ශ්‍රී ලංකාවේ e-පාස්පෝර්ට් ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදු වී ඇති බව කියන අක්‍රමිකතා පිළිබඳව පෝලන්ත රජය විසින් යුරෝපා කොමිසම වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙම විවාදයට මූලික වූයේ, ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් 2025 අප්‍රේල් 27 දින ප්‍රකාශයට පත් කළ e-පාස්පෝර්ට් ටෙන්ඩරයට සම්බන්ධ ක්‍රියාවලියයි.
එයට ජාත්‍යන්තර සමාගම් 8ක් ඉදිරිපත් වී තිබුණද, පෝලන්ත රජයට සම්පූර්ණයෙන්ම අයත් Polish Security Printing Works (PWPW) ඇතුළු සමාගම් 7ක් ප්‍රමාණවත් හේතු නොමැතිව ප්‍රතික්ෂේප කර ඇති බවට චෝදනා එල්ල වේ.
මෙම ටෙන්ඩරය අවසානයේ ලබාගත් සමාගම වන්නේ Thales DIS Finland ය. එහෙත් පෝලන්ත නියෝජිතයින් පවසන්නේ, තම සමාගම තාක්ෂණික වශයෙන් සුදුසුකම් සපුරා තිබියදීත්, නැවත ඇගයීමකින් පසුවද ඔවුන්ගේ මුල්‍ය ප්‍රස්තාව විවෘත නොකළ බවයි.
PWPW සහ තවත් සමාගම් කිහිපයක් ටෙන්ඩරය පිළිබඳ අභියෝගයක් ඉදිරිපත් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අභියාචනා මණ්ඩලය විසින් නැවත ඇගයීමක් සිදු කිරීමට උපදෙස් ලබා දී තිබුණි. එමඟින් PWPW සමාගම අවම ලකුණු සීමාව ඉක්මවා ඇති බව පිළිගෙන තිබුණද, මතු වූයේ සැක සහිත තත්ත්වයකි . ඒ්, ඔවුන්ගේ මිල ඉදිරිපත් කිරීම (price bid) විවෘත නොකළ අතර, ටෙන්ඩරය දිනූ Thales DIS Finland සමාගමේ මිල ප්‍රස්තාව ආරම්භයේම විවෘත කර තිබීමයි.
මෙම තත්ත්වය “සාධාරණ නැවත ඇගයීමක් සිදු වීද?” යන්න පිළිබඳ ප්‍රශ්න මතු කරයි.
2026 මාර්තු 13 දින, PWPW සමාගම විසින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වෙත යවන ලිපියකින්, මෙම ක්‍රියාවලිය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරමින් ස්වාධීන තාක්ෂණික ඇගයීම් කමිටුවක් (TEC) මගින් නැවත ඇගයීමක් සිදු කිරීමට ඉල්ලා ඇත.
එමෙන්ම නවදිල්ලියේ පිහිටි පෝලන්ත තානාපති කාර්යාලය ද මෙම ඉල්ලීමට සහාය දක්වා ඇත. එහෙත් මේ දක්වා ශ්‍රී ලංකා රජයෙන් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන් වේ.
මෙම සමාගමම, 2024 සැප්තැම්බර් මාසයේදී හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් තෝරාගත් machine readable පාස්පෝර්ට් සැපයීමේ ගනුදෙනුවටද සම්බන්ධ විය.
එම ගනුදෙනුවද රජයේ ප්‍රසම්පාදන නීති මඟහැරීම පිළිබඳ චෝදනා මත අධිකරණයේ අභියෝගයට ලක්ව තිබුණි.
ඒ අනුව මෙම ගැටලුව ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පාරදෘශ්‍යතාවය සහ විශ්වාසය පිළිබඳ ගැටලු නැවතත් ඉදිරියට ගෙන එමින්, ජාත්‍යන්තර මට්ටමින්ද බලපෑමක් ඇති කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
යුරෝපා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත්, එය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළද තදබදයක් ඇති කිරීමට ඉඩ ඇත.










