ගෝඨාභය රාජපක්ෂ මැතිතුමව ජනාධිපති පුටුවට ගෙන ආ 19 වන ව්‍යවස්ථාව නැමැති සේද මාවතට එතුමාම ගල් ගසා විනාශ කර දැමීමට උත්සාහ කරන බවත්, එය සම්මත නොවන්නට එතුමාට සංසාරෙදිවත් මේ රටේ ජනාධිපතිවරයා හෝ ජනාධිපති අපේක්ෂකයකු හෝ වීමට නොහැකි බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සදහන් කර සිටී.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය වන්නේ අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට නොහැකි ආකාරයේ විකෘති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවද විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
පසුගිය මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටියේ 19 වන සංශෝධනයේ ඇති දුර්වලතා නිවැරදි කර ගැනීමට පමණක් බවත් ඉන් ඔබ්බට ගොස් අනාගතයේ නිවැරදි කරගන්නට බැරි විකෘති අංග විකල ව්‍යවස්ථාවක් සකසන්නට ජනතාව වරම් නොදුන් බව සිහි තබා ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඊයේ් (06) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
“රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දී ක්‍රියාත්මක කර ගැනීමට බැරි විකෘති අංගවිකල ව්‍යවස්ථාවක් බවට පත්වෙන සංශෝධනයක් තමයි 20 සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ 20 සංශෝධනය සම්මත වුණොත් වත්මන් ජනාධිපතිවරයාට ඉදිරි අවුරුදු 2ක 3ක කාලය තුළ “ජනාධිපතිධූරය නැමති බලවත් අසිපත මුවහත් කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ මුවහත් කරපු අසිපත ඔහුගෙන් පස්සේ, පත්වෙන ජනාධිපතිවරයාගේ අතට පත් වුණාට පස්සේ, ඒ අසිපතෙන්ම තමයි වර්ථමාන ජනාධිපතිතුමන්ගේ ගෙළ සිඳලන්නේ කියන එක තාම අපේ ආණ්ඩුව තේරුම් අරගෙන නෑ.“










