ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ලබාදී ඇති සමස්ත සහන සහ සංවර්ධන ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.5 සීමාව ඉක්මවා ගොස් ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. Sri Lanka Latest News
කොළඹදී පැවැති පාලි භාෂා අධ්‍යයනය පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා පෙන්වා දුන්නේ, මෙයින් ඇමරිකානු ඩොලර් මිලියන 850කට අධික ප්‍රමාණයක් පූර්ණ ප්‍රදානයන් (Grants) ලෙස ලබාදී ඇති බවයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ගොඩබිම් සහ දුම්රිය ප්‍රවාහනය, පුනර්ජනනීය බලශක්තිය මෙන්ම වරාය හා කාර්මික සංවර්ධනය දක්වා වූ පුළුල් පරාසයක මෙම ව්‍යාපෘති ව්‍යාප්තව පවතී.
අර්බුදයේ හදිසි හිතවතා සහ ආර්ථික බලපෑම
2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් නෙපෙරූ විරූ ආර්ථික බිඳවැටීම හමුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහන පදනම අවසන් වීමටත් පෙරම, ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට ඉන්දියාව කඩිනමින් පියවර ගත්තේය.
මෙම මැදිහත්වීම ශ්‍රී ලංකා ආර්ථිකයේ අත්‍යවශ්‍ය ආනයන අංශය සම්පූර්ණයෙන්ම අඩපණ වීම වැළැක්වූ අතර, පසුකාලීනව එය නුවරඑළිය, ත්‍රිකුණාමලය සහ උතුරු-නැගෙනහිර ප්‍රදේශවල බලශක්ති, යටිතල පහසුකම් සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ඉන්දීය ආයෝජන ගලා ඒමට ද පදනම සකස් කළේය.
භූ-දේශපාලනික බලපෑම සහ “Neighbourhood First”
නවදිල්ලියේ “Neighbourhood First” (පළමුව අසල්වැසියා) සහ “MAHASAGAR” ආරක්ෂක හා ආර්ථික දැක්මට අනුකූලව මෙම සහන ක්‍රියාත්මක වන බව ඉන්දීය පාර්ශ්වය ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, ඉන්දියානු සාගර කලාපයේ උපායමාර්ගික ආධිපත්‍යය උදෙසා පවතින බලපෑම් තරගය හමුවේ, කොළඹ පාලනය කෙරෙහි නවදිල්ලියේ ආර්ථික හා දේශපාලනික සෙවණැල්ල තදින් පතිත වී ඇති බව කලාපීය විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙමඟින් රැකියා උත්පාදනය සහ යටිතල පහසුකම් නැංවීම වැනි ක්ෂණික ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට හිමි වුවද, තනි රටක් මත ආර්ථික වශයෙන් අධික ලෙස රැඳී සිටීම මඟින් රටේ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියට එල්ල විය හැකි බලපෑම පිළිබඳව ද දේශපාලන හා ආර්ථික විචාරකයින්ගේ අවධානය යොමු වී ඇත.
ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය තුළ ඉන්දියාව ප්‍රධානතම පාර්ශවකරුවෙකු බවට පත්ව සිටින පසුබිමක, ජාතික නීතිමය සහ බදු විනිවිදභාවය සුරකිමින්, සසුනත්-සමාජයත් ආවරණය වන මෙම මහා ද්විපාර්ශ්වික සබඳතාව රටේ ස්වෛරීභාවයට හානියක් නොවන සේ පවත්වාගෙන යාම ශ්‍රී ලංකා රාජ්‍යයට ඉදිරියේදී පැවරෙන ප්‍රධාන අභියෝගයයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාව සෞඛ්‍ය, බලශක්ති සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල පමණක් නොව සංස්කෘතික හා ආගමික ක්ෂේත්‍රයන් දක්වා ද පුළුල් වී තිබේ. 2024 ඔක්තෝබර් මාසයේදී ඉන්දීය රජය විසින් පාලි භාෂාවට “සම්භාව්‍ය භාෂා” (Classical Language) තත්ත්වය පිරිනැමීමෙන් අනතුරුව, දෙරට අතර බෞද්ධ සංස්කෘතික හා ශාස්ත්‍රීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම පසුගිය දා ඇතිවූ ‘ඩිට්වා’ (Ditwah) සුළි සුළං ආපදා තත්ත්වයේදී ද ‘Sagar Bandhu’ මෙහෙයුම හරහා ක්ෂණික සහන සැලසීමට ඉන්දියාව කටයුතු කළේය.










