• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇතුළෙන්ම ඔත්තුව ආවා! භාණ්ඩාගාරයෙන් සල්ලි අතුරුදන් වීමේ තවත් රහස් රැසක් විපක්ෂය අතට! ලොකු අඩව්වක් අත ළඟ එනවා! රාජ්‍ය රහස් I Sri Lanka Latest News

April 26, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 15 mins read
A A
Share on WhatsAppShare on Facebook

ප්‍රශ්න පිට ප්‍රශ්න

තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පළමු අවුරුදු තුන හතර යනතුරු ගතකරන්නේ හනිමූන් කාලය හෙවත් මධුසමයය. එම කාලය ඇතුළත ආණ්ඩුවට ලොකු ලොකු ප්‍රශ්න එන්නේ නැත. ආවත් ජනප්‍රියතාවය නිසා ඒ ප්‍රශ්න දැනෙන්නේ නැත. අලුත බැඳපු ජෝඩුවක් සේ මුල් වසර තුන හතර අලුත් ආණ්ඩුවක්ද ගතකරන්නේ නිදහස් කාලසීමාවකි. හනිමූන් කාලසීමාවකි. නමුත් ප්‍රශ්න පැනනගින්නේ එම අවුරුදු තුන හතරක කාලසීමාව පසුවීමත් සමගය. ඒ කාලය වනවිට මධුසමය අවසන් වී අලුත් පවුලක් වේවා, අලුත් ආණ්ඩුවක් වේවා ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවීම සාමාන්‍ය දෙයකි.Sri Lanka Latest News

නමුත් තුනෙන් දෙකක බලයක් සහිත වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වී තවමත් ගෙවී ඇත්තේ වසර එකහමාරකි. අන් කිසිදු ආණ්ඩුවක් මුහුණ නොදුන් ආකාරයේ බරපතළ අර්බුද රැසක් හේතුකොට ගෙන අලුත් දේශපාලන සංස්කෘතියකට මුහුණ දීමට වත්මන් මාලිමා ආණ්ඩුවට සිදුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව බලන විට මාලිමා ආණ්ඩුව මේ වනවිට මුහුණ දී ඇත්තේ එකක් ඉවර වනවිට එකක් යනාදී වශයෙන් අවසන් නොවන ප්‍රශ්න වැළකටය. මාස කීපයක් තිස්සේ ඇදි ඇදී ගිය බාල ගල්අඟුරු ප්‍රශ්නය ආණ්ඩුව යන්තම් අවසන් කරගත්තේ ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයකු වන බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම තනතුරෙන් ඉවත් කිරීමත් සමගය. ඒ සමගම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ඉදිකළ දැවැන්ත තෙමහල් නිවසක් මුල්කරගෙන බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවිය. ඒත් එක්කම ජාත්‍යන්තර එච්.එස්.බී.සී. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ආණ්ඩුව ඩොලර් 286ක් වැනි ඉතා ඉහළ මිලකට ඩීසල් බැරලයක් මිලදීගෙන ඇති බවට කළ ප්‍රකාශයක් හේතුකොට ගෙන ආණ්ඩුව තවත් අමාරුවේ වැටිණි. ඒ සියලු කාරණා එසේ තිබියදී පසුගිය බදාදා දින ආණ්ඩුවට තවත් අලුත්ම අර්බුදයකට මුහුණ දීමට සිදුවිය. ඒ, මහා භාණ්ඩාගාරය ඔස්ටේ්‍රලියාවේ ආයතනයකට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් වැරැදීමකින් ව්‍යාජ ගිණුමකට බැරකිරීමේ සිදුවීමය. බොහෝ දෙනා මෙම සිදුවීම සලකන්නේ ආණ්ඩුව මෙතෙක් මුහුණ දුන් බරපතළම සිදුවීම වන බාල ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය, ලාල්කාන්තගේ සුඛෝපභෝගී නිවසේ සිද්ධිය, තෙල් බැරලයක් ඩොලර් 286කට මිලදී ගැනීමේ සිද්ධීන්වලටත් වඩා ඉතා බරපතළ ආකාරයේ සිදුවීමක් ලෙසටය.
යහපාලන ආණ්ඩු සමයේදී එල්ල වූ මහබැංකු බැඳුම්කර වංචාව හා සසඳන විට මහා භාණ්ඩාගාරයෙන් මෙවර අතුරුදන් වූ මුදල ගණනින් ඉතා සුළු ප්‍රමාණයක් වුවත්, සිද්ධිය අතින් බලන විට මෙය බරපතළ දේශපාලන අර්බුදයක ආරම්භයක් බවත් බොහෝ දෙනාගේ අදහසය.

ලියුම ආවා

මෙම සිදුවීම පළමුවරට පසුගිය බදාදා දිනයේදී එළියට ආවේ කතානායකවරයා වෙත නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් යොමුකළ ලිපියක් සමගය. ඒ අනුව, මෙම සිදුවීම රටට හෙළිකිරීමේ සම්පූර්ණ ‘ක්‍රෙඩිට් එක’ හිමිවිය යුත්තේ වෙන කාටවත් නොව මෛත්‍රී ගුණරත්නටය. එහිදී ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා තිබුණේ මේ ආකාරයේ සිදුවීමක් මහා භාණ්ඩාගාරය තුළ සිදුව ඇති බවත්, වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගතයුතු බවත්ය. මේ පළවෙන්නේ මෛත්‍රී ගුණරත්න, කතානායකවරයාට යැවූ ලිපියය.

ගරු කතානානයකතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,
කෝට්ටේ.
ගරු කතානායකතුමනි,

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේදැයි පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලීමයි.

ශ්‍රී ලංකා රජය 2025 සැප්තෑම්බර් මස අග වන විට ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබු රටකට, ණය පියවීමක් ලෙස ඉන් කොටසක් එනම්, ඩොලර් මිලියන 2.5ක මුදලක්, මහා භාණ්ඩාගාරය විසින් 2005 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුළ විසින් පියවා ඇත. එම මුදල් අදාළ ණයකරු (රට) වෙත නොව, පරිගණක හැකර් කෙනෙකු (හෝ තුන්වැනි පාර්ශ්වයකට) වෙත හෝ යොමුකර ඇති බව දැනගන්නට ඇත.

දැන්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ‘තාක්ෂණික විමර්ශන කමිටුවක්’ 2026.03.24 ක් හෝ ඒ ආසන්නයේ පත් කර ඇත. මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු හා පරිගණක අංශයේ ප්‍රධානියෙකු ගේ වැඩ තහනම් කර ඇත.

ඔබතුමන් දන්නා පරිදි, මෑතක් වන තුරුම විදේශ ණය, ‍වාරික සහ පොලිය නැවත ගෙවීම් කටයුතු සිදුකරනු ලැබූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. නව මුදල් පනත සම්මත වීමෙන් පසුව එම වගකීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරුණි. ඒ අනුව මෙම ගෙවීම සම්බන්ධයෙන් ලේඛන සකස් කර ඇත්තේද, ගෙවීම් සිදුකර ඇත්තේ එම ආයතන විසිනි.

ඩොලර් මිලියන 2.5ක ගෙවීම් සිදුකිරීමට නියෝජ්‍ය භාණ්ඩගාර ලේකම්වරයෙකුට, ගණකාධිකාරිවරියට හා පරිගණක අං‍‍ශයේ නිලධාරියෙකුට පමණක් හැකියාව නැත. ඒ සඳහා අනිවාර්යයෙන්ම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් සහ භාණ්ඩාගාර ලේකම්වරයා ද සම්බන්ධ විය යුතුය.

රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුව වෙත ය. දැනට මෙම විමර්ශනය සිදු කරමින් ඇත්තේ ණය ගෙවීම පිළිබඳ අවසන් වගකීම දරණ අතිරේක භාණ්ඩාගාර ලේකම්වරයෙකු යටතේය. ඔහු මෙම විමර්ශනය කරන අතරම තවදුරටත් අදාළ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු මෙහෙයවයි.

මහා භාණ්ඩාගාරය සම්බන්ධයෙන් වන වගකීම දරණ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ද වන බැවින් මේ පිළිබඳව වන විමර්ශනය මුදල් අමාත්‍යාංශ / භාණ්ඩාගාරයෙන් පරිබාහිර කණ්ඩායම් විසින් සිදු කළ යුතුව ඇති බව අපගේ විශ්වාසයයි.

එබැවින්, රාජ්‍ය මුල්‍ය වගකීම දරණ පාර්ලිමේන්තුව විසින් සුදුසු ක්‍රමවේදයක් හරහා මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට විශ්වාසී,
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
සභාපති ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ‍
පිටපත්

  1. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ නායකවරුන්/මහලේකම්වරු
  2. පාර්ලිමේන්තු මුදල් කාරක සභාව
  3. විගණකාධිපති, ජාතික විගණන කොමිෂන් සභාව
  4. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා * සභාපති, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කමිටුව

බෝම්බය පත්තු වුණා

බදාදා දිනයේ එම ලිපිය දුටු ඕනෑම අයකු සිතා සිටියේ මෙම සිදුවීම ඊට දින දෙක තුනකට ඉහතදී මහා භාණ්ඩාගාරය ඇතුළේ සිදුවන්නට ඇති බවකි. නමුත් මෙම ලිපිය ආණ්ඩුවට එරෙහි දේශපාලන බෝම්බයක් බවට පත්වූයේ මෙම සිද්ධිය මීට මාස 5කට ඉහතදී, එනම් දෙසැම්බර් මාසයේදී සිදුව ඇති බවටත්, ආණ්ඩුව මේ දක්වා වූ කාලය තුළ එම සිදුවීම වසංකොට ගෙන තබාගෙන ඇති බවටත් අනාවරණය වීමත් සමගය. ඒ අනුව බොහෝ දෙනා ප්‍රශ්න කිරීමට පටන්ගෙන තිබුණේ පාර්ලිමේන්තුව ඇතුළේත්, පාර්ලිමේන්තුවේ යම් යම් කමිටුවලත් ආර්ථික ඔස්තාර්ලා වශයෙන් ප්‍රකට පුද්ගලයන් සිටිද්දී මාස 5කට පසු මෛත්‍රී ගුණරත්න විසින් මෙම සිදුවීම හෙළිකරන තෙක් මේ සම්බන්ධයෙන් කුමක් කළාදැයි කියාය. මෙම ආර්ථික ඔස්තාර්ලා ටයිකෝට් ගසාගෙන මහා ආර්ථික දැනුම් සම්භාරයක් ඇති පුද්ගලයන් සේ රටට පෙන්වාගෙන සිටියද මෙම සිදුවීම මුල්කොටගෙන බොහෝ දෙනා කියා සිටියේ එක්කෝ ඔවුන් බොරු ආර්ථික න්‍යායන් කියවමින් සිටින්නන් බවටත්, එසේත් නැත්නම් ආණ්ඩුවට ප්‍රශ්නයක් ආ විගස ආණ්ඩුවට වාසිසහගත ලෙස කටයුතු කරමින් සිටින්නන් බවටත්ය.

කෙසේවෙතත් අපට ඇති තොරතුරුවලට අනුව නම් මේ කියන ආර්ථික ඔස්තාර්ලා කිසිවකුගේත් අතට භාණ්ඩාගාර සිද්ධියට අදාළ තොරතුරු ඇවිත් තිබුණේ නැත. මෛත්‍රී ගුණරත්න අතට මෙම තොරතුරු ඇවිත් තිබුණේ ඊට අදාළ අංශ ඇතුළෙන්මය. ඒ අනුව එහි ඉහළ පෙළේ නිලධාරීන් මේ තොරතුර වෙන කිසිවකුටත් නොදී මෛත්‍රී ගුණරත්නටම ලබාදුන්නේ ආණ්ඩුවේ ප්‍රබලයන් විපක්ෂයේ ඇතැම් පිරිස් සමග එකතුවී මෙම තොරතුර සඟවාගෙන සිටීමට දැරූ උත්සාහය අනාවරණ වීම නිසාද යන්න පිළිබඳ බොහෝ දෙනාට බරපතළ ප්‍රශ්නයක් මතුව තිබේ.
මෙම සිදුවීම බදාදා දින පෙරවරුවේ රටට හෙළිකිරීමත් සමග සවස් වනවිට එය විශාල දේශපාලන බෝම්බයක් බවට පත්කරමින් හතර අතින් විවිධ ප්‍රකාශ නිකුත් වන ආකාරයක් දැකගන්නට ලැබිණි. මුලින්ම ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසීම කළේ එදින පෙරවරුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය. එහිදී මාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී අදාළ ලිපිය නලින්ද අතේ පැවැතියද, නලින්ද කියා සිටියේ තමන් ළඟ නිල තොරතුරු නොමැති බවත්, තමන්ද දන්නේ එම ලිපියේ ඇති තොරතුරු පමණක් බවත්ය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් වහාම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනු ඇති බවද නලින්ද එහිදී කියා සිටියේය. නලින්දගේ එම ප්‍රකාශයත් සමග බොහෝ දෙනාට මතුවූ ප්‍රශ්නයක් වූයේ එවැනි සිදුවීමක් සිදුවී මාස 5ක් ගතවන තුරු ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා එය නොදැන සිටීම බරපතළ තත්ත්වයක් බවය. එමෙන්ම අදාළ ලිපිය නලින්ද අතේ පැවැතියද අඩුම තරමින් ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් කරුණු විමසා කැබිනට් මාධ්‍ය හමුවේදී පැහැදිලි කිරීමක් සිදුනොකොට ලිස්සා යාමට නලින්ද කටයුතු කිරීමද විශේෂ සිදුවීමක් වී තිබිණි. කෙසේ වෙතත් නලින්ද මෙම ප්‍රකාශය සිදුකොට පැය කීපයක් ගතවන විට මුදල් අමාත්‍යාංශය මගින් මීට අදාළව විශේෂ නිවේදනයක් නිකුත් කෙරිණි. එහි සඳහන් වූයේ මෙම සිදුවීම සත්‍ය බවත්, හැකර් ප්‍රහාරයකට ලක්ව අදාළ මුදල වෙනත් ගිණුමකට බැරවී ඇති බවත්ය. ඉන් අනතුරුව රාත්‍රී 9.30ද ඉකුත් වීමෙන් පසු මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ දැනටම මේ සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ආණ්ඩුව පැත්තෙන් ගෙන ඇති බවය.

ඉන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශක් සිදුකිරීමට පියවර ගත්තේය. ඒ සමගම මුදල් කමිටුවේ සභාපතිවරයා වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බ්‍රහස්පතින්දා පෙරවරුවේ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ මෙම සිදුවීම දැනගත් වහා මුදල් කමිටුවේ සාමාජිකයන් සමග වට්ස්ඇප් මාර්ගයෙන් සාකච්ඡා කොට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පස්වරු 1.00ට පාර්ලිමේන්තුවට කැඳවීමට පියවර ගත් නමුත් සිහිකැඳවීම් 5ක් සිදුකළද, මුදල් ලේකම්වරයා ඊට ප්‍රතිචාර නොදැක්වූ බවය. කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා දහවල් වරුවේ මුදල් කමිටුව හමුවට ගොස් පැහැදිලි කිරීමක් කරනවා වෙනුවට මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මාධ්‍ය හමුවට පැමිණ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළේය. එහිදී ඔහු කියා සිටි විශේෂ කාරණයක් වූයේ මෙම සිදුවීම මාස 5කට පෙර සිදුවුවත් මෙය ප්‍රසිද්ධියට පත් නොකළේ හැකර්වරුන් ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන ඔවුන් සැඟවීමට කටයුතු කරනු ඇති බවට මතුවූ සැකය නිසා යැයි කියාය.

කෙසේ වෙතත් මේ ආන්දෝලනය බොහෝ දෙනා සලකන්නේ යහපාලන ආණ්ඩුවට කැරකුණු මහබැංකු සිද්ධියේ දෙවැනි කොටස මේ ආකාරයෙන් මාලිමා ආණ්ඩුවට එරෙහිව ආරම්භ වී ඇතැයි කියාය. විශේෂයෙන්ම ඒ පිළිබඳ මේ වනවිට සමාජ මාධ්‍යවලද දැඩි කතාබහක් මතුව ඇති අතර, ආණ්ඩුව පැත්තෙන් සෝදන අයටද ගල්අඟුරු වංචාව සේදීමට නොහැකි වූවා සේ මෙම සිදුවීමද සේදිය නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන ආකාරයක් මේ වනවිට දැකගන්නට පුළුවන. එහිදී මෙම මුදල් බැරවී තිබුණේ ඔස්ටේ්‍රලියාවට නිසා, ඔස්ටේ්‍රලියාවට සම්බන්ධ ඇතැම් පුද්ගලයන්ගේ නම් ගම් සඳහන් කරමින් පවා සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය.

ඇයි සී.අයි.ඩී. නොගියේ?

කෙසේ වෙතත් මෙහිදී ආණ්ඩුවට පිළිතුරු දීමට අසීරු ප්‍රශ්න කීපයක්ම විපක්ෂය විසින් මතුකර ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඉන් පළමු ප්‍රශ්නය වී ඇත්තේ ආණ්ඩුව මාස 5ක කාලයක් මෙම බරපතළ සිදුවීම සඟවාගෙන සිටීමට කටයුතු කළේ මන්දැයි කියාය. දෙවැනි ප්‍රශ්නය වී ඇත්තේ ඉතා කුඩා සිද්ධියක් වුවද එය මුල් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෑමේ සම්ප්‍රදායක් ආණ්ඩුව ඇතුළේ පසුගිය කාලයේ පැවැතියද (ආචාර්ය, මහාචාර්ය තනතුරු සම්බන්ධයෙන් පවා) මෙවැනි බරපතළ සිදුවීමක් මාස 5ක් ගතවන තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි නොකළේ මන්දැයි කියාය. මෙහිදී පැනනැගී ඇති ඊළඟ ප්‍රශ්නය වී ඇත්තේ මීට පෙර මෙම මුදල් හුවමාරු සිදුකිරීම් මහ බැංකුව යටතේ සිටින අත්දැකීම් සහිත, ක්ෂේත්‍රය පිළිබඳ මනා පරිචයක් සහිත විශේෂඥයන් විසින් සිදුකළද, එය හදිසියේම මහා භාණ්ඩාගාරයේ සිටින අත්දැකීම් රහිත පුද්ගලයන් අතට පත්කළේ මන්දැයි කියාය. ඇතැමුන් නම් කියා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදී තිබූ උපදෙස්වලට අනුව මෙම ණය ගෙවීමේ කටයුතු මහ බැංකුවෙන් ඉවත් කොට මහා භාණ්ඩාගාරය වෙත ලබාදී ඇති බවකි.

මේ අතර මෙවැනි ගනුදෙනුවක් සිදුවන බවට තොරතුරු වාර්තා වීමත් සමගද එක්තරා මහබැංකු නිලධාරියකු එම ගනුදෙනුව සැකසහිත බව ප්‍රකාශ කොට නැවත ගිණුම් අංකය පරීක්ෂා කරන ලෙසට භාණ්ඩාගාර නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබූ බවක්ද විවිධ පාර්ශ්වවලින් රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඒ අනුව මෙම සිදුවීම ඉදිරියේදී විශාල දේශපාලන කතිකාවක් බවට පත්වන ලකුණු දැනටමත් පහළ කොට අවසානය.

කෙසේවෙතත් මෙම තොරතුර වාර්තා වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිටියේ දකුණේ සංචාරයක නිරත වෙමිනි. ඒ අනුව තොරතුරු වාර්තා වීමත් සමග වහාම සජබයේ සිටින ආර්ථික විශේෂඥයන් පස්දෙනකු සමග සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පැවැත්වීමට සජිත් පියවර ගත්තේය. එහිදී සජිත් ඔවුන්ගෙන් විමසා සිටියේ මෙවැනි සිදුවීමක් කෙසේ සිදුවිය හැකිද, කා අතින්ද, එමගින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල මොනවාද, එවැන්නක් වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යනාදී තොරතුරුය. ඒ වනවිටත් එම ආර්ථික විශේෂඥයන්ටද මෙම සිදුවීම සම්බන්ධයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ලැබී තිබූ අතර, එහිදී ඇතැම් සංවේදී තොරතුරු ඔවුන් සජිත්ට දැනුම් දුන්නේ, ‘මේවා දැන්මම එළියට දාන්න එපා…’ යන පදනම යටතේය. ඒ අනුව සජිත් එහිදී එම සංවේදී තොරතුරු සාවධානව අසා සිටි අතර, විශේෂයෙන්ම මෙම ගැටලුවේ තාක්ෂණික පැත්ත පිළිබඳ ඔවුන්ගෙන් විමසා සිටීමට සජිත් කටයුතු කළේය.

එම සාකච්ඡාවෙන් අනතුරුව සජිත් නැවතත් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූයේ හිටපු මහබැංකු අධිපතිවරයකු ලෙස රාජකාරි කළ කීර්තිමත් පුද්ගලයකු සමගය. එහිදී දෙදෙනා අතරද විනාඩි 20ක පමණ සාකච්ඡාවක් පැවැති අතර, එහිදීද සජිත් මෙම ගනුදෙනුව සිදුව ඇති ආකාරය පිළිබඳවත්, එය මහ බැංකුව යටතේ පැවැතියදී සිදුකළ ආකාරය පිළිබඳවත්, එවැන්නක් සිදුකිරීමේදී මහබැංකුව ගෙන තිබූ ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝව තොරතුරු විමසීමට කටයුතු කොට තිබිණි. එම සාකච්ඡාවෙන් පසු සජිත් සජබයේ කළමනාකරණ කමිටුව සමගද සූම් සාකච්ඡාවක නිරත වෙමින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදීත්, ඉන් පිටතදීත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දිර්ඝව සාකච්ඡා කිරීමට පියවර ගත්තේය.

ෂම්මි එළියට ආ හැටි

මේ ආකාරයට බාල ගල්අඟුරු සිද්ධියෙන් පසුව ලාල්කාන්තගේ නිවසේ සිද්ධියත්, ඩොලර් 286කට ඩීසල් බැරලයක් මිලට ගැනීමේ සිද්ධියත්, ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට බැරකිරීම ආදී වශයෙන් එකින් එක මතුවූ ප්‍රශ්න මුල් කරගෙන රට ඇතුළේ ආණ්ඩුවට තිබූ ජනප්‍රියතාව විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බවක් ආණ්ඩුවට වැටහී ගොස් තිබිණ. ඒ අනුව පසුගිය සතියේ ආණ්ඩුව ඇතුළේ පැවැති සාකච්ඡාවකින් කියැවුණේ වහාම මේ තත්ත්වය මගහරවා ගැනීම සඳහා ජනප්‍රිය තින්දු තීරණ කිහිපයක් හෝ ගත යුතු යැයි කියාය. ඒ අනුව පසුගිය සතියේ ඩේලිමිරර් පුවත්පතේ පළවූ මුල් පුවතකින් කියැවුණේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වූ ශම්මි සිල්වා මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කොට ඇතැයි කියාය. සාමාන්‍යයෙන් ක්‍රිකට් යනු මුළු රටේම ජනතාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ආදරය කරන ක්‍රීඩාවක් නිසා පසුගිය කාලයේ ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් පරාජයන් හේතුකොට ගෙන ශම්මි සිල්වා මහතා එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට බොහෝ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබිණි. එමෙන්ම සති කීපයක සිට ආණ්ඩුවට දැඩි පක්ෂපාතී ස්ථාවරයක සිට මාධ්‍ය මෙහෙයවන සිරස මාධ්‍ය ජාලය සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ විශාල කාලයක් වෙන් කරමින් ක්‍රිකට් ආයතනයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමටද කටයුතු කරමින් සිටියේය. ඒ අනුව බොහෝ දෙනා සැක මතුකළ කාරණයක් වී තිබුණේ ආණ්ඩුවේ ඉහළින් ආ උපදෙසකට අනුව සිරස නාලිකාව විසින් ක්‍රිකට් ආයතනයට සහ ශම්මි සිල්වාට එරෙහි මතවාදයක් රට ඇතුළේ ගොඩනගමින් සිටි බවත්, අවසානයේදී එය ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස පෙන්වමින් ශම්මි සිල්වා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට සැලසුම් කොට තිබූ බවත්ය. නමුත් සිරස සති කීපයක් තිස්සේ ක්‍රිකට් ආයතනයට එරෙහිව මතවාදයක් රට ඇතුළේ ගොඩනගන්නට උත්සාහ කළද එය පරයමින් බාල ගල්අඟුරු සිද්ධිය, ලාල්කාන්තගේ නිවසේ සිද්ධිය, ඩීසල් බැරලයක් ඩොලර් 286ක් වැනි ඉහළ මිලකට මිලදී ගැනීම වැනි සිද්ධිවලට ඊට වඩා ජනතාවගේ උනන්දුවක් යොමුව තිබීම නිසා ක්‍රිකට් සම්බන්ධ ප්‍රචාරයට ජනතාවගේ වැඩි අවධානයක් යොමුව තිබුණේ නැත.

කෙසේ වෙතත් ගල්අඟුරු සිද්ධිය ආරම්භ වීමටත් ප්‍රථම රට ඇතුළේ තිබූ මතයෙන් කියැවුණේ ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනස් විය යුතු බවත්, එසේ වෙනස් වන්නේ නම් රටම පමණක් නොව ජාත්‍යන්තරයත් පිළිගන්නා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොෂාන් මහානාම වැනි සුපිරිසිදු චරිතයකට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුර භාරදිය යුතු බවත්ය. ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකොට තිබූ අතර, ජනාධිපතිවරයාගේ උත්සාහය වී තිබුණේ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත්කොට ස්වාධීන පුද්ගලයකු හට එහි සභාපති ධුරය භාරදීමය. ඒ අනුව තුන්වැනි පාර්ශ්වයක් හරහා ජනාධිපතිවරයා ශම්මි සිල්වාටද පණිවුඩයක් යොමුකරමින් ක්‍රිකට් ආයතනය තුළ යම් වෙනසක් සිදුකිරීමට මේ වනවිට කාලය පැමිණ ඇති බවක් දැනුම් දී තිබූ බවක්ද ආරංචිය.

කෙසේ වෙතත් සියල්ලන්ම පුදුමයට පත්කරමින් ආණ්ඩුව පත්කිරීමට සූදානම් බව කියන නව අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස මාධ්‍ය වාර්තා කොට තිබුණේ රොෂාන් මහානාමගේ නම නොව, සජබයේ මොරටුව ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන, ඉකුත් මහ මැතිවරණයේදී කොළඹින් තරගවැදී පරාජයට පත්වුණු, පසුව කොළඹ නගරාධිපති අපේක්ෂකත්වය ඉල්ලා එයද නොලැබුණු, සජබ ආර්ථික කමිටුවේ කටයුතු කරන ඉරාන් වික්‍රමරත්නගේ නමය. ඒ අනුව මෙම නම මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග බොහෝ දෙනාට මතුවූ කුතුහලය වූයේ සජබ සාමාජිකයකුගේ නම මාලිමා ආණ්ඩුවක් පැත්තෙන් එළියට ආවේ කෙසේදැයි කියාය.

මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරයකදී අප වාර්තා කර සිටි විශේෂ තොරතුරක් වූයේ සජබයේ සිටින ඇතැම් ආර්ථික උපදේශකවරුන් හොරෙන් හොරෙන් ආණ්ඩු පක්ෂයට උපදෙස් ලබාදීමට කටයුතු කරනවා යැයි කියාය. මේ කණ්ඩායම පසුගිය කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවටද උපදෙස් ලබාදී තිබූ බවක්ද අපි එහිදී සඳහන් කළෙමු. මීට අමතරව ජනාධිපතිවරයා අයවැය සකස් කරද්දී සජබයේ ආර්ථික උපදේශකවරුන් අනුර කුමාර දිසානායක මහතාට අයවැය සකස් කිරීම සඳහා උපදෙස් ලබාදී තිබූ බවක්ද අපි මෙම ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කර සිටියෙමු. එහිදී අප වැඩිදුරටත් කියා සිටියේ සජබ කළමනාකරණ කමිටුවේ සිටින ගමන් මාලිමා ආණ්ඩුවේ අයවැයට එළිපිට ප්‍රහාර එල්ල කරන මෙම පිරිස් හොර රහසේ ආණ්ඩුවත් සමග ඩීල් දමා ආණ්ඩුවේ අයවැය සකස් කරන නිලධාරීන්ට ආර්ථික දේශන සහ උපදෙස් ලබාදීමට කටයුතු කොට ඇතැයි කියාය. අප කළ මෙම අනාවරණය හේතුවෙන් මේ ඇතැම් සජබ ආර්ථික උපදේශකවරුන් ‘මව්රට’ සමග දේශපාලන වෛරයකින් පසුවන බවද අප නොදන්නවා නොවේ. නමුත් අපට ඊට කරන්නට දෙයක් නැත. අප වාර්තා කරන්නේ ජනතාව දැනගත යුතු සත්‍ය දේශපාලන තොරතුරු වීම ඊට හේතුවය.

ඉරාන් ආවේ කොහොමද?

මෙවැනි පසුබිමක් යටතේ රොෂාන් මහානාම වැනි පිරිසිදු චරිතයක් මුළු රටම ඉල්ලද්දී හදිසියේම සජබ ආසන සංවිධායකවරයකු වූ ඉරාන් වික්‍රමරත්න මහතාගේ නම ක්‍රිකට් සභාපති ධුරය සඳහා යෝජනා වූයේ කෙසේද? එසේ නම් අප මීට මාස ගණනාවකට ඉහතදී වාර්තා කළ තොරතුරු සහ ඉරාන් වික්‍රමරත්න අතර කිසියම් සබඳතාවක් තිබේද?

කෙසේ වෙතත් ආණ්ඩුව ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති තනතුර සඳහා ඉරාන් පත්කිරීමට සූදානම් බවට මාධ්‍ය වාර්තා කිරීමත් සමග සජබයේ සිටින මන්ත්‍රීවරුන්ටද ඉරාන් සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුව තිබිණි. එහිදී ඔවුන් එකිනෙකාට එම තොරතුරු ලබාදෙමින් ප්‍රශ්න කොට තිබුණේ ආණ්ඩුවෙන් එවැනි තනතුරක් ගන්නවා නම් ඉරාන්ට තවදුරටත් සමගි ජන බලවේගය ඇතුළේ දේශපාලනය කිරීමට හැකිදැයි කියාය. එමෙන්ම ඉරාන් සහ මාලිමාව අතර පවතින මේ රහස් ගනුදෙනුව කුමක්ද යන්න පිළිබඳවද බොහෝ දෙනා මෙහිදී ප්‍රශ්න කර සිටි ආකාරයක් දැකගත හැකි විය. මේ සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරුන් අතරේ විශාල සංවාදයක් යද්දී මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සජිත්ට කතාකොට මේ පිළිබඳ සජිත්ගෙන්ම තොරතුරු විමසීමට පියවර ගෙන තිබිණි. සජිත් ඒ සියලු දෙනාටම කියා සිටියේ ‘මට තාම ඉරාන් එහෙම දෙයක් දැනුම් දීලත් නෑ, මම මේක ඉරාන්ගෙන් අහන්න යන්නෙත් නෑ. හැබැයි ඉරාන් මේ පක්ෂය ඇතුළේ මොන තනතුරු දැරුවත් එයා ආණ්ඩුවෙන් දෙන තනතුරකට යනවා නම් එයාට තවදුරටත් සජබ දේශපාලනය කරන්න බෑ. එයාට දිගටම මාලිමාවත් එක්ක එයාගේ දේශපාලනය කරන්න පුළුවන්. මෙහෙම දෙයක් තියෙනවා කියලා ඉරාන් මට කිව්වොත් ඒ කියන වෙලාවට මම ඒ තීරණය ගන්නම්….’ යැයි කියාය.

ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධ මාතෘකාව මාධ්‍ය විසින් වාර්තා කිරීමට පෙරාතුව ජනාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් කිසියම් අධ්‍යයනයක නිරත වී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මන්ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට අනුව අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීම ක්‍රිකට් තහනම් කිරීම දක්වා යා යැකි බරපතළ තත්ත්වයක් වී තිබීම ඊට හේතුවය. මීට පෙරද රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩු සමයේදී ක්‍රිකට් ආයතනය වෙනුවට අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට දැරූ උත්සාහය අවසන් වූයේ ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනම් කිරීමට කටයුතු කිරීමෙන් පසුවය. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා යටතේ අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කළහොත් ලංකාවේ ක්‍රිකට් තහනම් වනු ඇද්ද යන ප්‍රශ්නය සම්බන්ධයෙන්ද පසුගිය කාලයේ ඇතැමුන් මත පළකොට තිබිණි. මේ සම්බන්ධයෙන් ඇතැමුන් ප්‍රශ්න කරද්දී ජනාධිපතිවරයාගේ පැත්තෙන් ප්‍රකාශ කොට තිබුණේ ‘ඒ ප්‍රශ්නය මම බලාගන්නම්’ යැයි කියාය. මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිත්වය දරන්නේ ඉන්දියාවේ ජේ ෂා ය. ජේ ෂා යනු ඉන්දීයාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා වන අමිත් ෂාගේ පුත්‍රයාය. එමෙන්ම මේ වනවිට මාලිමා ආණ්ඩුව සහ ඉන්දීය රජය අතර සමීප සබඳතාවක් මතුව ඇති නිසා ජනාධිපතිවරයා එම ප්‍රශ්නය විසඳීම තමන් විසින්ම භාරගෙන ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

අනෙක් අතට ජනාධිපතිවරයා සහ වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අතර පවතින්නේ ඉතා කිට්ටු සබඳතාවක් බව කිසිවකුටත් රහසක් නොවේ. රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේදී ශම්මි සිල්වාට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුළේ බරපතළ විවාදයක් සිදුවෙද්දී එවක මාලිමාවේ මන්ත්‍රීවරයකුව සිටි අනුර කුමාර දිසානායක මහතා එම විවාදය මගහැරි බවට විශාල චෝදනාවක්ද එකල විපක්ෂයෙන් එල්ල වී තිබිණි. එම පසුබිම හේතුකොට ගෙන ජනාධිපතිවරයා කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ සාකච්ඡාවකින් තොරව ශම්මිව එම තනතුරෙන් ඉවත් කරනු ඇතැයි කිසිසේත්ම සිතිය නොහැක. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ ජනාධිපතිවරයා සහ ශම්මි අතර ඉදිරි දින කීපය ඇතුළත මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත යැයි කියාය. එම සාකච්ඡාවේදී ශම්මිව ඉවත් කරනවාද, එසේ නම් ඉවත් කරන්නේ කෙසේද, ඉන් අනතුරුව කුමක් සිදුකරන්නේද යන්න පිළිබඳ දෙදෙනා අතර සාකච්ඡා වනු ඇති බවක්ද ආරංචිය.

කෙසේ වෙතත් පසුගිය සතියේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් නලින්දගෙන් ප්‍රශ්න කරද්දී නලින්ද කියා සිටියේ ශම්මිව ඉවත් කිරීම පිළිබඳ කැබිනට් මණ්ඩලයේ කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවකි.

ඩේලිමිරර් ප්ලාන්ට් එකක්ද?

මේ අතර ක්‍රිකට් සම්බන්ධයෙන් මේ පුවත පළවීමත් සමග විශ්වාස කළ නොහැකි තරමේ විවිධ පුද්ගලයන්ගේ නම් ගම් ඈඳමින් දේශපාලන ක්ෂේත්‍රයේ කටකතා රැසක් පසුගිය සතියේ පැතිර ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඉන් එක් කටකතාවකින් කියැවුණේ මෙම පුවත පළවීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වන ජේ ෂා මහතා සමග ශම්මි සිල්වා සාකච්ඡාවක් පවත්වා ඇති බවය. මීට අමතරව පසුගිය කාලයේදී ආණ්ඩුවේ ඉහළම තැන් හා සම්බන්ධකම් පවත්වනවා යැයි කියන ප්‍රකට ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වී ඇති බවත්, ඊට රටම දන්නා කියන පාස්ටර්වරයකුත් සහභාගි වී සිටි බවත් මෙසේ පැතිර ගිය තවත් කටකතාවකින් කියැවිණි. ඒ අනුව එම සාකච්ඡාවේදී ආගමික පදනමින් ඉරාන්ගේ නම ක්‍රිකට් සභාපති ධුරය සඳහා යෝජනා වී ඇති බවක්ද කියැවේ.

මෙම සිදුවීම සිදුවන අතරවාරයේ මහා භාණ්ඩාගාරයේ සිදුවීම වාර්තා වීමත් සමග ආණ්ඩුවට තිබූ ජනප්‍රසාදය බරපතළ ලෙස කඩාවැටීමකට ලක්ව තිබීම නිසා එම ජනප්‍රියතාව යළිත් ගොඩනගා ගැනීමට ශම්මි සිල්වා ක්‍රිකට් සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අමතරව තවත් යෝජනා කීපයක් සම්බන්ධයෙන්ද ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවකට ලක්ව තිබිණි. ඒ අනුව ඉතා ජනප්‍රිය පත්කිරීම් කීපයක්ම සිදුකිරීමට ආණ්ඩුව මේ වනවිට තීරණය කොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එහිදී මේ වනවිට පාඩු ලබමින් තිබෙන ආන්දෝලනාත්මක ආයතනයක සභාපති තනතුර සඳහා චන්ද්‍රිකාගේ ආණ්ඩු සමයේදී රාජකාරි කළ සභාපතිවරයකු යළිත් කැඳවීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවක් ආරංචිංය. ඒ හරහා ආණ්ඩුව සැලසුම් කොට ඇත්තේ රටේ ව්‍යාපාරික ප්‍රජාවට සහ ජාත්‍යන්තරයට හොඳ පණිවුඩයක් ලබාදීමටය. කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමේදී කියා සිටියේ රට ගොඩනැගිය හැකි, දැනුමෙන් සන්නද්ධ, අලුත් තාක්ෂණයෙන් පරිපූර්ණ, අතිදක්ෂ වෘත්තීයවේදීන්, ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, තාක්ෂණික විශේෂඥයන්, ඩිජිටල් විශේෂඥයන් තමන් සමග සිටින බවකි. නමුත් එවැන්නන් සිටියදී ආණ්ඩුව චන්ද්‍රිකාගේ ආණ්ඩු සමයේදී සභාපතිවරයකු ලෙස කටයුතු කළ අයකු නැවත වතාවක් කරළියට ගෙන ඒමට තීන්දු කිරීම විශේෂ සිදුවීමකි.

කලකිරුණු 12 දෙනා

මීට අමතරව ලබන ජුනි මුල හෝ මැදභාගයේදී පෞද්ගලික අංශයේ පිළිගැනීමක් තිබෙන, මෑතකදී ජනප්‍රිය උපදේශකවරයකු වශයෙන් ප්‍රසිද්ධියක් ලත් අයකු ආණ්ඩුවේ ඉහළ තනතුරකට පත්කිරීමට සැලසුම් කරමින් සිටින බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ආණ්ඩුව මේ සියලු දේ සැලසුම් කර ඇත්තේ දැනට එක දිගට බිඳවැටෙමින් පවතින ආණ්ඩුවේ ජනප්‍රියතාව කෙසේ හෝ යළි ඉහළ නංවා ගැනීමේ සැලසුම ඇතිවය. නමුත් රට ඇතුළේ සිදුවෙමින් පවතින මෙම බරපතළ කඩාවැටීම මාලිමා ආණ්ඩුව ඇතුළේ සිටින බොහෝ දෙනකුටද දැනටමත් වැටහී ගොස් ඇති ආකාරයක් පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි. ඒ, සමාජ මාධ්‍ය බොහෝ ප්‍රමාණයක් වාර්තා කොට තිබූ විශේෂ පුවතක් මුල් කරගෙනය. එම පුවතේ සඳහන් වූයේ ආණ්ඩුව ඇතුළේ සිටින මන්ත්‍රීවරුන් 12 දෙනකු එක්ව පැලවත්ත පක්ෂ මූලස්ථානයට ලිපියක් යොමුකොට ඇති ආකාරයකි. එම ලිපියේ සඳහන්ව තිබුණේ සිදුවෙමින් පවතින සිදුවීම් මුල්කොට ගෙන එම මන්ත්‍රීවරුන් කලකිරීමට පත්ව සිටින බවත්, වහාම මෙම තත්ත්වය වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් තමන්ටද දැඩි තීන්දු තීරණවලට යෑමට සිදුවනු ඇති බවත්ය. කෙසේ වෙතත් මෙම පුවත ආණ්ඩුව පැත්තෙන් හෝ පැලවත්ත පක්ෂ මූලස්ථානයෙන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු නොකිරීමද විශේෂ සිදුවීමක් ලෙස සැලකිය හැකිය. පහත දැක්වෙන්නේ මාධ්‍ය එම පුවත වාර්තා කොට තිබූ ආකාරයය.

‘ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් 12 දෙනකුගෙන් සමන්විත පිරිසක්, රජයේ පවතින ඇතැම් අඩුපාඩු පෙන්වා දෙමින් සහ සිය පෞද්ගලික මට්ටමේ ගැටලු ඉදිරිපත් කරමින් මාලිමා පක්ෂ මූලස්ථානය වන පැලවත්ත කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

මෙම තීරණාත්මක ලිපිය සම්බන්ධයෙන් අනාවරණ වී ඇති ප්‍රධාන තොරතුරු කිහිපයක් මෙසේය.

මෙම පිරිසට කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු සහ පසුපෙළ මන්ත්‍රීවරුන් හත්දෙනකු ඇතුළත් වන බව පැවසේ. මොවුන් අතරින් දෙදෙනෙකු මේ වනවිට විදේශගතව සිටින බවද වාර්තා වේ. මෙම මහජන නියෝජිතයන් අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ආරක්ෂක අංශවල හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නීතිඥවරුන් සහ වෛද්‍යවරුන් වැනි විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් සිටින බව සඳහන්ය. ඔවුන් ඍජුවම ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් නොවන අතර මාලිමා සන්ධානය හරහා දේශපාලනයට එක්වූ වෘත්තිකයන් වේ.
වාර්තා වන අන්දමට මෙම පිරිසගේ ප්‍රධාන කනස්සල්ලට හේතුවී ඇත්තේ ඔවුන් මන්ත්‍රී ධුරවලට පත්වීමට පෙර වෘත්තිකයන් ලෙස ලැබූ ඉහළ ආදායම් අහිමිවී, වර්තමානයේ මන්ත්‍රී වරප්‍රසාද සීමාකිරීම් හමුවේ ‘යැපුම් මට්ටමෙන්’ ජීවත් වීමට සිදුවීමයි. මීට අමතරව ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් පිළිබඳවද ඔවුන් සිය විවේචන ඉදිරිපත් කර ඇත. පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව, මෙම ලිපිය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ පක්ෂයේ ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.’

කෙසේ වෙතත් ආණ්ඩුව ඇතුළේ මන්ත්‍රීවරු විශාල පිරිසක් කලකිරීමට පත්ව සිටින බවක් ඇතැම් මාධ්‍ය පසුගිය සතියේ වාර්තා කළද අප මෙම තීරයේ ඒ පිළිබඳව වාර්තා කළේ අද ඊයේ නොවේ. මීට වසරකට ඉහතදී, එනම් 2025 පෙබරවාරි මාසයේදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් සිදුකරමින් අප කියා සිටියේ මාලිමා ආණ්ඩුව ඇතුළේ මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ දැඩි කලකිරීමකට පත්ව සිටින බවත්, කුමන හෝ මොහොතකදී එම මන්ත්‍රීවරුන් දැඩි තීන්දු තීරණ ගැනීමේ තත්ත්වයක් මතුව ඇති බවත්ය. පහත පළවෙන්නේ 2025 වසරේ පෙබරවාරි මස 24 දින ‘රාජ්‍ය රහස්’ තීරය මාලිමා ආණ්ඩුව ඇතුළේ කලකිරීමට ලක්ව සිටින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පළමු වරට තොරතුරු වාර්තා කළ ආකාරයය.

මාලිමාවෙන් 15ක් ගැලවෙයි?

මේ දිනවල සමාජ මාධ්‍යවල විශාල වශයෙන් වාර්තා කර ඇති පුවතක් වී ඇත්තේ මාලිමාවේ මන්ත්‍රීවරුන් 15කට ආසන්න ප්‍රමාණයක් නුදුරේදීම මාලිමා ආණ්ඩුවෙන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇතැයි කියාය. මාලිමාව බලයට පත්වී මේ වනවිට මාස පහකට අධික කාලයක් ගතව ඇති හෙයින් ඇතැම් සමාජ මාධ්‍ය දැන් දැන් මේ පුවත මහ ලොකුවට වාර්තා කිරීමට කටයුතු කළත් අප මෙම පුවත ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළේ මාලිමාවේ තුනෙන් දෙකක ආණ්ඩුව පිහිටුවා සති දෙක තුනක් ඉක්ම යද්දීය. එහිදී අප පෙන්වා දුන්නේ මාලිමා ආණ්ඩුව ඇතුළේ විවිධ ස්වරූපවලින් ජවිපෙ-මාලිමා ගැටුමක් දැකගන්නට ඇතැයි කියාය. ආචාර්ය-මහාචාර්ය ප්‍රශ්නය, ප්‍රතිපත්ති ප්‍රශ්න ආදී විවිධ මාතෘකා මුල්කරගෙන මෙම ගැටුම මතුවෙමින් පවතින බවත්, ඇතැම් අවස්ථාවලදී ජවිපෙ දේශපාලන මණ්ඩලය මේ නිසා ඉතා උණුසුම්කාරී වී ඇති බවත් අපි එහිදී වාර්තා කර සිටියෙමු.

කෙසේ වෙතත් මාලිමාවෙන් මන්ත්‍රීවරුන් 15කට ආසන්න පිරිසක් ඉවත් වීමට සූදානමින් සිටින පුවත සම්බන්ධයෙන්ද පසුගිය සතියේ අපි විශේෂ සොයාබැලීමක් කළෙමු. ඒ අනුව මෙවර අප මෙම කතාවේ ඇත්ත කතාව පාඨකයන්ට හෙළිකිරීමට සූදානම්ය.

159ක් වූ මාලිමා මන්ත්‍රීවරුන්ගෙන් 107ක් නියෝජනය කරන්නේ මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයෙනි. එහි උපන්ගෙයි ජවිපෙ මන්ත්‍රීවරුන් සිටින්නේ 52කි. මේ පනස් දෙදෙනා පූර්ණකාලීන ජවිපෙ සාමාජිකයන්ය. නමුත් 107ක් වූ මාලිමා මන්ත්‍රීවරුන්ගෙන් අතිබහුතරයක් ආචාර්ය – මහාචාර්ය පදවි මෙන්ම ප්‍රධාන පෙළේ සමාගම්වල සහ ආයතනවල ඉහළ තනතුරු දැරූ, ඉහළ වරප්‍රසාද සහිත, ඉහළ වැටුප් ලැබූ පිරිස්ය. නැතහොත් ඉහළ මට්ටමේ වෘත්තිකයන්ය. ඔවුන් මාලිමාවේ මන්ත්‍රී ධුරවලට පත්වූයේ ඒ සියලු වරප්‍රසාද වැටුප් පසෙක තබාය.
එමෙන්ම මෙම පිරිස ආණ්ඩු බලය ගැනීම සඳහා මැතිවරණ වේදිකාවේදී කියා සිටියේ මාලිමා මන්ත්‍රීවරුන් වැටුප්, වරප්‍රසාද, වාහන, ඉන්ධන, කාර්ය මණ්ඩල ආදිය ලබාගන්නේ නැතැයි කියාය. ජනතාවට දුන් එම පොරොන්දුව නිසා ඔවුන්ට දැන් ඒවා ලබාගැනීමේ අපහසුතාවක්ද පවතී. මෙසේ වරප්‍රසාද නොමැතිව කට්ටක් කෑමට පූර්ණකාලීන ජවිපෙ සාමාජිකයන්ට හැකියාව තිබුණත්, ඉහළ මට්ටමේ වැටුප්, රැකියා සහ වරප්‍රසාද පසෙක තබා පාර්ලිමේන්තු පැමිණි මාලිමාවේ යම් කණ්ඩායමකට මේ වනවිට මෙය විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ අනුව ඔවුන් මේ දිනවල යම් තක්සේරුවක් කරමින් සිටින්නේ තවදුරටත් මෙම කට්ට කාගෙන, පඩිනඩි, වාහන, ඉන්ධන, වරප්‍රසාද නැතිව අවුරුදු පහම මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ සිටිනවාද, එසේත් නැතිනම් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී පරණ පුරුදු රැකියාවලට ගොස් තමන් එතෙක් ගෙවූ සැපපහසු ජීවිතය ගතකරනවාද කියාය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මාලිමාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සිදුවෙමින් පවතින මෙම සංවාදය මේ වනවිට උච්ච තැනකට පත්ව ඇති බවත්, කොයි මොහොතේ හෝ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මාලිමාවෙන් ඉවත් වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බවත්ය.

ගියොත් හොඳයි

ඒ අනුව මාලිමාවේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එසේ ඉවත් වුවහොත් ඉන් අනතුරුව සිදුවන්නේ කුමක්ද? මතුවෙමින් පවතින මෙම තත්ත්වය ජවිපෙද අවබෝධ කරගෙන නැතුවා නොවේ. නමුත් ජවිපෙ බලා සිටින්නේ කොයි මොහොතේ හෝ මෙම මාලිමා මන්ත්‍රීවරුන් සිය ධුරවලින් ඉවත්ව යන තෙක්ය. ඒ, ඔවුන් මන්ත්‍රී ධුරවලින් ඉවත් වූ විට එම හිස්වූ තනතුරු සඳහා පූර්ණකාලීන ජවිපෙ සාමාජිකයන් පත්කර ගැනීමේ ඉඩකඩක් ඔවුන්ට මතුව ඇති නිසාය. එසේ වූ විට දැනට 52ක්ව සිටින පූර්ණකාලීන ජවිපෙ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තවත් ඉහළ නංවාගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ. එය ජවිපෙ පැත්තෙන් විශාල වාසියකි. ඒ නිසා ජවිපෙ දැඩි මතධාරීන් පක්ෂයට දැනුම් දී ඇත්තේ මෙම මාලිමා මන්ත්‍රීවරුන් ඉවත් වීම ජවිපෙට වාසිසහගත බවත්, ජවිපෙ මන්ත්‍රීවරුන්ට කටු කා පුරුදු බවත්ය. මේ වනවිට සමාජ මාධ්‍යවල ආරලු බූරලු දමා ජවිපෙ මන්ත්‍රීවරුන් 15කට ආසන්න පිරිසක් මන්ත්‍රී ධුරවලින් ඉවත් වීමට සූදානමින් සිටින බවට පළවන්නේ මේ කතාවය.

මාලිමා සජබ මැයි සටන

මීට අමතරව එළඹෙන මැයි දිනයේදී යළිත් වතාවක් ආණ්ඩුවේ ජනප්‍රියතාව ඉහළ නංවා ගැනීම සඳහා විශේෂ වෙනස්කම් රැසක් සිදුකිරීමටද ආණ්ඩුව මේ වනවිට තීන්දු කොට තිබේ. මීට පෙර ආණ්ඩුව තීන්දු කර තිබුණේ එළඹෙන මැයි දිනයේදී උතුරේත්, කඳුකරයේත්, කොළඹත් ප්‍රධාන මැයි දින රැලි 3ක් පමණක් සංවිධාන කිරීමටය. නමුත් පසුගිය සති දෙක තුන තුළ රට ඇතුළේ සිදුවූ සිදුවීම් මුල් කරගෙන ආණ්ඩුව මේ වනවිට සැලසුම් කොට ඇත්තේ නගර 3ක පමණක් රැලි 3ක් පවත්වනවා වෙනුවට දිස්ත්‍රික්ක 21ම නියෝජනය වන පරිදි මැයි දින පෙළපාළි 21ක් පැවැත්වීමටය. එහිදී දිස්ත්‍රික්ක මට්ටමින් විශාල සෙනගක් සහභාගි කරවාගෙන තවමත් ආණ්ඩුවට විශාල ජනතා ප්‍රසාදයක් ඇති බව පෙන්වීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. ඒ අනුව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රධාන රැස්වීම් දෙකකට සහභාගි වීමට තීරණය කොට තිබේ. ඒ, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක දෙක සම්බන්ධ කරගනිමින් පවත්වන කඳුකරයේ මැයි දින රැලියටත්, මහරගමදී පැවැත්වීමට නියමිත මැයි දින සැමරුමටත්ය. පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා වන ටිල්වින් සිල්වා තංගල්ලේ සහ මාතර පවත්වන මැයි දින සැමරුම්වලට සහභාගි වීමට නියමිතව ඇත. අගමැති හරිනි අමරසූරිය රත්නපුරයේ මැයි දින රැලියටත්, ලාල්කාන්ත මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල මැයි දින රැලිවලටත්, විජිත හේරත් පුත්තලම සහ ගම්පහ මැයි දින රැලිවලටත්, බිමල් රත්නායක උතුරේ මැයි දින රැලියටත් සහභාගි වීමට නියමිතය. මීට අමතරව සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස, අනුර කරුණාතිලක, හර්ෂණ නානායක්කාර යන ඇමැතිවරුන් දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන මැයි දින රැලිවලට සහභාගි වීමට නියමිතය. මාලිමාවේ මෙවර මැයි දින සැමරුමේ තේමාව වී ඇත්තේ ‘ජනරජයට ජන බලයක්’ යන්නය.

සජබය මාලිගාවත්තට

උද්ගත වූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මේ ආකාරයට ජනප්‍රියත්වයෙන් පහළ වැටෙද්දී විපක්ෂය ඔළුව උස්සා ඇති ආකාරයක් මේ වනවිට දැකගැනීමට පුළුවන. මේ නිසාම ගල්අඟුරු වංචාව මුල් කරගෙන කුමාර ජයකොඩි මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමග සජබය තීන්දු කළේ කලින් නොපැවැත්වීමට සැලසුම් කර තිබූ මැයි රැලිය පැවැත්වීමටය. සාමාන්‍යයෙන් මේ වනවිට දේශපාලන තත්ත්වය දෙස බලද්දී මැයි රැලියක් සංවිධානාත්මකව විශාල පිරිසක් සහභාගී කරවාගෙන පැවැත්විය හැකි පක්ෂ ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. මාලිමාව කල්තියාම කියා සිටියේ තමන් මෙවර මැයි රැලිය පවත්වන බවකි. සජබයද මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩා පිටියේ මේ වනවිට මැයි රැලියක් පැවැත්වීමට තීරණය කොට ඇති අතර, ශ්‍රීලනිපය බොරැල්ල කැම්බල් පිටියේ සිය මැයි රැලිය පැවැත්වීමට තීරණය කොට ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය මැයි රැලිය පැවැත්වීමට තීරණය කොට ඇත්තේ කොළඹ හයිඩ් පිටියේදීය. මහ සඟරුවනේ ඉල්ලීම පරිදි වෙසක් පොහෝ දිනය මැයි 30 වැනි දිනට යෙදීමට ආණ්ඩුව තීරණය කොට තිබුණද, එජාපය සහ පොහොට්ටුව මැයි පළමු වැනි දිනටම වෙසක් පොහොය යෙදී ඇති බව කියමින් මැයි රැලි නොපවත්වන බව කල් තියාම ප්‍රකාශයට පත්කර සිටියේය. එජාපය සූදානම් වන්නේ එදිනට ආගමික වතාවත් පවත්වා බුරියානි දන්සලක් දීමටය. නමුත් ඇත්තම කතාව නම් සෙනග දාහක්වත් එකතු කරගැනීමට නොහැකි වීම මත එජාපය මැයි රැලියක් පැවැත්වීමෙන් වැළකී සිටින බවය.

නමුත් ගැටලුව ඇත්තේ එහි නොවේ. මීට පෙර අවස්ථා ගණනාවකදීම අප මෙම තීරයෙන් වාර්තා කර සිටියේ සජබය සහ එජාපය අතර ගොඩනැගෙමින් පවතින සමගිය කඩාබිඳ දැමීම සඳහා එජාපයේ සිටින දෙතුන් දෙනකු තිරය පිටුපස විවිධ මෙහෙයුම් දියත් කරමින් සිටින බවය. පක්ෂ දෙක එකමුතු කිරීම සඳහා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා එජාපයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා වට කීපයක් පැවැත්වූ අතර, එය ඉතා සාර්ථක බව දෙපාර්ශ්වයෙන්ම ප්‍රකාශයට පත්විය. නමුත් පක්ෂ දෙකේ එකමුතුව කඩාබිඳ දැමීම සඳහා එජාපය ඇතුළේ සිටින භූතයන් දෙදෙනකු කටයුතු කරන බව පළමු වතාවට රටට හෙළි කළේ අප නොව, එජාපයේම ජ්‍යෙෂ්ඨයකු වන රවී කරුණානායක මහතාය. හෙතෙම කියා සිටියේ මේ භූතයන් දෙදෙනා රනිල් සමීපයේ සිටිමින් රනිල්වත්, එජාපයත් විනාශ කරනවා යැයි කියාය. රවී කළ මෙම කතාව සාධක සාක්ෂි සහිතවම ඔප්පු කර පෙන්වීමට අවස්ථා ගණනාවකදීම අප මෙම තීරයෙන් කටයුතු කර සිටියෙමු.
සජිත් පසුගිය කාලයේදී රුවන්, නවීන්, අකිල, තලතා, සාගල ආදීන් සමග කළ සාකච්ඡා සාර්ථක වීම මත මේ වනවිට ඇත්තේ එය ලිඛිත ලියවිල්ලක් දක්වා වූ අවසානයක් කරා රැගෙන යෑම පමණි. නමුත් මේ අවස්ථාවේදී ඡන්දයක් හෝ විශේෂ දේශපාලන තත්ත්වයක් නොමැති නිසා පක්ෂ දෙක එකතුකොට ගිවිසුම්ගත වනවාට වඩා සජිත්ගේ සැලැස්ම වී ඇත්තේ මැතිවරණයක් මුල්කරගෙන ඒ ආසන්නයේදී උත්සවාකාරයෙන් මුළු රටටම පෙනෙන පරිදි මෙම පක්ෂ දෙක එකතු කිරීමටය. නමුත් ලිඛිතව පක්ෂ දෙක තවමත් එකතු නොවුණද, බිම් මට්ටමේ සිටින සජබ සහ එජාප පාක්ෂිකයන් දැනටමත් ඒකාබද්ධව කටයුතු කරමින් සිටින ආකාරයක් දැකගත හැකිය. ඒ අනුව සජිත් මැයි දිනය සැලසුම් කරද්දීම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග අදහස් හුවමාරු කරගෙන තිබූ ප්‍රධාන කරුණක් වූයේ මෙවර මැයි රැලියට එජාප ජ්‍යෙෂ්ඨයන්ටද ආරාධනා කොට, එය සජබ-එජාප නායකයන් එකතු වූ අවස්ථාවක් ලෙස අතිඋත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වීමටය. මැයි දිනයට දින කීපයක් තබා සජබ සභාපති කබීර් හෂීම්, සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සමග ඒකාබද්ධව පවත්වන විශේෂ මාධ්‍ය හමුවකදී සජිත් මෙම විවෘත ආරාධනාව එජාප නායකයන් වෙත සිදුකිරීමටද සැලසුම් කර තිබිණි. ඉන් අනතුරුව රංජිත් මද්දුමබණ්ඩාර හරහා නිල ආරාධනාව ලිඛිතව එජාපයට යැවීමටද සජිත් සැලසුම් කර තිබිණි.

කෙසේ වෙතත් සජිත්ගේ මෙම සැලසුම කල් තියාම එජාපයේ සිටින භූතයන් දෙදෙනාටද දැනගන්නට ලිබිණි. ඒ අනුව ලාම්පු තෙල් ගැසූ ගැරඬින් සේ කලබලයට පත් මෙම භූතයන් දෙදෙනා එතැන් සිට කටයුතු කළේ මැයි දිනයේදී ඇතිවීමට යන මෙම එකමුතුව කඩාකප්පල් කිරීමටය. ඒ අනුව මුලින්ම රනිල්ගේ නිවුස් ප්ලාන්ට් කල්ලිය හරහා රනිල්ගේ පවුලට අයත් ලංකාදීප වෙබ් අඩවියේ පුවතක් පළකළ මෙම භූතයන් දෙදෙනා මැයි දිනය වෙසක් පෝය දිනටම යෙදී ඇති බැවින් දේශපාලන රැලි නොපවත්වා ආගමික වතාවත්වලට මුල් තැන දෙන ලෙස නායක හිමිවරුන් විසින් ඉල්ලා ඇති බවට පුවතක් පළකිරීමට පියවර ගත්හ. නමුත් එම ලිපිය ලියූ මාධ්‍යවේදියකුගේ නමක් හෝ එම ඉල්ලීම කළ නායක හිමිනමකගේ නමක් හෝ එහි සඳහන් නොවීම විශේෂ සිදුවීමක් විය. මේ හරහා මෙම භූතයන් දෙදෙනාගේ සැලසුම වී තිබුණේ සජබ මැයි රැලිය කෙසේ හෝ කඩාකප්පල් කිරීමය.

භූතයො වැඩ

ඉන් අනතුරුව මේ භූතයන් දෙදෙනාගෙන් සූත්තර භූතයා මුල්වී විපක්ෂයේ ඒකාබද්ධ රැස්වීම් යැයි කියමින් විවිධ ස්ථානවල රැස්වීම් සංවිධාන කිරීමට පියවර ගෙන තිබිණි. එම රැස්වීම්වලට පැමිණෙන පුද්ගලයන් හරහා එජාපය පොහෝ දිනයට ගරු කරන බවටත්, මේ හේතුව නිසා එජාපය මැයි රැලි නොපවත්වන බවටත් ඔවුන් හරහා මාධ්‍යයට කියවා ගැනීමට මේ සූත්තර භූතයා කටයුතු කොට තිබිණි. මේ හරහා මැයි දින මාතෘකාව වෙනස් කිරීමේ නාඩගමක් මේ සූත්තර භූතයා ආරම්භ කොට තිබිණි.

සූත්තර භූතයාටම හරියන ආකාරයට අනෙක් භූතයාද නිතරම ජී.එල්. පීරිස් මහතාගේ නිවසට දුවමින්, ඒකාබද්ධ විපක්ෂයේ යැයි කියමින් කිසිවකුත් ගණන් නොගන්නා රැස්වීම්, සාකච්ඡා පවත්වමින් මාධ්‍යයට ප්‍රකාශ ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඒ භූතයාගේද සැලසුම වී තිබුණේ සජබ – එජාප නායකයන්ගේ එකමුතුවෙන් පැවැත්වීමට නියමිතව ඇති එජාප මැයි රැලිය කඩාකප්පල් කිරීම විය. මේ බව එජාපයේම ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු දුරකතනය ඔස්සේ සජිත්ටද දැනුම් දීමට කටයුතු කොට තිබිණි. එහිදී සජිත් ඒ සියලු දෙනාටම කියා සිටියේ එකම කතාවකි.

‘කිසි කෙනෙක් කලබල වෙන්න එපා. දැන් යූ.ඇන්.පී. එකේ සමහරු මටනේ චෝදනා කළේ පක්ෂ දෙක එකතු කරන්න මම මොනවත් කරන්නේ නෑ කියලා. හැබැයි මම හැම තිස්සෙම වැඩ කළේ යම් කාලසටහනකට අනුව. අපි අපේ න්‍යායපත්‍රයට අනුව වැඩ කරමු. ඒ අය මේ එකමුතුව කඩන්න වැඩ කරනවා නම් කඩපුදෙන්. අපි අපේ යුතුකම ඉටු කරමු. අපේ ආරාධනාව පිළිඅරගෙන මැයි රැලියට එන ඕනෙම කෙනෙක් අපි සාදරයෙන් පිළිගන්නවා….’ යනුවෙන් එහිදී සජිත් ඒ ඇමතුම්වලට පිළිතුරු ලබාදෙමින් පැවැසීය.

චම්පික වෙනස් වෙයි

සාමාන්‍යයෙන් දේශපාලනයේදී වචන වෙනස් කිරීම, බොරු කීම, ජනතාව ඇන්දවීම කාලයෙන් කාලයට එක එක ස්වරූපයෙන් සිදුවන්නකි. මාලිමා ආණ්ඩුවේ ප්‍රධානීන් බලයට ඒමට පෙර කළ ප්‍රකාශ සහ බලයට පත්වීමෙන් පසු ගෙනයන වැඩපිළිවෙළ දෙස බලන විට අද රටේ බහුතර ජනතාව මේ බව හොඳහැටි වටහාගෙන ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. පසුගිය සතියේ මෙසේ වචන වෙනස් කරන දේශපාලනයේ අලුත්ම සිදුවීමක් එළියට ආවේය. ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කළ ප්‍රකාශයක් මුල් කරගෙනය. එහිදී මීට වසර තුනකට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් චම්පික පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කියා සිටියේ තවමත් නොවිසඳුණු ප්‍රශ්න හතරක් ඇති බවය. එම මාධ්‍ය හමුවේදී හමුදා බුද්ධි අංශවලට චෝදනාවක් එල්ල කිරීමටද චම්පික කටයුතු කොට තිබිණි.

කෙසේ වෙතත් පසුගිය සතියේ නැවත වතාවක් මාධ්‍ය හමුවකට එක්වූ චම්පික කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්පූර්ණයෙන්ම මූලධර්මවාදී ජිහාඩ් කල්ලියක් විසින් සිදුකළ එකක් බවත්, එය ඇමෙරිකාවේ එෆ්.බී.අයි. වාර්තාවෙන්ද තහවුරු කර ඇති බවත්ය. එමෙන්ම එදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කළ පිරිස් තමන් හමුවේ කළ ප්‍රකාශයන්ට රැවැටී තමන්ද වෙනස් ස්ථාවරයක සිටිමින් අදහස් ප්‍රකාශ කළ බවද චම්පික එහිදී කියා සිටියේය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

ට්‍රම්ප් ඉන්න හෝටලේට ඇවිත් වෙඩි තිබ්බේ ‘මාසයේ හොඳම ගුරුවරයා’! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

අර්චුනා තුවක්කුවකුත් අරන් ලොකු පිස්සුවක් නටලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

දයාසිරිටත් ලෙඩක් වැටෙන්නයි යන්නේ! හොරට බිල් හදලා දාලා! VIDEO I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

පාතාලයෙකුට රටින් පනින්න හොර පාස්පෝට් හදපු ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අල්ලයි! I Sri Lanka Latest News

අසූචි පොහොර නැවේ සිද්ධියට වරෙන්තු පිට සිටි මහින්දානන්ද රිමාන්ඩ්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවත් ජුලි 23 එනවා! Sri Lanka Latest News

කතරගම දේවාලයෙන් අපේක්ෂා රෝහලේ අලුත් ගොඩනැගිල්ල හැදුවේ බලෙන්ද? දැන් ජාතික සැලැස්ම හැදුවා කිව්වනේ? ඒක පාර්ලිමේන්තුවට දාන්න! සුවසැරියට ගහපු එකත් අසාධාරණයි! නලින්දගේ කතාවට තවත් උත්තරයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ 4 වැනි පේළියේ ඇඹිලිපිටිය අධිකරණයෙන් අත්හිටවූ සිර දඬුවම් ලබා ඉන්න මාලිමා මන්ත්‍රීවරයා කව්ද? මන්ත්‍රීවරයා සභාවේ සිටියදීම අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

පාස්කු බෝම්බයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ ඉල්හාම්-ඉන්සාෆ් සහෝදරයන්ගේ කෝටිපති පියා ඊබ්‍රාහිම්ට ඇප ලැබෙයි!
Exclusive

පාස්කු ප්‍රහාරයට සල්ලි දීපු ඊබ්‍රාහිම් නානාව කාලා බලලා ජාතික ලයිස්තුවට දැම්මෙ නෑ කියලා කියපු අනුරම අද සජිත්ගෙන් අහනවා චරිත් අබේසිංහ ගැන මොකද කරන්නේ කියලා! අද වනතුරු නානාව පක්ෂ සාමාජිකත්වයෙන් අයින් කරලා නෑ! VIDEO I Sri Lanka Latest News

2004 චන්ද්‍රිකා ළඟට ඇවිත් ඇමැතිකම් 5ක් ගත්තා! 2005 මහින්ද දිනවන්න රට වටේ ගිහින් වැඩ කළා! 2010 UNPයේ රනිල් එක්ක ෆොන්සේකාට වැඩ කළා! 2015 මෛත්‍රීපාලව දිනවන්න අපි ළඟට ආවා! ගිය අවුරුදු 11ට ජවිපෙ පැති 4ක් මාරු කළා! අධිකරණ ඇමැති ජවිපෙ ඉතිහාසය ගැන කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

විජේදාස අනුරටත් ලක්ෂ 25ක් දුන්නා! අනුරත් ඒක පිළිගත්තා! බොරු නම් අනුරගේ හඬපටය මෙන්න! චරිත්ට සජබය විනය ක්‍රියාමාර්ග ගත්තා! දැන් අනුරට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

දයාසිරිටත් ලෙඩක් වැටෙන්නයි යන්නේ! හොරට බිල් හදලා දාලා! VIDEO I Sri Lanka Latest News

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ව්‍යාජ බිල්පත් සකස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

පාතාලයෙකුට රටින් පනින්න හොර පාස්පෝට් හදපු ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අල්ලයි! I Sri Lanka Latest News

අසූචි පොහොර නැවේ සිද්ධියට වරෙන්තු පිට සිටි මහින්දානන්ද රිමාන්ඩ්!  I Sri Lanka Latest News

මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුවත් ජුලි 23 එනවා! Sri Lanka Latest News

කතරගම දේවාලයෙන් අපේක්ෂා රෝහලේ අලුත් ගොඩනැගිල්ල හැදුවේ බලෙන්ද? දැන් ජාතික සැලැස්ම හැදුවා කිව්වනේ? ඒක පාර්ලිමේන්තුවට දාන්න! සුවසැරියට ගහපු එකත් අසාධාරණයි! නලින්දගේ කතාවට තවත් උත්තරයක්! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ 4 වැනි පේළියේ ඇඹිලිපිටිය අධිකරණයෙන් අත්හිටවූ සිර දඬුවම් ලබා ඉන්න මාලිමා මන්ත්‍රීවරයා කව්ද? මන්ත්‍රීවරයා සභාවේ සිටියදීම අජිත් පී. පෙරේරාගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

පාස්කු බෝම්බයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ ඉල්හාම්-ඉන්සාෆ් සහෝදරයන්ගේ කෝටිපති පියා ඊබ්‍රාහිම්ට ඇප ලැබෙයි!

පාස්කු ප්‍රහාරයට සල්ලි දීපු ඊබ්‍රාහිම් නානාව කාලා බලලා ජාතික ලයිස්තුවට දැම්මෙ නෑ කියලා කියපු අනුරම අද සජිත්ගෙන් අහනවා චරිත් අබේසිංහ ගැන මොකද කරන්නේ කියලා! අද වනතුරු නානාව පක්ෂ සාමාජිකත්වයෙන් අයින් කරලා නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.