට පත් වන විට රට ආර්ථික හා සමාජීය වශයෙන් දරුණු පසුබෑමකට ලක්ව සිටි බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව සහ ගම සමඟ පිළිසඳරක් වැඩසටහන තුළින් ලබාගත් මහජනතාවගේ යෝජනා සහ අදහස් මෙවර යෝජනාවලියට ඇතුළත්ව ඇති බව සඳහන් කළේය.
ඒ අනුව “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනේ දෙවන අදියර ලෙස “වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩපිළිවෙළ දියත් කිරීමට වත්මන් රජය කටයුතු කරන අතර පසුබෑමට ලක්ව තිබු රට නැවත සංවර්ධනය කරා රැගෙන යාමට බිම් මට්ටමේ සිට සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.
ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බැවින් එම මුදල් ඵලදායී ලෙස යොදාගැනීම සඳහා සංවර්ධන ව්‍යාපෘතීන් ප්‍රමුඛතාගත කර දිස්ත්‍රික් කමිටු වෙත ලබාදීමට කටයුතු කරන්නැයිද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,
“අපි බලාපොරොත්තු වෙන්නේ මෙවර මහජන නියෝජිතයින් , රජයේ නිලධාරීන්, ගමේ සිටින ප්‍රජා සංවිධානවල නියොජිතයින් ඒ වගේම අනෙකුත් සංවිධාන සහභාගී කරගෙන මෙම ග්‍රාමීය කමිටුවලට ඉදිරිපත් කරන ගමේ ජනතාවගේ යෝජනා තවදුරටත් විධිමත් ලෙස අධ්‍යනය කරමින් ඒවා ප්‍රමුඛතාගත කරන්නයි.
මෙවර අයවැයෙන් ග්‍රාමීය නිෂ්පාදන කර්මාන්ත දියුණුවට තවත් රුපියල් මිලියන 2000ක් වෙන්කර තිබෙනවා. මේ තුළින් කාන්තා ව්‍යවසායකයින් බිහිකර ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් වෙළඳසැල් ආරම්භ කරනවා. හැම ගමකට ම ගිහිල්ලා ගමේ ජනතාවගේ ඉල්ලීම් වලට සවන් දෙමින් ඔවුන් සහභාගී කරගෙන “වැඩ සමඟ යළි ගමට” වැඩසටහන ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි. මෙම අයවැය සැබැවින්ම ශ්‍රී ලාංකීය අනන්‍යතාවයන්ට, සංස්කෘතියට හා දේශිය නිෂ්පාදනය මුල් කරගත් අයවැයක් බවත් ඒ සඳහා පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් මැදිහත් වන ලෙස සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා.
මෙවර අයවැයෙන් අපි අධ්‍යාපනය සෞඛ්‍ය සහ සමාජ සුභසාධනය යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය ලබාදෙනවා. ගමට සන්නිවේදනය යටතේ අධිවේගි අන්තර්ජාල පහසුකම ගමට ලබාදීමට අපි කටයුතු කරනවා. ග්‍රාමීය පාසල් වල දුරස්ථ අධ්‍යාපන දියුණුවට තවත් මිලියන 3000ක් වෙන් කර තිබෙනවා. අපේ මේ වැඩසටහන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ඔවුන්ගේ සහය තුළින් ඵලදායී සංවර්ධන ඉලක්ක සපුරාගැනීම අපේ අරමුණයි.
කොවිඩ් – 19 පැතිරීමෙන් බිඳවැටීමට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම සඳහා සූදානම් විය යුතුයි. අපනයන ආදායමට පසු දේශිය ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදුන්නේ සංචාරක කාර්මාන්තය. ඒ නිසා අපි සංචාරක කර්මාන්තය සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව නැවත ආරම්භ කරන්න කටුයුතු කරනවා.”
මෙහිදි ආර්ථීකය නගාසිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ග්‍රාමීය මට්ටමෙන් ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ගම් 14,000ක ජනතාවගේ අදහස් හා යෝජනා ලබාගැනීමට කටයුතු කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන්නේය.
“ගම සමඟ පිළිසඳරක්” වැඩසටහන තවදුරටත් පුළුල් කර එහිදී නියෝජනය නොවූ පිරිස්වල සහ රාජ්‍ය නිලධාරින්ගේ සහයෝගය ලබාගැනීමට පළාත් මට්ටමින් දියත් කෙරෙන “වැඩ සමඟ යළි ගමට” වැඩසටහන් මාලාවේ පළමු රැස්වීම අද (2020.12.14) පවැත්වුණු අතර ලබන 21 වෙනිදා දක්වා මෙම රැස්වීම් පැවැත්වේ.
මෙම සාකච්ඡාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන්, දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරු, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වූහ.













