අදින් වසර ගණනාවකට පෙර, ඒ කියන්නේ 2009 පෙබරවාරි 20 වැනිදා රාත්‍රිය ඔබට මතකද? මුළු කොළඹ නගරයම එකවරම දැවැන්ත අන්ධකාරයක ගිලී ගිය, සන්ධ්‍යා කාලයේ සන්සුන් බව බිඳදමමින් අහස දෙසින් මහා වෙඩි හඬවල් ඇසුණු, මුළු රටම රූපවාහිනී තිර ඉස්සරහා හුස්ම හිරකරගෙන බලා සිටි ඒ භීතිකාමය රාත්‍රිය ඔබට අමතක වෙන්න විදිහක් නැහැ.Sri Lanka Latest News
එදා සිද්ධ වුණේ සෙල්ලම් සටනක් නෙවෙයි. ලෝක යුද ඉතිහාසයේ, ත්‍රස්තවාදී සංවිධානයක් විසින් තමන් සතු ‘ගුවන් බළකායක්’ යොදාගෙන අගනුවරක් වෙත එල්ල කළ ප්‍රථම සහ එකම මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරයයි. ඇමෙරිකාවට එල්ල වූ 9/11 ප්‍රහාරය මෙන් ලංකාවේ ආරක්ෂක මර්මස්ථාන කුඩුපට්ටම් කරදැමීමට කොටින් හැදූ ඒ මාරාන්තික සැලසුම බිඳවැටුණේ කෙසේද? අද අපි කතාකරන්නේ ඒ අබිරහස් සහ ත්‍රාසජනක රාත්‍රියේ දිගහැරුමයි.
තිරය පිටුපස – ‘එයාර් ටයිගර්ස්’ උපත
ලෝකයේ කොතැනකවත් ත්‍රස්තවාදී සංවිධානවලට ගුවන් හමුදා නැත. නමුත් එල්.ටී.ටී.ඊ. සංවිධානය 2002-2006 සටන් විරාම කාලය තුළ, රජයේ ඇස්වලට වැලි ගසා කොටස් වශයෙන් ගුවන් යානා මෙරටට ගෙන්වා ගත්තේය. චෙකොස්ලොවැකියාවේ නිෂ්පාදිත Zlín Z-143වර්ගයේ සැහැල්ලු පුහුණු ගුවන් යානා ඔවුන් සතු විය. මෙම යානා සිවු දෙනකුට ගමන් කළ හැකි ඒවා වුවත්, කොටින් ඒවා වෙනස් කර, බෝම්බ සවිකරගත හැකි පරිදි සකස් කර තිබිණි. 2005 වසරේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා මගින් මුලින්ම මේවා හඳුනාගත්තද, 2007 සිට ඔවුන් කොළඹ ඇතුළු ස්ථාන කිහිපයකට සාර්ථක ‘කඩාපැනීම්’ කිහිපයක් සිදුකර තිබිණි.
නමුත් 2009 පෙබරවාරි වනවිට තත්ත්වය වෙනස් වී තිබිණි. යුද්ධය එහි අවසාන අදියරට පැමිණ තිබූ අතර, කොටි පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් කිහිපයකට කොටුවී සිටියහ. ඔවුන්ගේ පරාජය ස්ථිර වෙමින් පැවැති මොහොතක, ප්‍රභාකරන් තම අවසාන තුරුම්පුව ගැසීමට තීරණය කළේය. ඒ ‘කළු කොටි’ ගුවන් නියමුවන් යොදවා කොළඹ ලේ විලක් කිරීමයි.
පෙබරවාරි 20 රාත්‍රී 8.30 – මාරාන්තික පියාසැරිය ඇරඹෙයි
මුලතිව් දිස්ත්‍රික්කයේ පටු පාරක් ධාවන පථයක් ලෙස භාවිත කරමින්, පුපුරන ද්‍රව්‍ය පිරවූ Z-143 යානා දෙකක් අහසට නැගුණි. ඒ වනවිටත් ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි යුද හමුදා සෙබළු මේ ශබ්දය හඳුනාගෙන ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්හ. රාත්‍රී 8.50ට පමණ වවුනියාවේ පිහිටි ගුවන් හමුදා රේඩාර් පද්ධතියට යානා දෙක හසුවිය.
උපාය මාර්ගය – ත්‍රස්තවාදීන් ඉතා සූක්ෂ්ම විය. ඔවුහු ගුවන් යානාවල සියලු ලාම්පු නිවා දමා, රේඩාර්වලට හසුනොවීම සඳහා අඩි 300ක් වැනි ඉතා පහත් මට්ටමකින් පියාසර කළහ.
ප්‍රතිචාරය – වහාම ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව චීනයේ නිෂ්පාදිත ‘එෆ්-7’ ජෙට් යානයක් අහසට නැංවීය. නමුත් කොටි යානා ගස් මට්ටමෙන් පියාසර කළ නිසා, අධික වේගයෙන් යන ජෙට් යානයකට එතරම් පහළින් ඇති කුඩා යානා හඳුනාගෙන ප්‍රහාර එල්ල කිරීම ප්‍රායෝගිකව අපහසු විය.
කොටි යානා මන්නාරම දෙසින් හැරී, බටහිර වෙරළ තීරය ඔස්සේ කෙළින්ම කොළඹ දෙසට ඇදුණි. ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පසුකර යද්දී, ආරක්ෂක හේතූන් මත ජාත්‍යන්තර ගුවන් ගමන් 3ක් වහාම අවලංගු කෙරුණි.
රාත්‍රී 9.45 – කොළඹ අන්ධකාරයේ ගිලෙයි
යානා කොළඹට ළඟාවත්ම, මුළු නගරයේම විදුලි බලය විසන්ධි කිරීමට රජය පියවර ගත්තේය. එය ආරක්ෂක උපක්‍රමයකි. නගරය අඳුරු කළ විට ගුවන් නියමුවාට තමන්ගේ ඉලක්ක හඳුනාගත නොහැකි වේ.
එවකට කොළඹ සිටි අයට මතක ඇති, ඒ මළ මිනී වැනි නිහඬ අන්ධකාරය මැදින්, එකවරම කොළඹ වරාය, ගාලු මුවදොර සහ කොම්පඤ්ඤවීදිය අවටින් මහා වෙඩි හඬවල් ඇසෙන්නට විය. ඒ, ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ ප්‍රති-ගුවන් ප්‍රහාරක තුවක්කු අහස දෙසට නොකඩවා වෙඩි තැබීමයි. අහස පුරා රතු පැහැති වෙඩි උණ්ඩ පාරවල් ඇඳෙන්නට විය.
පළමු යානාවේ අවසානය – දේශීය ආදායම් බදු ගොඩනැගිල්ල උඩුයටිකුරු වෙයි
එක් යානාවක් කොළඹ වරාය දෙසින් වටයක් ගසා ගාලු මුවදොර දෙසට හැරෙද්දීම ගුවන් හමුදා ප්‍රහාරයන්ට ලක්විය. වෙඩි ප්‍රහාර නිසා පාලනයෙන් ගිලිහුණු යානාව, රාත්‍රී 9.51ට සර් චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවතේ පිහිටි තට්ටු 15කින් යුත් දේශීය ආදායම් බදු ගොඩනැගිල්ලේ 12 වැනි මහලේ දරුණු ලෙස ගැටුණි.
යානය ඇතුළත බෝම්බ පමණක් තිබුණේ නැත. එය මුළුමනින්ම සී-4 ප්ලාස්ටික් පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 215කින් පුරවා තිබූ ‘පියාඹන බෝම්බයකි’.
මහා ශබ්දයක් නගමින් සිදුවූ ඒ පිපිරීමෙන් ගොඩනැගිල්ලේ ඉහළ මහල් ගිනි ජාලාවකින් වැසී ගියේය. ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලේ සිටි දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, 50කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. පසුව කළ සෙවීම්වලදී යානයේ එන්ජිම 12 වැනි මහල ඇතුළත තිබී හමුවූ අතර, කොටි නියමුවාගේ සිරුරේ කොටස්ද ගොඩනැගිල්ල පුරා විසිරී තිබිණි.
නියමිත ඉලක්කය කුමක්ද?
යුද හමුදාව විශ්වාස කරන්නේ මෙම යානයේ ඉලක්කය දේශීය ආදායම් බදු ගොඩනැගිල්ලට යාබදව පිහිටි ගුවන් හමුදා මූලස්ථානය, ජනාධිපති මන්දිරය හෝ යුද හමුදා මූලස්ථානය බවයි. ප්‍රහාර වැදීම නිසා පාලනය නැතිවීමෙන් එය අයි.ආර්.ඩී. ගොඩනැගිල්ලට කඩා වැටුණි.
දෙවැනි යානාවේ අවසානය – කටුනායකදී බිම හෙළයි
පළමු යානාව විනාශ වනවාත් සමගම, දැඩි ප්‍රති-ගුවන් ප්‍රහාර හමුවේ ඉදිරියට යා නොහැකි වූ දෙවැනි යානාව නැවත කටුනායක ගුවන් හමුදා කඳවුර දෙසට හැරුණි. එහි ඉලක්කය කටුනායක ගුවන් යානා අංගණ විනාශ කිරීම බව පසුව හෙළි විය. නමුත් කටුනායක කඳවුර ආසන්නයේදී ගුවන් හමුදා ප්‍රහාරකයන් විසින් සාර්ථක ලෙස මෙම යානාව රාත්‍රී 9.59ට බිම හෙළන ලදී. එය කඳවුරට ඇතුළු වීමට පෙරම බිම වැටුණු නිසා විශාල විනාශයක් වැළකුණු අතර, සිවිල් වැසියන් 6 දෙනකු පමණක් තුවාල ලැබූහ.
එහි සිටි නියමුවාගේ සිරුර ආරක්ෂක අංශ විසින් සොයාගත් අතර, ඔහු සතුව සයනයිඩ් කරල් දෙකක් සහ තවත් ප්‍රබල බෝම්බයක් තිබිණි.
ප්‍රහාරයේ අවසාන ප්‍රතිඵලය – අසාර්ථක වූ මරාගෙන මැරෙන මෙහෙයුම
ප්‍රහාරයෙන් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙම ප්‍රහාරය දියත් කළ ‘කළු කොටි’ නියමුවන් දෙදෙනා ප්‍රභාකරන් සමග ලබාගත් අවසන් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කළේය. ඔවුන් මෙය සාර්ථක ප්‍රහාරයක් බව පැවසුවද, ලෝක යුද විශ්ලේෂකයන් සහ ලංකා රජය මෙය හැඳින්වූයේ මුළුමනින්ම අසාර්ථක වූ, මංමුළාසහගත උත්සාහයක් ලෙසයි.
යානා දෙකෙහි තිබූ සී-4 පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය අනුව, ඒවා නියමිත ඉලක්ක වූ ආරක්ෂක මූලස්ථාන මතට වැදුණේ නම්, එදා කොළඹ නගරය මැද සිදුවන විනාශය සිතාගත නොහැකි තරම්ය. නමුත් අපේ වීරෝදාර ආරක්ෂක අංශවල කඩිසර ප්‍රතිචාරය සහ ප්‍රති-ගුවන් ප්‍රහාර හමුවේ සතුරාගේ ඒ මහා විනාශකාරී සිහිනය අළුදූලි වී ගියේය. මෙම ප්‍රහාරය සිදුවී මාස තුනක් යන්නට මත්තෙන්, එනම් 2009 මැයි 19 වැනිදා, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කරමින් මුළු රටටම නිදහස උදාවිය.
අතීතයේ මෙවැනි භීෂණකාරී අත්දැකීම් මැදින් ආ අපේ රටේ, අද අප භුක්ති විඳින සාමයේ අගය වටහා ගැනීම සැමගේ යුතුකමකි.
Ranjith Madushanka








