• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීගමුව හිර ගෙදර ගිනිගත්ත හැටි! ඉරිදා රෑ මොකද වුණේ? සඳුදා උදේ කවුද ආවේ? කවුද කාටද ගැහුවේ? කවුද වෙඩි තිබ්බේ? ඉස්පිරිතාලෙ කතාව! Sri Lanka Latest News

July 11, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
මීගමුව හිර ගෙදර ගිනිගත්ත හැටි! ඉරිදා රෑ මොකද වුණේ? සඳුදා උදේ කවුද ආවේ? කවුද කාටද ගැහුවේ? කවුද වෙඩි තිබ්බේ? ඉස්පිරිතාලෙ කතාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාත්‍රිය උදාවෙන්නේ මහ පොළොව නිවන්න. දවස තිස්සේ වෙහෙස වෙච්ච ඉර රෑ වෙනකොට මුහුදට බහිනවා. ඒත් ඉර බැහැලා ගියාට පස්සේ ඉර බැහැලා ගිය තැන අහසේ රතු පාට ලප කැළැල් තැන් තැන්වල ඉතුරු වෙනවා. හරියට ඈතට පේන්නේ ලේ සලකුණු වගේ. ඕනෙ නම් කෙනකුට කියන්න පුළුවන් අහසට වෙඩි තියලා ඉර හොරු අරන් ගිහිල්ලා කියලා. නැත්නම් තව කෙනකුට කියන්න පුළුවන් ඉර මරලා දාලා කියලා. අහසෙයි මුහුදෙයි හැමතැනම ගෑවිලා තියෙන්නේ මැරුණු ඉරේ ලේ සලකුණු කියලා. කොහොම වුණත් ඉර ආයෙ පහුවදා උදේ උපදිනවා.Sri Lanka Latest News

අහස කොච්චර රතු වුණත්, මුහුද කොච්චර රතු වුණත්, අහසයි මුහුදයි දෙකම එකට කලවම් වෙලා ඒ ලේ හරියට අතුණුබහන්වල කැටිති කැටිති විසිරෙන ලේ වගේ ඝනකමට ඈතට පෙනුණත්, පහුවදාට ඉර උපදිනවා. උපදින්නේ ලස්සන අහසක. ඒ අහස ළා නිල් පාටයි. ඒ ළා නිල් පාට පසුබිම් කරගෙන රිදී පාට ලස්සන ඉරි ඇඳිලා තියෙනවා. ඒ ඉරි අතරින් තමයි ඉර පායන්නේ.

ඉර පායන්න කලින් එන්නේ ඉරිමාව. ඉරිමා උදේ අහස පාළුයි. ඉඳහිට දවසක හඳ ගෙදර යන්න පරක්කු වෙලා අහසේ නතර වෙලා හිටියොත් අපිට හඳ බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඉරත් හඳත් දෙකම නැති වෙලාවට නිල් පාට මන්දස්මිති ආලෝකයක් එක්ක මහ පොළොවට පිනි වැහි වැටෙනවා. ඒ පිනි බින්දු මල් පෙති අග රැඳෙනවා. ඉර පෑව්වම ඒ පිනි බින්දු පේන්නේ හරියට මැණික් කැට වගේ. ඒත් ඇත්තටම ඒවා මැණික් කැට නෙමෙයි. මේ පිනි බින්දු එකතු කරලා මාලයක් හදාගන්න පුළුවන් නම් ඒක මේ ලෝකේ තියෙන වටිනාම මාලෙට වඩා ලස්සන වෙයි. ඒත් ඉර පායලා තත්පරයක්, දෙකක්, තුනක් යනකොට පිනි මල් එකින් එක අතුරුදන් වෙන්න පටන් ගන්නවා.

දවස තරුණ වෙනකොට ඉරට මහ පොළොවත් එක්ක හුරතල් වෙවී ඉන්න බෑ. මිනිස්සුත් තැන් තැන්වල තම තමන්ගේ වැඩරාජකාරි පටන් ගන්නවා. කලබලෙන් දුවනවා, බස් හෝන් ගහනවා, ළමයි ඉස්කෝලේ යනවා. පාරවල්වල තදබදය නිර්මාණය වෙනවා. කලර් ලයිට් ළඟ මිනිස්සු පොදි පොදි රංචු ගැහෙනවා. වේගෙන් වේගෙන් වේගෙන් දවස ගත වෙනවා. මම මේ කියන්නේ සාමාන්‍ය දවසක් ගැන. මේ ලිපිය පටන් ගන්න වෙන්නේ ඉරිදා හැන්දෑවෙන්. ඒ කියන්නේ අර මම කලින් කිව්ව ඉර මැරුණු වෙලාවෙන්.

හැම දේම වෙන්න වැඩි කාලයක් ගතවුණේ නෑ. අපි රෑ නිදාගත්තේ බන්ධනාගාර කලබලය ඉවරයි කියලා හිතාගෙන. ඒත් පහුවදාට එළිවෙලා වැඩි වෙලාවක් යන්නත් කලින් පණිවුඩයක් ආවා, ආයෙත් බන්ධනාගාර පැත්තේ කලබලයි කියලා. පත්තරකාරයෝ විදියට අපිට තියෙනවා උණක්. කලබලයක් ඇතිවෙනකොට එතැනට දුවගෙන යන. ප්‍රසංගවල ඉදිරි පුටුවල අපි මාධ්‍යවේදීන් විදියට පෙනී සිටින්නේ නැති වුණාට අපි මේ රටේ මාධ්‍යවේදී රාජකාරිය අපිට පුළුවන් උපරිමයෙන් ජීවිත අවදානම ගැනවත් නොසිතා සිදු කරන ලද අය. පස්සෙ වෙලාවක ඇවිල්ලා හිමින් සීරුවේ කතන්දරේ අහගෙන ගිහිල්ලා රඟලා ලියනවා වෙනුවට අපි ඇහෙන් දැක්ක දේ ඔබට කියන්නම්.

අපි යද්දිත් බන්ධනාගාරය අසල එකම එක මිනිස් පොදියක්. ඒ මිනිස්සු මොකක්දෝ එකකට පොරකනවා. කෑගහනවා. මගේ පුතා, මගේ අයියා, මගේ මාමා, මගේ තාත්තා, මගේ බාප්පා, මගේ සහෝදරයා, මගේ යාළුවා, සමහරු නම් ගම් කියලා කෑගහනවා. අඩේ මචං උඹ හොඳින්ද? උඹ ඉන්නවද? කියපන්, බලපන්, වරෙන්, පලයන්, බේරියන්, උන් උඹව මරයි. උන්ට ගහන්න ඕනේ, මරන්න ඕනේ කෑගහමින් සියලු දෙනා එක පොකුරට කෑගහනවා. එතැනට එන අය කවුද කින්ද මන්ද කොහෙන් ආපු අයද කියලා කවුරුත් බලන්නේ හොයන්නේ නැහැ. හැබැයි ඒ මිනිස්සුන්ට ඒ කෑගැහිල්ල, ඒ තැතිගැනිල්ල, ඒ වේදනාව, ඒ ඇඬිල්ල ඇර වෙන මොකක්වත් තිබුණේ නැහැ.

මට පුදුමයි ඒ මිනිස්සු ඔක්කොම එකතු නොවෙච්ච එක ගැන. ඒ මිනිස්සු ඔක්කොම එකතු වුණා නම් රැඳවියන්ට ඒ පැත්තෙ ඉඳන් දොර කඩන්න දෙයක් නෑ. මේ මිනිස්සුන්ටම මේ පැත්තෙ ඉඳන් දොර කඩන්න තිබුණා. රැඳවියන්ට වෙඩි තිබ්බට මේ මිනිස්සුන්ට වෙඩි තියන්න බෑ සහ වෙඩි තියන්නේ නෑ කියන විශ්වාසය මේ මිනිස්සු තුළ ගොඩනොනැගුණේ අතිශය වාසනාවකට. ඇත්තටම පළවෙනියෙන්ම බලධාරීන් අසමත් වුණේ මේ මිනිස් පොදිය එක තැනකට එකතු වෙන්න ඉඩ දුන්නු තැන. යම් හෙයකින් මේ මිනිස්සු එකතු වෙලා කවුරු හරි නායකත්වය දරලා මොකක් හරි දෙයක් කරන්න හිතුවා නම් මේ සිද්ධිය මීට වඩා අතිශය බරපතළ තත්ත්වයට පත්වෙන්න ඉඩ තිබුණා. මොකද ඔවුන්ට වෙඩි තැබීම කුමන මට්ටමකින්වත් සාධාරණීකරණය කරන්න බැරි වෙන නිසා.

අපි යන කොට සිද්ධිය බොහෝ වෙනස්. බන්ධනාගාරයේ ලී දොර ළඟ විශාල කලබලයක් තිබුණා. එස්.ටී.එෆ්. නිල ඇඳුම් සහිත නිලධාරීන් සිය ගණනක් එක පොදියකට පොරකමින් ඉන්නවා දැක්කා. දොර අසල කුමක් හෝ සිදුවෙනවා. දොර ඇරෙනවා, වැහෙනවා. සුදු කොට කලිසමක් ඇඳගත්තු පිරිමියෙක් එතැනින් එබිලා මොකක් හරි කිව්වා. ඒ කියනකොටම ඔහුට යකඩ බටයකින් හෝ ලී බටයකින් පහර දුන්නා එක්තරා නිලධාරියෙක්. ඔවුන් දොර වහගත්තා. ඉන් පස්සේ අපි දැක්කා දිගටම ඇතුළට බට දාලා අනිනවා, ගහනවා. සමහර වෙලාවට ඔවුන් දොර අරින්න උත්සාහ කරනවා, මේගොල්ලෝ ආයෙත් ගහනවා, ඒගොල්ලෝ ආයෙත් දොර අරින්න උත්සාහ කරනවා, මේගොල්ලෝ ගහනවා, මේ වගේ සිදුවීම් ටිකක් තිබ්බා.

කොහොම හරි අවසානෙට වෙන්නේ එක පාරටම බන්ධනාගාර නිලධාරියෙක් හෝ කුමන හෝ පුද්ගලයෙක්ගේ සිරුරක් දොරෙන් එළියට ඒම. ඒ සිරුර අපි හිතන විදියට නිරුවතින් තිබුණා කියලා විශ්වාස කරන්න පුළුවන්. ඔහුව ඔසවාගත්තු නිලධාරීන් ගමන් කරනවා ඉස්සරහට. ඉන් පස්සේ ආයෙත් දොර වැහෙනවා. ඉන් පස්සේ බන්ධනාගාර නිල ඇඳුම් සහිත නිලධාරියෙක්, ඔහු හොඳින් හිටියා යැයි විශ්වාස කරන්න පුළුවන් මට්ටමක කෙනෙක්. ඔහු කවුද ඔහුට සිදුවුණේ මොකක්ද අපි දන්නේ නෑ. ඉන් පස්සේ දිගින් දිගටම මේ බන්ධනාගාර නිලධාරීන්ගේ සිරුරු එළියට ලැබෙනවා ඇතුළෙන්. එතකොට එළියේ ඉන්න අය කෑගහනවා.

මේ කලබලය අස්සේ… ඇතුළේ වෙඩි ශබ්ද හෝ කුමන හෝ ශබ්ද කීපයක් ඇහෙනවා. ඒ ශබ්ද ගැන නිශ්චිතව කියන්න අදහසක් නෑ. ඒක ඇතුළෙන් ඇහුණා යැයි අපි විශ්වාස කරන්නේ. ඇතුළේ විශාල කලබලයක් කාලගෝට්ටියක්. එළියෙත් විශාල කලබලයක් කාලගෝට්ටියක්. කිසිවෙක්ට ළංවෙන්න යන්න එන්න යකඩ දොරෙන් ඇතුළට යන්න අවස්ථාවක් නෑ. මේ විදියට ඇම්බියුලන්ස් ඇවිල්ලා ඔවුන් අර බන්ධනාගාර නිලධාරීන් රැගෙන ගියා. ඔවුන් රැගෙන යන්න අර ලී දොර ගාවටම වාහන ගැනීමක් සිද්ධ වුණේ නැහැ.

ඒත් එක්කම අපි දකිනවා පළවෙනි දොර ඇරපු අවස්ථාවේදී එක්තරා නිලධාරියෙක් උඩින් කමිසයක් දාපු එක්කෙනෙක් අපි විශ්වාස කරන විදියට ඔහු කියන්නේ කලබල කරන්න එපා අපි ඒගොල්ලොත් එක්ක කතා කරමු වගේ දෙයක්. නමුත් ඒ අරින හැම වෙලාවෙම පහර දෙනවා ඇතුළේ ඉන්න අයට. ඒ නිසා සාමකාමී පරිසරයක් එතැන ආයෙත් නිර්මාණය වෙන්නේ නෑ. ඉන් පසුව තමයි අපි දකින නිලධාරියෙක් ඇවිල්ලා දොරේ කුඩා සිදුරෙන් ඇතුළට තුවක්කුව දාලා වෙඩි තියෙනවා. ඔහු එය කිහිප වතාවක් කරනවා. ඔහුට කවුරුත් සහාය දෙන්නෙත් නැහැ. ඒත් එක්කම තමයි දොර ඇරගන්න පුළුවන් වෙන්නේ. දොර ඇරගෙන එස්.ටී.එෆ්. නිලධාරීන් ඇතුළට යනවා.

අපි පසුව දැක්කා එහිදී දිවයන රූප කීපයක්. ඒ රූප අතර එක්තරා රූපයක් විශේෂයෙන් මේ මොහොතේ සමාජ මාධ්‍ය ඇතුළෙත් කතා වෙනවා. ඒ රූප අපි නැවත නැවත විශ්ලේෂණය කරලා බලද්දී අපිට පේනවා මෙන්න මේ ආකාරයට. එහි ඉන්නවා සුදු බැනියමක් ඇඳලා සුදු පාට ලේන්සුවක් ගැටගහගත්තු කෙනෙක්. ඔහුගේ එක අතක කළු පාට බටයක් වැනි යමක් තියෙනවා පේනවා. ඒ වගේම ඔහුගේ දකුණු අතේ යම් මිටක ස්වරූපයක් පේනවා. ඔහු අතේම තමයි මම හිතන්නේ ඒ දෙකම තියෙන්නේ. ඔහු දිවගෙන යනවා. ඔහු ඉදිරියෙන් යනවා කොළ පාට කලිසමක් සහ කළු පාටට හුරු ටීෂර්ට් එකක් ඇඳගත්තු කෙනෙක්. මේ යන්නේ අපි විශ්වාස කරන විදියට තුවක්කු රැගෙන යැයි සමාජ මාධ්‍යවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ පසුව විශ්ලේෂණය කරලා බලද්දී අපිටත් පේන්න ගත්තා ඒ තුවක්කු විය හැකි බව. අපි දන්නේ නැහැ බන්ධනාගාර නිලධාරීන් අතේ තිබුණු තුවක්කු ඔවුන් ගත්තාද? මොකක් වුණාද කියලා. තරු තුනක් සහිත නිලධාරියා ඇතුළු කණ්ඩායම එළියේ ඉද්දී එස්.ටී.එෆ්. නිලධාරීන් ඇතුළට ගමන් කරනවා. ඒත් එක්කම වෙඩි සද්ද ඇහෙනවා.

නිල් පාට කලිසමක් සහ ගුරු පාට කමිසයක් සහිත පුද්ගලයෙක් දොර අසලදීම වැටෙනවා අපිට පේනවා. ඉතින් මේ වෙඩිතැබීම් මේ දේවල් සියල්ල එකම නාට්‍යයක් බවට පත්වෙද්දී මුළු පැත්ත පළාතම හෙල්ලෙන්න මහා හඬින් මේ වටේ ඉන්න ඥාතීන් කෑගහන්න පටන් අරගන්නවා. ඔවුන් කියනවා මගෙත් පුතා, මගෙත් තාත්තා අනේ වෙඩි තියන්න එපා සර්, වඳින්නම්, අයියෝ එපා කියලා. නමුත් ඒ සියල්ලම ව්‍යර්ථ වෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපිට පේන්නේ නැහැ මේ නිලධාරීන් එකවර මේ තුළට ගමන් කරන ආකාරයක්. අපිට බන්ධනාගාරයේ සැකැස්ම ගැන අවබෝධයක් නැහැ. බන්ධනාගාර සැකැස්ම නිසා ඔවුන්ට එකවර ඇතුළට යන්න බැරිද කියන්න අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඔවුන් ඇතුළට යන්නේ නැහැ. ඔවුන් මේ දොර ආසන්නයේ රැඳී සිටිමින් වටේට වෙඩි තියනවා පේනවා. ඉන් පසුව 1990 ඇම්බියුලන්ස් එකක් ඇතුළු ඇම්බියුලන්ස් කීපයක් මේ ස්ථානයට එනවා. ඊට කලින් ලොරියක කුමන හෝ පිරිසක් පටවාගෙන යනවා ශ්‍රී ලංකා බන්ධනාගාරය කියලා සඳහන් කරපු. අර ඇම්බියුලන්ස්වලට මේ පුද්ගලයන්ව ගෙනල්ලා පටවනවා. සමහරු මියගිහිල්ලා කියන එක තේරෙනවා උස්සගෙන එන විදියෙන්ම. සමහරු හොඳින් එනවා, සමහරු ලේ වැගිරෙමින් එනවා, සමහරු කොට කලිසම් පිටින් එනවා. මේ ඔක්කොම දාගත්තු ඇම්බියුලන්ස් රථ එකින් එක ඉගිළෙන්න පටන් අරගන්නවා. මුළු මීගමුව නගරය දෙදරවමින් මේ සිදුවීම සිද්ධ වෙනවා.

මේ වෙද්දී දවස තරුණයි, දහවල උදාවෙලා. සියල්ල සිද්ධ වෙන්න ගතවෙලා තියෙන්නේ හෝරා කීපයක් විතරයි. ඒ වෙනකොටම ආරංචි වෙන්න පටන් අරගන්නවා මැරිලා කියලා පුද්ගලයන්. මැරිලලු, මරලලු, ඇතුළේදී මරලලු, වෙඩි තියලා මැරුවේ, ඔවුන් වෙඩි තිබ්බේ මුහුණු බලන්නේ නැතුව, වෙඩි තිබ්බේ හොයන්නේ නැතුව, වෙඩි තිබ්බේ ඉලක්ක කරලා කියන එක ඥාතීන් අතර කියැවෙන්න ගන්නවා. මීට අමතරව ඥාතීන් අතර ඇහුණු කතා බොහොමයක් තියෙනවා. කන්න දුන්නේ නැහැ, බොන්නවත් වතුර ටිකක් ඕකේ හරියට නැහැ. යන්න ටොයිලට් එකක් නැහැ, හැමෝටම ලෙඩ, ඩෙංගු හැදිලාලු, මිනිස්සු මාර පීඩනයක් විඳින්නේ, මිනිස්සු පව්. ඇයි මිනිස්සුන්ට මෙහෙම කරන්නේ, කාලකණ්ණි තොපිට හෙණ ගහනවා… මේ වගේ විවිධ වචන මේක ඇතුළේ ඇහෙනවා.

ඉතින් අපිට තියෙන එක්තරා ප්‍රශ්නයක් වෙන්නේ මේ විදියට මේ පුද්ගලයන්ට තිබුණු පීඩනය එළියට එන්නේ එකවරම. එහෙම නැතුව පීඩනය ගැන කිසිවෙක් කිසි තැනක කතා කළ බවක් සඳහන් වෙන්නේ නැහැ. දැන් බන්ධනාගාරය තුළ තියෙන මේ පීඩනය එළියට නොදී ඉන්න එකෙන් වෙන්නේ මේක පුපුරනකල්ම ඉවසගෙන හිටපු බව අපිට මේක ඇතුළේ ඇවිදිද්දී බලද්දී තේරිච්ච එකක්.

මේ කාරණය බන්ධනාගාරය තුළ ඉන්න රැඳවියන් විසින් කුමන හෝ විදියකට තමන්ගේ ඥාතීන්ට කියලා තියෙනවා. ඒ නිසා තමයි ඔවුන් මේක කියන්නේ. මොකද ඔවුන්ට ඒ වෙනකොටත් බන්ධනාගාර රැඳවියන් මුණගැහිලා නැහැ. රැඳවියන් සහ ඔවුන් අතර කතාබහ ඇති වෙලා නැහැ. ඔවුන්ට හොයාගන්න බැරිව යාම තමයි එතැන තියෙන ප්‍රශ්නය.

මේ පුද්ගලයන් අතර කියැවුණු කාරණය වෙන්නේ මේක ඊයේ රෑ ඉවර වුණා, ඇයි මේක උදේට අරගෙන ආවේ කියලා. ඉතින් අපි උත්සාහ කළා හොයලා බලන්න මේ දෙවැනි සිදුවීම මොකක්ද කියලා. පළමු සිදුවීම සුරේෂ් විසින් තමන්ගේ තොරතුරු ලබාදුන්නු පුද්ගලයෙක්ට සිද්ධ කරපු පහරදීම බව අපිට දැනගන්න ලැබුණා. මේ යට තියෙන කතාව මීට වඩා හරිම සංකීර්ණයි. ඒ කතාවෙ තොරතුරු භාගයක් දැනගෙන ඔබට කියන්න බැහැ. ඒ සියල්ලම කියැවෙන්නේ මේ ඥාතීන් අතර. එහෙම නැතුව මේ කිසිවක් කියැවෙන්නේ නැහැ විශේෂ නිලධාරීන් හෝ කවුරුත් හෝ අතර. ඉතින් අපි ඒ කතාව අහගෙන ඉද්දී අපට දැනගන්න ලැබුණා. ඒ වෙද්දි රෝහල අසල ඇතිවෙලා තියෙන කලබලය ගැන. අපි රෝහල අසලට යද්දී රෝහල අසල එකම එක කාලගෝට්ටියක් බවට පත්වෙලා තිබුණා.

මේ ලිපිය ලියන ලියුම්කරු විසින් පැහැදිලි කරන්න තියෙන කාරණා ටිකක් ඔබට පැහැදිලි කරන්නම්. මේ සිදුවීම පළමුවැනි දවසේ සිද්ධ වෙලා යම් සමථයකට පත්වෙලා යම් ගැටලුවක් අළු යට ගිනිපුපුරු වගේ තිබුණු තැනකට පිටස්තර නිලධාරීන් පිරිසක් යවලා ඔවුන්ගේ ජීවිත අවදානමේ දැම්මාද කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේදිත් කියැවුණා. ඒ වගේම ඔවුන් බන්ධනාගාරය තුළට ගිහිල්ලා යම් ගැටුමක් ඇති කරගත්තා නම් ඒක කොච්චර අමනෝඥ ක්‍රියාවක්ද කියන එකත් අපිට හිතෙනවා.

අපි මේ කියන්නේ අපිට දන්න තරමට සහ තේරෙන තරමට, අපි දැකපු අහපු තොරතුරුවල ප්‍රමාණවත් කරුණු ටිකක් නිශ්චය කරලා විතරයි. මේ තුළ සිද්ධ වෙච්ච බොහෝ දේ තවමත් කිසිවෙක් දන්නේ නැහැ. මේ පහරදීම්, මේ තැළුණු මුහුණු, මේ බරපතළ තුවාල සිදුවීම් ගැන අපිට අපැහැදිලියි. ඇතැම් නිලධාරීන්ගේ මුහුණේ වෙඩිවැදුණු ස්වරූපයක් පෙනෙන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ සම්බන්ධව සමාජ මාධ්‍යවල තියෙන කාරණා ලියන්න අපිට බැහැ. අපිට අවශ්‍ය වෙන්නේ සත්‍ය තොරතුරු.

වෙඩිතැබීම සිද්ධ වෙලා තියෙන්නේ ඉලක්ක කරලා කියන එක ඇතැම් මෘත ශරීර දකිද්දී අපිට හිතෙනවා. නමුත් ඒක අහම්බයක් ලෙස සිද්ධ වෙන්නත් බැරි නැහැ. කොහොම වුණත් දහවල් වෙනතුරු කිසිම නිශ්චිත තොරතුරක් බන්ධනාගාර රැඳවියන් පිළිබඳ මේ දහස් ගණනක් පොරකමින් ඉන්න මිනිස්සුන්ට ලබාදෙන්න කිසිම බලධාරියෙක් සමත් වුණේ නැහැ. ඔවුන් එක වෙලාවකදී රෝහල්ගත කරන පුද්ගලයන්ගේ නාමලේඛනයක් මීගමුවේ රෝහල ඉදිරිපිට අලවලා තිබුණා. එහි රතු පෑනෙන් ලියලා තිබුණා මේ ඉන්න අය බලන්න එන්න නම් බන්ධනාගාර ප්‍රධානියාගේ ලියුමක් අවශ්‍යයි කියලා. එහි නම් 34ක් වගේ ප්‍රමාණයක් තමයි මුලින් තිබ්බේ. පසුව ඒක දීර්ඝ කරලා තිබුණා.

ඒ වගේම රෝහල ඉදිරිපසත් විශාල කලබලයක් නිර්මාණය වුණා. මේ කලබලය සෑහෙන වෙලාවක් යනකොට ඉතාම වෙනස් ස්වරූපයක් ගත්තා. නමුත් ඔවුනුත් අර දොර කඩාගෙන ඇතුළට යන්න නෙමෙයි උත්සාහ කළේ. ඔවුන් උත්සාහ කළේ අවසර අරගෙන කතාබහ කරලා ඇතුළට යන්න ඉඩ දෙන්න කියලා ඉල්ලලා ඇතුළට යන්න. නමුත් ඒකට අවසර ලැබුණේ හවස පහත් පහුවුණාට පස්සේ දසදෙනා බැගින් ඇතුළට ගැනීමේ ක්‍රමයක් පොලිසිය මගින් හඳුන්වා දුන්නා. ඒ වෙද්දී ප්‍රශ්නය ඔඩුදුවලා දරුණු අතට හැරිලා තිබුණා. මේ රෝහලට එන අත්‍යාවශ්‍ය ඩෙංගු රෝගීන්ගේ ඥාතීන්ට පවා රෝහලට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදෙන්න තීරණය කිරීමත් එක්ක. ඒ අනුව මේක තවත් උණුසුම් අතට හැරෙන්න නියමිතව තිබුණා.

මේ බන්ධනාගාරය තුළ ඇහුණු වෙඩි තැබීම් හඬ සහ යම් කාලයක් ගතවෙලා, මේ සියල්ල සිද්ධ වුණාට පස්සෙත් වෙඩිතැබීම් හඬවල් කීපයක් ඇහුණු බව ඇතැම් ඥාතීන් විසින් කියන්න පටන් අරගත්තා. මේ ඥාතීන්ගේ කලබලය නිවා දමන්නට කිසිම බලධාරියෙක් නිශ්චිත උත්සාහයක් දරපු බවක් අපි දැක්කේ නැහැ. මේ අසමර්ථකම තමයි අපි දුටු නරකම සහ භයානකම තත්ත්වය. මොකද බන්ධනාගාරයෙන් තමන්ගේ ඥාතියා ඉන්නේ කොතැනද කියලා දැනගන්නයි මිනිස්සු ඇවිල්ලා හිටියේ. නැතුව ඒ මිනිස්සු ඇවිල්ලා හිටියේ කෑකෝ ගහන්නවත් රණ්ඩු වෙන්නවත් ගහගන්නවත් නෙමෙයි. හැබැයි බලධාරීන් තවමත්, මේ ලිපිය ලියන මොහොත වනතුරුත් එවැනි උත්සාහයක් සාර්ථකව සිද්ධ කරලා නැහැ. බන්ධනාගාරය තුළ සිදුකරන පාලනය කොයි තරම් අසාර්ථකද කියලා එල්ල වන චෝදනා, ඒ වගේම බන්ධනාගාරය කොච්චර නරක විදියට පාලනය කරනවා ඇතිද කියලා එල්ල වන චෝදනා අපිට පැහැදිලි වෙන්නේ මේ සිදුවීමේ අපි දැකපු දේවලුත් එක්ක. මොකද ඒකට හේතුව තමයි මේ මිනිස්සුන්ව බස්වල දාලා තැනින් තැනට යැව්වාට කාව යැව්වාද කොහේට යැව්වාද කොහොම යැව්වාද කියන තොරතුර තිබුණේ නැහැ.

හැම මනුස්සයෙක්ම ඇවිල්ලා කිව්වේ තමන්ගේ පුතාගේ දුවගේ නම. මගේ පුතා මෙන්න මෙයා. මගේ දරුවා මෙන්න මෙයා. මගේ ඥාතියා මෙන්න මෙයා. එයා දැන් කොහේද? එයා දැන් ඉන්නේ කොයි බන්ධනාගාරයේද? එයාට තුවාල වෙලාද? එයා මරලා දාලාද? එයාට මොකක්ද වෙලා තියෙන්නේ? මේ කිසිම දෙයක් සම්බන්ධව තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තොරතුරු ලබාගත්තා ඇර නිවැරදි තොරතුරක් දෙන්න මේ කිසිවෙක් සමත් වුණේ නැහැ. බොහෝ වෙලාවට සිද්ධ වුණේ සංදර්ශන විතරයි.

ලියුම්කරුවෙක් විදියට ඇසින් දුටු සාක්ෂි අනුව කියන කාරණයක් වෙන්නේ සමහර සිදුවීම් මීට වඩා පහළ තැනකදී නිමා කරගන්න තිබුණා කියන එක. සමහර දේවල් මෙච්චර දරුණු අතට නොහැරෙන්න ඉඩ තිබුණා කියන එක. සමහර පුද්ගලයන්ව මේ විදියට නොමැරී ජීවත් කරවා ගන්න තිබුණා කියන එක. රාත්‍රියේ දෙදෙනෙක් මියගියාට පස්සේ මේ සිද්ධියට සම්බන්ධයි සැක කරන පාර්ශ්ව දෙක එකිනෙකාගෙන් අයින් කරලා බන්ධනාගාරයෙන් එළියට අරගෙන ගියා නම් මේ සිද්ධිය සමහර විට ඒ රාත්‍රියේදීම නිමා වෙන්නත් තිබුණා.

ඒ වගේම පසු දින උදෑසන වෙනත් බන්ධනාගාර නිලධාරීන් මේ ස්ථානයට නොගිහින් හිටියා නම් සහ මේ ස්ථානයට ගිය බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය ගැන හොඳට දන්නා අය වුණා නම් සහ බන්ධනාගාර නිලධාරීන් විසින් මේ තත්ත්වය පාලනය කිරීම සම්බන්ධව පියවරක් අරගත්තා නම් මේ මරණ දෙකෙන් එහාට නොයන්න තිබුණා. බන්ධනාගාර නිලධාරීන් හත්දෙනාගේ මරණවලට බොහෝ අය වගකිව යුතුයි. ඒ අය මේ 2600කට ආසන්න ප්‍රමාණයක් දඬුවම් විඳිමින් ඉන්න, වැරදිකරුවන් ඉන්න, වැරදි කළ බවට සැක කරන අය ඉන්න ස්ථානයකට නිරාවරණය කරන්නේ කුමන කාරණාවක් මතද කියලා අපිට ප්‍රශ්නයක්.

පසුව හෙලිකොප්ටර් යානා දාලා ඇතුළේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා නිරීක්ෂණය කරලා වැඩක් නැහැ. අස්සයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහන සුපුරුදු ශ්‍රී ලාංකික පුරුද්ද තමයි අපි මේ වතාවෙත් දැක්කේ.

රෝහල ඉදිරිපස සිදුවීම ගැන ඔබට කියන්නම්. හවස තුන, තුනහමාර, හතර වෙනකොට රෝහල ඉදිරිපිට සම්පූර්ණයෙන්ම මහා ජනතාවගෙන් පිරී ඉතිරී යනවා. ඒ අය කෑගහන්න ගන්නවා. ඉල්ලන්න ගන්නවා. නමුත් හවස පහ පහහමාර වෙනකොට වේගයෙන් එන රථ පෙළක් ඇතුළු වෙනවා රෝහලට. ඒ රථ පෙළේ එන්නේ අමාත්‍යවරයා බව සඳහන් කරනවා. ඉන් පසුව තමයි දසදෙනා බැගින් රෝහල තුළට ගන්න මේගොල්ලෝ තීරණය කරන්නේ. රෝහලේ ඒ වෙනකොටත් මෘත ශරීර විසිහයක් තබා තිබෙන බව දැනගන්න ලැබෙනවා. බන්ධනාගාර නිලධාරීන් හත්දෙනාම මියගිහිල්ලා. ඉන් හයදෙනෙක් තමයි දහවල් කාලය වෙනවිට මියගොස් තිබුණේ. එක් අයෙක් මියයන්නේ රෝහලට ගෙනාවට පස්සේ.

බොහෝ රැඳවියන් රෝහලට ගෙනෙද්දීත් මියගොස් අවසානයි. ඔවුන් බරපතළ ලෙස තුවාල වෙලා මියගිහිල්ලා තිබුණු අය බව පැහැදිලිව පේනවා. බන්ධනාගාරයේ පහරදීම්වලින් මියයනවා කලින් දවසේ දෙදෙනෙක්. අනිත් අය පහරදීමෙන් මියගිය බවට පෙනෙන මෘත ශරීර නොවෙයි. අපි දන්නේ නැහැ ඔවුන්ට පහර දුන්නාද, ඔවුන් මියගියාද කියලා. අපි මේ කියන්නේ ඇසින් දුටු සහ මේ ස්ථානයේ සිට දැනගත්ත කාරණාව.

කොහොම නමුත් රාත්‍රිය වනකොටත් බන්ධනාගාරය අසල මහ ජනතාව රැඳී ඉන්නවා. නමුත් මහ රෑ වෙනතුරුත් නිවැරදි තොරතුරක් ලබාදෙන්න මේ නිලධාරීන් අසමත් වෙනවා. ඒ වගේම රෝහල තුළ ඉන්න බලධාරීන් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දුන් බව අපිට පැහැදිලියි. මොකද ඇත්තටම රෝහල තියෙන්නේ ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක. එවැනි තත්ත්වයකදී මෙවැනි ප්‍රශ්නයකට ඔවුන්ට උත්තර හොයන්න සිදුවීම හරිම නරකයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ප්‍රකාශනයේ-භාෂණයේ නිදහසට ඉඩක් නෑ! මේ ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩු ගිය පාරෙමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අවම ඝන පූර්ණය නෑ! අනීතිකයි! උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව යෝජනාවක් සම්මත කළ මහා සභා රැස්වීමට විරෝධය පාමින් අධිකරණ සේවා සංගමයේ සභාපති විනිසුරු පසන් අමරසේන තනතුරෙන් ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News

අවම ඝන පූර්ණය නෑ! අනීතිකයි! උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව යෝජනාවක් සම්මත කළ මහා සභා රැස්වීමට විරෝධය පාමින් අධිකරණ සේවා සංගමයේ සභාපති විනිසුරු පසන් අමරසේන තනතුරෙන් ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News
Exclusive

අවම ඝන පූර්ණය නෑ! අනීතිකයි! උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව යෝජනාවක් සම්මත කළ මහා සභා රැස්වීමට විරෝධය පාමින් අධිකරණ සේවා සංගමයේ සභාපති විනිසුරු පසන් අමරසේන තනතුරෙන් ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රකාශනයේ-භාෂණයේ නිදහසට ඉඩක් නෑ! මේ ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩු ගිය පාරෙමයි! VIDEO I Sri Lanka Latest News

CIDය ප්‍රියමාලිගේ ‘රන් පොලු’ පස්සේ පන්නයි!
Exclusive

ඩොලර් සංචිතත් වැටෙයි! රන් සංචිතත් වැටෙයි! මොකද්ද මේ වෙන්න යන්නේ..! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

දේශපාලන බලපෑම් වැඩියි! මාලිමාවට බලය හිමි රයිගම් උඩගහපත්තුව සමූපේ සභාපති ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

Load More
අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ! නාමල් රාජපක්ෂගෙන් ඇමැති හර්ෂණට ෂොට් එකක්!  I Sri Lanka Latest News

මට ආවේ එක ප්‍රශ්නයක් ඒ වෙලාවේ අධිකරණ ඇමති මේක දැක්කේ නැද්ද කියලා. මොකද අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ....

Read more
අවම ඝන පූර්ණය නෑ! අනීතිකයි! උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව යෝජනාවක් සම්මත කළ මහා සභා රැස්වීමට විරෝධය පාමින් අධිකරණ සේවා සංගමයේ සභාපති විනිසුරු පසන් අමරසේන තනතුරෙන් ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

අවම ඝන පූර්ණය නෑ! අනීතිකයි! උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව යෝජනාවක් සම්මත කළ මහා සභා රැස්වීමට විරෝධය පාමින් අධිකරණ සේවා සංගමයේ සභාපති විනිසුරු පසන් අමරසේන තනතුරෙන් ඉල්ලා අස්වෙයි! Sri Lanka Latest News

මීගමුව හිර ගෙදර ගිනිගත්ත හැටි! ඉරිදා රෑ මොකද වුණේ? සඳුදා උදේ කවුද ආවේ? කවුද කාටද ගැහුවේ? කවුද වෙඩි තිබ්බේ? ඉස්පිරිතාලෙ කතාව! Sri Lanka Latest News

මීගමුව හිර ගෙදර ගිනිගත්ත හැටි! ඉරිදා රෑ මොකද වුණේ? සඳුදා උදේ කවුද ආවේ? කවුද කාටද ගැහුවේ? කවුද වෙඩි තිබ්බේ? ඉස්පිරිතාලෙ කතාව! Sri Lanka Latest News

පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News

ප්‍රකාශනයේ-භාෂණයේ නිදහසට ඉඩක් නෑ! මේ ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩු ගිය පාරෙමයි! VIDEO I Sri Lanka Latest News

CIDය ප්‍රියමාලිගේ ‘රන් පොලු’ පස්සේ පන්නයි!

ඩොලර් සංචිතත් වැටෙයි! රන් සංචිතත් වැටෙයි! මොකද්ද මේ වෙන්න යන්නේ..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.