අද (29) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම හේතුවෙන් මහර බන්ධනාගාරයේ රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇත.
බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,
“බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම මත, බන්ධනාගාර නිලධාරීන් විසින් බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබෙනවා. එම බලය පාවිච්චි කිරිමේ දී එක් රැඳවියක් ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. තුවාල ලබා ඇති රැඳවියන් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා. විශේෂයෙන් බන්ධනාගාරයේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහය සඳහා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හා රාගම පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 5ක් එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා. එමෙන්ම විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්ඩායම් කිහිපයක් පිටත් කර යවා තිබෙනවා. බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තහවුරු කිරීමට එම පිරිස යොමු කරනවා.“










