යුද ජයග්‍රහණයෙන් වසර දහහතක් ගතවුවද ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස් මහතා පවසනවා. ඔහු මේ බව පැවැසුවේ හිරු රූපවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නවලට විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස් මහතා මෙසේ පිළිතුරු ලබාදුන්නා. Sri Lanka Latest News
ප්‍රශ්නය
ඒ ත්‍රස්තවාදයට එරෙහිව සටනේ නායකත්වය ගත්තු වීරෝදාර රණවිරුවෙක් ලෙස අද දවසේ ඔබතුමාට දැනෙන්නේ කොයි වගේ හැඟීමක්ද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
එදා ඒ සාර්ථකත්වය නොලැබුණා නම් මේ වෙනකොට වසර දහහතක්, මේ රටම තාමත් දුක් විඳිනවා. මම සතුටු වෙනවා ඇත්ත වශයෙන්ම ඒ සියලු ආරක්ෂක අංශ කවුරුත් එක්වෙලා අද වගේ දවසක ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදය විනාශ කරන්න දායක වීම සම්බන්ධව.
ප්‍රශ්නය
ගෙවුණු වසර දාහත තුළ අපේ රට ඇවිල්ලා ඉන්න තැන පිළිබඳ ඔබතුමා සෑහීමකට පත්වෙනවද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
එක පැත්තකින් සතුටු වෙනවා, නමුත් එක පැත්තකින් සතුටු වෙන්නේ නෑ. සතුටු වෙන්නේ දැන් යුද්ධයක් නෑ. මම අසතුටු වෙන්නේ රට තිබිය යුතු තැන නෙවෙයි අපි ඉන්නේ වර්තමානයේ.
ප්‍රශ්නය
ඒ පිළිබඳව ඔබතුමාට කනගාටුවක්ද තියෙන්නේ?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
ඉතාමත් කනගාටුයි ඒ සම්බන්ධයෙන්.
ප්‍රශ්නය
එහෙම නම් ඊට වගකිවයුත්තෝ කවුද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
වගකියන්න ඕනේ අපි. ජනතාවනේ තීරණය ගන්නේ. ඉතින් ජනතාව වගකියන්න ඕනේ. කනගාටුදායක තත්ත්වයක අපි ඉන්නේ. ඉතාමත් බැරෑරුම් තත්ත්වයක දැන් නම් ඉන්නේ.
ප්‍රශ්නය
ඇයි ඔබතුමා දැන් බැරෑරුම් තත්ත්වයක් කියලා කියන්නේ?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
බැරෑරුම් තත්ත්වයක් කියන්නේ මේ රටේ කිසිම ස්ථාවරත්වයක් නෑ කිසි දෙයක. හැම පැත්තම අස්ථාවරයි මේ මොහොතේ… හැම පැත්තෙන්ම.
ප්‍රශ්නය
වර්තමානයේ රටේ ආරක්ෂාව පිළිබඳ ඔබතුමා සෑහීමකට පත්වෙනවාද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
ජාතික ආරක්ෂාව කියන භාණ්ඩය හෝ සේවාව ඒ ගැන උනන්දු වෙන්නේ කවුද? පාරිභෝගිකයා. ඒ කියන්නේ රටේ මහජනතාව. එතකොට ඒ භාණ්ඩය හෝ සේවාව නැත්නම් ඔහු අසතුටු වෙනවා. අසතුටු වුණාම ඒක හිතට දැනෙනවා. හිතට දැනුණාම කම්පනයක් ඇති වෙනවා.
ප්‍රශ්නය
අපේ රටට දැන් මේ මොහොතේ අභ්‍යන්තර හෝ බාහිර වශයෙන්, දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් බලපෑමක්, තර්ජනයක් තිබෙනවද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
මගේ කියවීමේ හැටියට මේ අවස්ථාව වෙනකොට අපේ රට, ඇත්ත වශයෙන්ම කියනවා නම් මානසිකව අපි ආක්‍රමණය වෙලා ඉන්නේ.
ප්‍රශ්නය
අපි අනාරක්ෂිතයිද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
හොඳටම අනාරක්ෂිතයි. දැන් බලන්න අද වෙනකොට ඩොලරයේ වටිනාකම, රුපියල අවප්‍රමාණය වෙලා 358යි. ආර්ථිකය ශක්තිමත් නැත්නම් ජාතික ආරක්ෂාවක් ගැන කතාකරන එකේ තේරුමක් නෑ.
ප්‍රශ්නය
රටේ මහජනතාවට ජාතික ආරක්ෂාව පිළිබඳ, තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ඔබතුමා හිතන්නේ බියක්, සැකක්, තැතිගැන්මක් තිබෙනවද?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
අස්ථාවරත්වයක් තියෙන්නේ. අර පුළුල් පරාසය තුළ ඔහු ආරක්ෂිත නෑ. බෙදුම්වාදී ත්‍රස්තවාදයේ යුදමය අංශය විනාශ කළාට ඔවුන්ගේ සංකල්පය එහෙමම පවතිනවා. එතකොට මේ වෙනකොට තාමත් ජනතාව දන්නේ නැතුව ඇති Transnational Government of Tamil Eelam කියලා කියන රටින් බැහැරව ඊළම වෙනුවෙන් සංවිධාන කරන ලද ආණ්ඩුවක් තියෙනවා. ඒකට ඇමැතිවරු ඉන්නවා. ජාත්‍යන්තරව ඉන්නවා. එතකොට රුද්‍රකුමාරන් තමයි, මගේ තේරුමේ හැටියට (මේ සම්බන්ධ විශේෂඥයෝ ඉන්නවා) ඔහු තමයි ඒකේ Prime Minister. එල්.ටී.ටී.ඊ. එකේ රටින් බැහැරව පනවලා තියෙන රාජ්‍ය ආණ්ඩුවක් තියෙනවා.
ප්‍රශ්නය
ඒ ආණ්ඩුවේ බලපෑම අපේ රටට කොයි වගේද වෙන්නේ?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
ඒ බලපෑම තමයි දැන් මේ හැම තැනටම අපිට බලපාන්නේ. මොකද හේතුව මේ රටෙන් බාහිරව ඉන්න ඔය ඩයස්පෝරාව මෙහෙයවන්නේ එල්.ටී.ටී.ඊ. අන්තවාදීන්. ඔවුන්ට බයයි.
ප්‍රශ්නය
උතුරු නැගෙනහිර පහුගිය කාලයේ යුද හමුදා කඳවුරු ඉවත් කිරීම් සිද්ධ වෙනවා අපිට පේනවා, ඔබතුමා කොහොමද මේක දකින්නේ?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
හමුදා කඳවුරු ඉවත් කරන්න ඉස්සෙල්ලා ඒ සම්බන්ධව හරි තක්සේරුවක් කරන්න ඕනේ ඒ විශේෂඥයෝ ගෙනල්ලා.
ප්‍රශ්නය
‘අට පාස් ආමිකාරයා’ කියලා අපහාස කරනවා අපිට ඇහෙනවා. ඒ වගේම රණවිරුවා කියලා කතා කරන්න අකැමැති සමහර දේශපාලන නායකයෝ පවා අපිට දකින්නට ඉන්නවා?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
අට පාස් මිනිස්සු තමයි ගිහිල්ලා යුද්ධ කළේ. ඇයි ඩිග්‍රි තියෙන කට්ටිය ඒකට ආවේ නෑ. අට පාස් කියලා කියන්න හොඳ නෑ, එයා තියන්න ඕනේ උතුම්ම තැන, අට පාස් සෙබළා නෙවෙයි. දිට්වා ආවත් කවුද යන්නේ? ඔය කියන මිනිස්සුද යන්නේ? මේ අපේ සෙබළු යන්න ඕනේ.
ප්‍රශ්නය
කාලෙන් කාලයට ඒ විජයග්‍රහණ සැමරුම් අඩු වෙලා, ‘ඒවාට වියදම් කරන මුදල් අපරාදේ, කාලය අපරාදේ, බොරු වැඩ’ කියන මට්ටමටත් ඇවිල්ලා අද වනවිට විජයග්‍රහණ සැමරුම පුංචි උත්සවයකට සීමාවෙලා තියෙනවා?
විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් ඩයස්
මම ඇත්ත වශයෙන්ම සතුටු වෙන්නේ නෑ. මොකද විජයග්‍රහණයක් නම් ඒ විජයග්‍රහණයට ඒ ස්ථානය දෙන්න ඕනේ. හොඳට දැනුවත් වෙන්න. දේශපාලනඥයන් පමණක් කියන දේ අහන්න එපා. දන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහන්න. හුඟාක් තියෙනවා ඔබ නොදැනුවත්ව ඔබ මෙහෙයවන බලවේග.










