බස්නාහිර පළාතේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඉඩමක් ගොඩකිරීම සඳහා අවසර ලබාදීමට අල්ලස් ගැනීමේ සිද්ධියකට වරදකරු වූ හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට නියම කළ රුපියල් ලක්ෂ 100ක වන්දි මුදල 2027 වසරේ ජූලි 6 වැනිදාට පෙර ගෙවා නිම කළ යුතු බව කොළඹ මහාධිකරණය දැනුම් දුන්නා.Sri Lanka Latest News
එම නියෝගය පැහැර හැරියහොත්, අභියාචනාධිකරණ නියෝගය කඩකිරීමේ වරදට විත්තිකරුට වසර 9ක සිරදඬුවමක් නියම කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඊයේ ප්‍රකාශ කළා.
චුදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම වන්දි මුදල නියමිත පරිදි ගෙවන බවට අධිකරණය ඉදිරියේ පොරොන්දු වූ අතර, ඒ අනුව විත්තිකරු මුදාහරින ලද අතර කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ප්‍රසන්න රණතුංගට රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ ලක්ෂ 100ක වන්දියක් ගෙවීමට කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා මෙම නඩුව කැඳවා තිබෙනවා.
හිටපු ඇමැති ප්‍රසන්න රණතුංගට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ 2015 වසරේ අප්‍රේල් 10 වැනිදා ඉඩමක් ගොඩකිරීමට අවසර දීම සඳහා එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක මුදලක් ඉල්ලා, ඉන් රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබා ගැනීමේ චෝදනාවටයි.
ප්‍රසන්න රණතුංගට අමතරව ඔහුගේ බිරිඳ වන මොරිස් ස්ටෙලා රණතුංග සහ නරේන් කුමාර් ෆාරික් යන අය විත්තිකරුවන් ලෙස නම් කර අධිචෝදනා 5ක් යටතේ කොළඹ මහාධිකරණය ඉදිරියේ මෙම නඩුව පවරා ඇති අතර එහිදී 3 වැනි විත්තිකරු වන කුමාර් ෆාරුක් යන අය නඩුවට ඉදිරිපත් නොවීම නිසා, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 241 වැනි වගන්තිය යටතේ විත්තිකරු නොමැතිව නඩු විභාගයද පවත්වනු ලැබුවා.










